සෝෂල් මීඩියා අතුරුදහන් වුනොත් මොනවා වෙයිද?

පසුගිය පාස්කු ප්‍රහාරය සහ ​ඒ වගේ අවස්ථාවලදී කලබල නවත්වන්න රජයෙන් සෝෂල් මීඩියා නැවැත්තුවා. ඒ වගේ විවිධ තාක්ෂණික, දේශපාලන කාරණා නිසා සෝෂල් මීඩියා නැතිවෙන්න පුළුවන්. චීනයේ ෆේස්බුක්, වට්සැප් නැහැ. තියෙන්නේ රජයට බනින්න තහනම්, හැමදේම ආණ්ඩුවෙන් බලන කියන චීනයටම අනන්‍ය සෝෂල් මීඩියා වගයක්. ඉතින් ඒ වගේ සෝෂල් මීඩියා අතුරුදන් වෙනවා වගේම අපිටත් ඕනි නම් සෝෂල් මීඩියා අත හැරලා ජීවත්වෙන්න පුළුවන්. අපිට කන්න බත් එක, ඉන්න හිටින තැන්, යන්න එන ක්‍රම ආදී මූලික දේවල් සෝෂල් මීඩියා හරහා පහල වෙන්නෙ නැහැ. ඒ කියන්නේ සරලවම අපිට සෝෂල් මීඩියා නැතුව උනත් ජීවත් වෙන්න පුළුවන්. දැනට ලෝකේ දියුණු රටවල උදවිය “අනේ අපිට පරණ විදිහ හොඳා” කියලා නැවත සෝෂල් මීඩියා වලින් ඈත්වෙමින් යනවා. අපි බලමු සෝෂල් මීඩියා වලින් සෙට් පිටින් මිනිස්සු ඈත් වුනොත් මොනාද වෙන්න පුළුවන් දේවල් කියලා.

 

1. තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මිනිස්සු පාරට බහීවි

දැන් මිනිස්සු තමුන්ගේ අයිතිවාසිකම්, තමුන්ට සිදුවෙන අසාධාරණ ගැන කියන්න සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. ඔන්ලයින් පෙත්සම් එහෙම අත්සන් කරනවා. සමහර දේවල් දහස් වාරයක් ෂෙයාර් වෙනවා. ඒත් ප්‍රශ්න තිබුන තැන් වලමයි. විවිධ සමාජ ප්‍රශ්න ගැන, දේශපාලනය ගැන සෝෂල් මීඩියා වලින් ප්‍රශ්න කළත් ඉස්සර වගේ ඒ දේවල් මහ පාරට, සමාජයට එන්නේ නැහැ. මිනිස්සු එකතු වෙන්නෙ නැහැ. තැන් තැන්වල ඉඳන් කෝපි බිබී ස්ටේටස්, කමෙන්ට්ස් වලින් පොරවල් වෙනවා. ඇත්තටම සෝෂල් මීඩියා නැති වුනොත් ආයෙත් පරණ තාලෙට යූනියන්, දේශපාලන පක්ෂ, එකතුවීම් ආදියට මිනිස්සු එකතු වේවි.

 

2. ළඟ ඉන්න කෙනා එක්ක කතා කරන්න හුරු වේවි

බස් එකක, දුම්රියක නැග්ගම ඉස්සර අපි ටිකක් කතාවට කැමති කනෙක් නම් ළඟ ඉන්න කෙනාගෙන් විස්තර අහනවා. පොදු දේවල් කතා කරනවා. අද එහෙම කතා කිරීම අලුත් පරපුරෙන් ඈත් වෙලා. දෙන්නෙක් ළඟ වාඩි වුනාද එකිනෙකා චැට් කරන්නේ, කතා කරන්නේ, ආන්සර් කරන්නේ මූණ ඔබන් ඉන්න ෆෝන් එක එහා පැත්තේ ඉන්න අය එක්ක විතරයි. මේ තමුන්ගේ ළඟ ඉන්න කෙනා මනුස්සයෙක්ද? දෙවියෙක්ද? රාක්සයෙක්ද කියලා හොයන්නවත් ඒ අයට වෙලාවක් නැහැ. සෝෂල් මීඩියා අස්සෙන් මිදුනොත් මිනිස්සුන්ට ෆෝන් එකේ දකින සනී ලියොන්ට, බ්‍රැඩ් පිට්ට වඩා ගති මිනිස්සු අවට සමාජයේ ඉන්නවා කියල දකින්නට හැකි වේවි.

 

3. ඉගෙනගන්න වෙනත් දියුණු ක්‍රම හොයාගනීවි

දැන් කාලේ මිනිස්සු එක්සෑම් වලට ඉගෙනගන්නවා හැර වෙනත් ගොඩක් දේවල් ඉගෙනගන්නේ ෆේස්බුක් එකෙන්. කවුරුහරි කෙනෙක් මොනාහරි දැම්මහම අංජනම් බලන කපුවා වගේ ඒක දිහා එබීගෙන, ඒක විශ්වාස කරගෙන බලන්න අපි හුරු වෙලා තියෙනවා. ඒ වගේම රටේ තොටේ මොනාහරි ප්‍රශ්නයක් වුනාම නිවුස් වලට වඩා ෆේස්බුක් මත විශ්වාස කරන තැනට පත් වෙලා. ඉගෙනීම කියන්නේ පොත පත, එක්සෑම් එක්ක කරන දෙයක් විතරක්ම නෙමෙයි. අපි ඉස්සර සඟරා කියෙව්වා, පත්තර කියෙව්වා, ඩොකියුමන්ට්‍රි බැලුවා. ඒත් අද ඒවායෙන් ඉගෙනීම නැවතිලා සියලු දේ සෝෂල් මීඩියා වලින්ම අරගන්න හුරු වෙලා. සෝෂල් මීඩියා ඇබ්බැහිය අඩු වුනොත් හරි සෝෂල් මීඩියා නැවැත්තුවොත් හරි ආයෙම පරණ ක්‍රම වලට ඉගෙනගන්න අපිට ආසාවක් ඇති වේවි.

 

4. මිනිස්සු හොයාගන්න අපහසු වේවි

මිනිස්සු හොයාගන්න සෝෂල් මීඩියා ලොකු පහසුවක්. සමාගමක වැඩට ගන්න ගියාම ඉස්සර පන්සලේ හාමුදුරුවන්ගේ චරිත සහතිකය, ග්‍රාමසේවා සහතික ආදිය වැදගත් වෙනවා. ඒත් දැන් සෝෂල් මීඩියා වල නම හොයා බැලුවම කවුද ඩෑල් එක කියලා පැහැදිලිව බලාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වෙනත් වැඩ වලට අවශ්‍ය වුනත් ඉක්මනටම මිනිස්සු ගැන අදහසක් ගන්න සෝෂල් මීඩියා වලින් පුළුවන්. සෝෂල් මීඩියා නැති උනොත් මිනිස්සු අඳුරගන්න නම් කලින්ට වඩා කලක් ගත වේවි.

 

5. අනුන්ට පෙන්වන්න කරන සෝබන වලින් ඈත් වේවි

දැන් ෆෝන් එක නැතුව ට්‍රිප් එකක් යනවා කියන්නේ තේරුමක් නැති තත්ත්වයකට පත් වෙලා. ගොඩක් අය ඒ තැන්වල ගිහින් කරන ලොකුම දේ තමයි සෝෂල් මීඩියා වලට දාන්න පොටෝ ගන්න එක. ජීවිතේ සෑම අවස්ථාවකම වගේ ඒ අවස්ථාව විඳිනවාට වඩා ඒක පොටෝ අරං සෝෂල් මීඩියා දාන්න තමයි බොහෝමයක් දෙනා උත්සාහ කරන්නේ. වෙඩින් විතරක් නෙමෙයි, දැන් මළගෙවල් පවා චිත්‍රපට ශූටින් වගේ අධ්‍යක්ෂණය කරන නාටක මට්ටමට පත් වෙලා තියෙනවා. ඇත්තටම සෝෂල් මීඩියා වලින් ඈත් වුනොත් අපිට සෝබනේට සෝෂල් මීඩියා දාන්න කරන විකාර වැඩ වලින් ඈත්වෙන්නත් ලොකු අවස්ථාවක් ලැබෙනවා.

 

6. පත්තර, පොත් පත්, මැහුම් ගෙතුම් වලට කට්ටිය හුරුවේවි

විනෝදාංශ මොනවද කියලා ඉස්සර ඇහුවාම මල් හිටවනවා, පොත් කියෝනවා, පත්තර බලනවා. ෆිල්ම් බලනවා ආදී ගොඩක් දේවල් අපිට තිබුනා. අදත් ඉතින් ඔය වැදගත් තැනකදී ඇහුවම අපි වැදගත් විදිහට විනෝදාංශ අපිට තියෙනවා කියලා කියනවා. නමුත් වැඩක් නැති හැම වෙලාවෙම හැමෝම වගේ කරන්නේ සෝෂල් මීඩියාවල කරක් ගහන එක. යූටියුබ් එකේ කරක් ගැහුවත් යූ ටියුබ් අයිති වෙන්නෙත් සෝෂල් මීඩියා කියන වර්ගයට. ඉතින් දැන් අභාවයට යන පරණ විනෝදාංශ ආයෙත් පටන් ගන්න කික් එකක් අපට ලැබේවි සෝෂල් මීඩියා නැති වුනොත්.

 

7. කාලය අපතේ යන එක අඩු වේවි 

කෙනෙක් තිස් පස් වසරක් ගවමස් කෑවොත් ඒ එක දවසකට එක ගවයා ගාණේ මැරුණා නම් අවුරුදු 35ට ගවයෝ 12,775ක් මැරෙනවා කියලා නිහාල් නෙල්සන් මහත්මයාගේ ගීතයක තියෙනවා. ඒ විදිහට අපි දවසකට සෝෂල් මීඩියා ඉන්න කාලේ බැලුවොත්? දවසකට එච්චර නම් මාසෙට අවුරුද්දකට කෝච්චරක් කාලේ නාස්ති වෙනවද? සෝෂල් මීඩියා ගිය ගමන්ම අපිට හිතට සැහැල්ලුවක් දැනෙනවා. එත් සෝෂල් මීඩියා වල දිගින් දිගට ඇලිල ඉන්න එක මානසික පීඩනය වැඩි කරන දෙයක් කියලා සොයාගෙන තියෙනවා. සෝෂල් මීඩියා නැති වුනොත් හරි අපි සෝෂල් මීඩියා වලින් ඈත් වුනොත් හරි අපේ ජීවිතවල සැලකිය යුතු කාලයක් ඉතිරි වෙනවා.

 

සෝෂල් මීඩියා කියන්නේ අපේ ජීවිතේට ගොඩක් බලපෑම් කරන ලෝක ලෙඩක් බවට පත් වෙමින් යනවා. හොඳ තමයි. පරණ විනෝදාංශ වලදි අපි ඒවා මතක් කරලා පස්සේ ගන්න ආතල් එක අපිට සෝෂල් මීඩියා හරහා ලැබෙන්නේ අඩුවෙන්. ඉස්සර ආච්චි කෙනෙක්ව පාර මාරු කළාම, පැළයක් හිටෙව්වාම, චිත්‍රයක් ඇන්දාම, තනියම කවියක් ලිව්වාම, සෙල්ලම් කළාම අපිට ඒ දේවල් මතක් කරන කරන වාරෙකට පොඩි සන්තෝසයක් එනවා. ඒත් සෝෂල් මීඩියා කියනේන් නවත්වන්න ඕනි වුනත් ආයෙත් ගිහින් මොනාද කියලා බලන්න හිතෙන ඇබ්බැහියක් වෙලා ඉවරයි. ඉතින් සෝෂල් මීඩියා නැතිම කරගන්න අමාරු වුනත්, යම් පමණකින් ඈත්වෙන්න හරි ඔයාලට අදහසක් මේ හරහා එන්නට ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *