ලිංගිකත්වය ගැන කතා කළ සිංහල චිත්‍රපටි 7ක්

අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ලිංගිකත්වය මාතෘකාව කරගෙන ලංකාවේ තිරගත වුණු චිත්‍රපටි ගැන. මෙතැනදී අවධාරණය කරන්න ඕන දේ තමයි අපි මේ ලැයිස්තුවට ඇතුළත් කරන්නේ හුදු ලිංගික දර්ශන එකක් දෙකක් හෝ ඇතුළත් වුණු, එහෙමත් නැත්නම් ශෘංගාරාත්මක දර්ශන එකක් දෙකක් හෝ ඇතුළත් වුණු  චිත්‍රපටි නම් නෙමෙයි. මේ චිත්‍රපටිවල තේමාව තුළම කතා වෙන්නේ ලිංගිකත්වය හෝ ඒ හා බැඳුණු සමාජ ගැටලුවක්.

 

1. දෙවැනි ගමන

දෙවැනි ගමන චිත්‍රපටිය තුළ ලංකාවෙ ඇතුළේ බොහොමයක් පවුල් ජීවිත මධුසමයේ ඉඳන්ම අවුල් කරන සමාජ ගැටලුවක් ගැන කතා කළා. ඒ තමයි මනාලිය කන්‍යාවක් බවට ඔප්පු කර ගැනීමට නොහැකි වීමත් සමග ඇතිවන ගැටළු සහගත තත්ත්වය. සනත් ගුණතිලක සහ සබීතා පෙරේරා ප්‍රධාන චරිත රඟපාපු දෙවැනි ගමන චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වුණේ එච්. ඩී ප්‍රේමරත්නයි. මේ චිත්‍රපටිය මගින් එතෙක් ලංකාවේ කන්‍යාභාවය පිළිබඳව තිබුණු සමාජ ආකල්පය කෙරෙහි දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටත් සමත් වුණා.

 

2. මලට නොඑන බඹරු 

සමලිංගික සේවනයට ඇබ්බැහි වුණු පුද්ගලයෙකු එම ඇබ්බැහිය නිසාම තමන්ගේ ජීවිතය පමණක් නොව තම සහකාරයාගේ  ජීවිතයත් අර්බුදයට ලක් කර ගන්නා ආකාරය මලට නොඑන බඹරු චිත්‍රපටය තුළින් නිරූපණය වුණා. එහි ජෝ අබේවික්‍රම රඟපෑ චරිතය සිංහල සිනමාවේ විශිෂ්ටතම රංගනයක් ලෙස සැලකෙනවා. එසේම එවකට ”මඩොල් දූව” චිත්‍රපටියේ රඟපෑමෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි අජිත් ජිනදාස මෙහි රඟපෑමද චිත්‍රපටය කෙරෙහි ආන්දෝලනාත්මක ආකර්ෂණයක් ඇති කිරීමට සමත් වුණා.

 

3. තුන්වෙනි යාමය 

තුන්වෙනි යාමය ගැන සමහරු සඳහන් කරන්නේ ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ විශිෂ්ට සංගීතය නිසා විතරයි. නමුත් එම චිත්‍රපටිය තුළින් ලිංගික මනෝ විද්‍යා ගැටළුවක් පිළිබඳව නව සංවාදයක් ඇති කිරීමට සමත් වුණා. කුඩා දරුවෙක් තමන්ගෙ දෙමව්පියන් ලිංගිකව එකතු වන අවස්ථාවකදී අනපේක්ෂිතව පැමිණීම නිසා පියාගෙන් පහර කෑමට ලක් වෙනවා. ඉන් පසුව වැඩිවියට පැමිණෙන දරුවාට නිසි ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට නොහැකි වෙනවා. ඒ ශාරීරික දුර්වලතාවයක් නිසා නම් නෙමෙයි, කුඩා කල ලැබූ අත්දැකීමෙන් ඇතිවුණු මානසික පීඩනය නිසායි.

 

4. කරුමක්කාරයෝ 

ගුණදාස අමරසේකර මහතාගේ කරුමක්කාරයෝ නවකතාව ඇසුරෙන් තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ කරුමක්කාරයෝ චිත්‍රපටය තුළින් පියා සහ පුතුන් සමග ලිංගිකව එක් වුණු කාන්තාවකගේ ශෝකාන්තය නිරූපණය වෙනවා. මෙම චිත්‍රපටය ගීතා කුමාරසිංහ ගේ රංගන ජීවිතයේ කඩඉමක් ලෙස සැලකෙනවා. ඒ වගේම විජය කුමාරතුංග මහතා මෙහි ඉතා සුවිශේෂී රංගනයක නිරත වෙනවා. කරුමක්කාරයෝ නවකතාව නිකුත් වීමේදී ඇතිවුණු ආන්දෝලනයට සමාන ආන්දෝලනයක් ඇති කිරීමට මෙම චිත්‍රපටයත් සමත් වුණා.

 

5. තනි තටුවෙන් පියාඹන්න

අශෝක හඳගම විසින් තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය නිර්මාණය කරන්නේ සැබෑ කතාවක් ආශ්‍රයෙන් .දුෂ්කර පළාතක කාන්තාවක් පිරිමියකු ගේ වෙස් අරගෙන තවත් කාන්තාවක් සමඟ පවුල් ජීවිතයක් ගෙනයෑමේ සැබෑ ප්‍රවෘත්තිය හඳගම විසින් සිනමාව තුළ ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. මෙම චිත්‍රපටිය සඳහා අනෝමා ජනාදරී සහ ගයනි ගිසන්තිකා ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම අනෝමා ජනාදරී විසින් රඟපෑ නිරුවත් දර්ශනය චිත්‍රපටයේ පමණක් නොව ඇගේ සැබෑ ජීවිතය තුළත් කඩඉමක් බවට පත් වුණා. පසුව ඇය සඳහන් කර තිබු​ණේ එම දර්ශනයේ ර​ඟපෑමට තමාට බලකිරීමත් සමගම තම සැමියා වූ අශෝක හඳගමගෙන් තමන්ට අවැසි ආරක්ෂාව නොලැබෙන බව තමන් ප්‍රත්‍යක්ෂ කර ගත් බවයි.

 

6. අක්ෂරය

ලංකාවේ උසාවි තීන්දුවක් මගින් තහනම් වුණු චිත්‍රපටි අතළොස්ස අතරින් එකක් විදිහට අක්ෂරය සලකන්න පුළුවන්. මෙම තහනමට එක් හේතුවක් වූයේ මෙම චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව විනිසුරුවරයෙකුගේ චරිතය ආශ්‍රයෙන් ගලායාමට සැලැස්වීමයි. එම චරිතය රවීන්ද්‍ර රන්දෙණිය විසින් නිරූපණය කරනු ලැබුවා. තමන්ගේ මවට කුඩා දරුවෙකු දක්වන ඇල්ම, ලිංගික ආකර්ෂණය ඇසුරෙන් විස්තර කරන ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකල්පය නිරූපණය කිරීමට මෙම චිත්‍රපටයේ අඩංගු කර තිබූ ඇතැම් දර්ශන පිළිබඳවද ආන්දෝලනයක් රට තුළ ඇති වුණා.

 

7. සුළඟ ගිනි අරන් 

සුළඟ ගිනි අරන් චිත්‍රපටය විකෘති කාම ආස්වාදයට ඇබ්බැහි වුණු වෛද්‍යවරයෙකුගේ ජීවිත කතා පුවතක් රැගත් චිත්‍රපටියක් .එමෙන්ම එම චිත්‍රපටය තුළ බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන ඇතැම් ඉගැන්වීම් පිළිබඳව ද සංකේතාත්මක  නිරූපණය කිරීමක් සිදු වුණා. ඇතැම් විට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුණු විමුක්ති ජයසුන්දර​ට ප්‍රේත වස්තුව වැනි බෞද්ධ ග්‍රන්ථ පරිශීලනය නිසා මෙවැනි නිර්මාණයක් කිරීමට උත්තේජනය ලැබී ඇතැයි කියා සිතන්න පුළුවන්. ස්ටීව් ලා ද සිල්වා, රොෂාන් රවීන්ද්‍ර සහ සුරංගා රණවක මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබුණා.

 

මීට අමතරව ඔබේ මතකෙට එන ලිංගිකත්වය පිළිබඳ කතා කළ චිත්‍රපටි ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *