ඉස්සර තමයි රස්සා වලට යනකොට බොහෝමයක් වෙලාවට උදේ අටට කෑම එකයි වතුර එකයි අරගෙන ඔෆිස් එකට ගිහිල්ලා, පහට වැඩ ඉවරවෙලා ගෙදර එන්නේ. දැන් ලෝකේ ගොඩක්ම කොම්පැණි වල මූලික අරමුණ සේවකයෝ ඔෆිස් බිල්ඩිමකට හිර කරලා තියාගාන්න එක නෙවෙයි. ඊට වඩා සේවකයන්ගෙන් උපරිම කාර්යක්ෂමතාවය, දෙපැත්තටම උපරිම පහසුතාවයකින් සහ ප්‍රායෝගිකත්වයකින් ලබාගැනීම. මෙන්න මේ නිසා ඔය ගෙදර ඉඳලා වැඩ කිරීම -ඒ කියන්නේ වර්කින්ග් ෆ්‍රොම් හෝම්- වගේ සංකල්පයන් ජනප්‍රිය වෙලා තියෙනවා. සමහරු සතියට දවසක් විතර නැතිනම් දෙකක්, තුනක් විතර ගෙදර ඉඳලා වැඩ කරනවා. තවත් සමහර අය -විශේෂයෙන්ම නිදහස් සේවය කරන්නෝ- ගෙදර ඉඳලම තමයි වැඩ ටික කරන්නේ. කලාතුරකින් තමයි ඔෆිස් එකට යන්නේ. එක පාරටම හිතනකොට පේන්නේ ගෙදර ඉඳලා වැඩ කරන්න ලැබෙන එක බෝනස් එකක් කියලා නේද? නෑ, එහෙම නෑ. ඔෆිස් එකට ගිහින් වැඩ කරන එකේ නැති අවාසි ගෙදර ඉඳලා වැඩ කරන කොට තියෙනවා. ආන්න ඒ නිසා, ගෙදර ඉඳලා වැඩ කළත් හොඳ වැඩකරන විනයක්, වෘත්තිය භාවයක් තියාගන්න එක වටිනවා. එතකොට තව ප්‍රායෝගිකව ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්න ගැන හිතලා ඒවා විසඳා ගන්න එක වටිනවා. අන්න එතකොට ගෙදර ඉඳන් වැඩ කරන එකේ අවාසි අවම කරගෙන, උපරිම වැඩ තෘප්තියක් සහ උපරිම කාර්යක්ෂමතාවයකුත් ලබාගෙන, නිදහසේ ඉන්න වෙලාව ඉතුරු කරගන්නත් පුළුවන්!
1. ඔෆිස් පැය ගාණ හරියට හදාගන්න
ගෙදර ඉඳන් වැඩ කරනකොට ලේසියෙන්ම වෙන්න පුළුවන් අකරතැබ්බයක් තමයි හරියට ඔෆිස් එකක වැඩ කරනවා වගේ එක දිගට වැඩ කරන්න බැරි වෙන එක. හැබැයි මැද්දේ වැඩ නොකරන වෙලාව පියවන්න ඊට පස්සේ මහ රෑත් වැඩ කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔෆිස් එකක වගකිව යුතු තානාන්තරයක් දරණ කෙනෙක්ට හරි, මොකක් හරි විශේෂඥ දැනුමක් තියෙන සහ ඒකට අදාළ රස්සාවක් කරන කෙනෙක්ට හරි එහෙම ගාණට පැය අට වැඩ කරලා ඉන්න අමාරුයි. හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයි. ආන්න ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන දවසේ වැඩ කරන පැය ගාණ හරියට හදාගෙන, ඒ අනුව වැඩ කරන්න. හොඳම දේ තමයි උදේ නවයේ ඉඳලා හය වෙනකල් වැඩ කරනවා කියලා යම් කිසි කාල සටහනක් හදාගන්න එක. එතකොට මේ අතර මැද්දේ වෙන වෙන ආතල් ගන්න තියාගන්න බෑ. ඒ ගැනත් අපි ඊලඟට කියනවා.
2. මේකත් ඔෆිස් එක වගේ කියලා හිතා ගන්න
ගෙදර ඉඳන් වැඩ කරනවා කියන එකේ තියෙන තව අවුලක් තමයි, ගෙදර තමයි ඉන්නේ කියන මානසිකත්වයෙන් ගැලවෙන්න බැරි කම. ඒ නිසා උදේ අටට ඇහැරිලා කබ කඩ කඩ ඇවිල්ලා කම්පියුටර් එකට වාඩි වෙන එක හරියන්නෙ නෑ. දොළහට විතර කෑම කෑවහම පොඩි නිදිමතක් ආවා කියලා එහෙම්මම ඇඳට වැටිලා හරියන්නෙ නෑ. ගෙදර ඉඳන් වැඩ කරන එකේ උපරිම ඵල නෙලාගන්න නම්, වැඩ කරන වෙලාවට ඔෆිස් එකේ ඉන්නවා වගේ මානසිකත්වයක් තියාගන්න ඕන. ඒ වගේම තමන් වටේ ඉන්න අයවත් ඒ ගැන දැනුවත් කරන්න ඕන. උඩ කියපු විදියට වැඩ කරන කාලය හරියට වෙන් කරගත්තට පස්සේ උපරිම කාර්යක්ෂමතාවයකින් ඒ වෙලාවේ වැඩ ටික කරන්න ඕන. ඒකට ඔය පොමොදෝරෝ ටෙක්නික් එහෙම පාවිච්චි කළාට කමක් නෑ!
ඒ වගේම තමයි නවය වෙනකල් නිදාගෙන ඇහැරිලා වැඩ කරන්න එනවා වගේ ඒවා නවත්ත ගන්න එක. උදේම නැගිටලා, සිරුරු කිස කරලා, ගෙදර තමන්ගෙන් වෙන්න ඕන වැඩ පල එහෙමත් කරලා, අලුත් ඇඳුමක් එහෙමත් ඇඳගෙන තමයි වැඩ කරන්න වාඩි වෙන්න ඕන.
3. ඔෆිස් කාමරයක්, ඔෆිස් ස්පේස් එකක්
උඩින් කියපු විදියට ඔෆිස් එකක ඉන්නවා කියන හැඟීම ලබාගන්න නම් වටාපිටාවත් පොඩ්ඩක් හරි ඔෆිස් එකක විදියට තියෙන්න ඕන. මේ කියන්නේ මෙහෙම දෙයක්. ඕන නම් කෙනෙක්ට ඇඳේම තමන්ගේ ලැප්ටොප් එක තියාගෙන වර්කින් ෆ්‍රොම් හෝම් කියලා වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒක සාර්ථක නෑ. විශේෂයෙන්ම සතියෙන් දින වැඩි ගණනක් ගෙදර ඉඳගෙන වැඩ කරන ෆ්‍රී ලාන්සර් කෙනෙක් එහෙමනම් අනිවාර්යයෙන්ම ගෙදර ඔෆිස් ස්පේස් එකක් හදාගන්න ඕන. විශේෂයෙන්ම වැඩ කරන මේසයක්, පොත් කබඩ් අනං මනං විතරක් තියෙන ඔෆිස් කාමරයක් තියෙනවා නම් මරු. හැබැයි එහෙම නැතත් අඩු තරමින් වැඩ කරන පිළිවෙල මේසයක් හරි හදාගන්න ඕන. එතන තමන්ගේ වැඩ කටයුතු වලට අදාළ අඩුම කුඩුම පිළිවෙලට තියලා, එක විදියකට තියාගන්න ඕන. වතුර ඩිකැන්ටර් එකක් එහෙමත් ලඟින් තිබ්බට කමක් නෑ. කොටින්ම කියනවා නම් ගෙදර තමන්ට කියලා ඔෆිස් එකක් හරි, එහෙම බැරි නම් අඩු තරමින් ඔෆිස් මේසයක් හරි හදාගන්න ඕන.
4. බාහිර බාධා අඩු කරගන්න
සාමාන්‍යයෙන් ඔය අම්මලා තාත්තලාට තේරෙන්නෙ නෑ ගෙදර ඉඳන් වැඩ කරනවා කියන එක. පුතා හරි දුව හරි ගෙදර නං ඉන්නේ, ඒක නිකං නිවාඩු දවසක් වගේ තමයි. ඉතින් ඔන්න කඩේ යන්න, ගේ අතුගාන්න, අරක කරන්න, මේක කරන්න වැඩ කෝටියයි. ඒ විතරක් නෙවෙයි. ගර්ල්ෆ්‍රෙන්ඩ්, බෝයිෆ්‍රෙන්ඩ් වුනත් හිතන්නේ ගෙදර ඉඳන් වැඩ කරනවා කියන එකේ තේරුම ඕන වෙලාවක පැයේ මලක් කඩන්න අපි ෆ්‍රී වෙන්න ඕන කියලා. හැබැයි එහෙම බෑ කියන එක ගෙවල් වල අයට, ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හෝ බෝයිෆ්‍රෙන්ඩ්ට, යාලු මිත්තරයන්ට කලින් කියලා තියන්න ඕන. කොටින්ම කියනවා නම්, වැඩ කර කර ඉන්න අතරේ කාමරේට කඩාගෙන වැදිලා ඕපයක් දෙකක් කියන්න සෙට් වෙන්න එපා, මේක ඔෆිස් එකේ ඉන්නවා වගේ තමයි කියලා ගෙදර ඉන්න අයට කියලා තියන්න වෙනවා. ඒ වගේම “අයියේ” කියාගෙන මරහඬ තලාගෙන කාමරේට කඩාවදින්න එපාය කියලාත් ගෙදර අයට කියලා තියන්න වෙනවා. ඒකට හේතුව තමයි, ගෙදර ඉඳලා වැඩ කළත් ඔෆිස් කෝල් වල ඉන්න පුළුවන්. අවධානය කැඩුනොත් ආයෙ කරන්න පටන් ගන්න අමාරු වැඩ වල අපි ඉන්න පුළුවන්. අන්න ඒ නිසා.
5. දවසේ වැඩ ප්ලෑනක්
මේක ගෙදර ඉඳලා වැඩ කළත්, ඔෆිස් ඉඳලා වැඩ කළත් අත්‍යාවශ්‍ය දෙයක්. ඒ තමයි දවසේ වැඩ සැලසුමක් හදාගන්න එක. තමන්ගේ නෝට් පොතේ වැඩ ලැයිස්තුවක් විදියට මේක කලින් දවසේ ලියාගත්තත් කමක් නෑ. හැබැයි මෙතනදී විශේෂ අවධානයක් දෙන්න ඕන, දවසකට කරලා ඉවර කරන්න බැරි තරම් වැඩ ලිස්ට් එකට දා නොගන්න. ඒකෙන් වෙන්නේ වැඩ ඉවර කරගන්න බැරි වෙලා තමන්ගේ මෝටිවේෂන් එක නැතිවෙන එක. ඒ නිසා ප්‍රායෝගිකව දවසේ වැඩ කරන පැය ගාණ ඇතුළේ ඉවර කරගන්න පුළුවන් තරමට තමයි වැඩ ලිස්ට් එකට දාගන්න ඕන. ඉන් පස්සේ කරන කරන වැඩේ කපමින් වැඩ ටික ඉවර කරගන්න පුළුවන්.
6. අවධානය වෙන අතක යන දේවල් නැති කරගන්න
අපි උඩින් කිව්වනේ බාහිර බාධා අවම කරගන්න කියලා. එතකොට අභ්‍යන්තර බාධා වලට මොකද කරන්නේ? ඒ කියන්නේ ඔය ෆේස්බුක් යන්න හිතෙන ඒවා, කම්මැලි නිසා ගේම් එකක් ගහන්න හිතෙන එව්වා එහෙම? ආන්න ඒකට ඉතින් ස්වයං විනයක් තියෙන්න ඕන. විශේෂයෙන්ම සෝෂල් මීඩියා වල එහෙම කරක් ගහන්න යන්නෙ නෑ කියලා තමන්ටම පාලනයක් තියෙන්න ඕන. දැන් ඔය උඩින් කියපු විදියට පොමොදෝරෝ ටෙක්නික් එකට එහෙම වැඩ කරනකොට, විනාඩි පහේ ෆ්‍රී ටයිම් එකක් හම්බුවෙනවනේ. ඒක තියෙන්නේ ඉන්න විදියටම පුටුවේ ඉඳගෙන ෆේස්බුක් යන්න නෙවෙයි. ඒක තියෙන්නේ පොඩ්ඩක් නැගිටලා, ඇඟට පතට ව්‍යායාමයක් ලබාදෙන්න. ඒ නිසා ඒ වෙලාව තමන්ගේ අවධානය කන දේවලට වැය කරන්න එපා!
7. ඔෆිස් එකට යන්නත් වෙලාව හදාගන්න
මේක ඇත්තටම වැදගත් වෙන්නේ ගෙදරම ඉඳලා වැඩ කරන ෆ්‍රී ලාන්සර්ස්ලාට. ඒ කියන්නේ ඔෆිස් එකකට යන්න අවශ්‍යම නැති අයට. දැන් කාලේ මීටින්ග්ස් වුනත් ඔන්ලයින්ම කරන්න පුළුවනිනේ. ඒ නිසා සමහරු ඉන්නවා ඔෆිස් එක කළුද සුදුද කියලා දැකලා නෑ. හැබැයි අපි කියන්නේ එහෙම වෙන්න එපා කියලා. මාසෙකට දෙතුන් වතාවක් හෝ ඔෆිස් එකට ගිහිල්ලා, තමන් එක්ක වැඩ කරන මිනිස්සු එක්ක කතාබහ කරලා එන්න. ඒකට විශේෂ අවශ්‍යතාවයක් මතුවෙන්න ඕන නෑ. ඒ වගේම තමයි ඔය ඔෆිස් වල තියෙන ඉවෙන්ට්ස්, ප්‍රිය සාද වගේ දේවලටත් සහභාගී වෙන්න. මොකද ෆ්‍රී ලාන්සර් කෙනෙක් කියලා කොයි තරම් ගෙදර ඉඳලා වැඩ කළත්, මේ සැබෑ ලෝකේ මුණ ගැහිලා ඇති කරන සම්බන්ධතාවය දුරස්ථ මාර්ගිකව හදාගන්න බෑ. එහෙම සැබෑවටම සම්බන්ධ වෙන එක වැඩ වලටත් වාසියක් වෙයි.
8. ටෙක් සහාය උපරිමේටම ලබාගන්න
මේ කියන්නේ තමන්ට පාවිච්චි කරන්න තියෙන තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරන්න කියන එක. සමහරු ඉන්නවා ගෙදර ඉඳලා වැඩ කරන්නේ අර පරණ කම්පියුටරේක, ඉබ්බා වේගෙන් යන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින්. සමහරු අතින් ලියලා තාම ඔෆිස් එකට ෆැක්ස් කරනවා. ඒවා අද කාලෙට හරියන්නෙ නෑ. තමන් ගෙදර ඉඳලා දීර්ඝ කාලීනව වැඩ කරනවා නම්, කරුණාකරලා හොඳ කම්පියුටර් එකකට, වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයකට, සුවපහසු ඔෆිස් පුටුවකට, ඉඩ පහසුකම් තියෙන ඔෆිස් මේසෙකට, අමතර කීබෝඩ් මවුස් වලට එහෙම ආයෝජනය කරන්න පැකිලෙන්න එපා. මේවලින් අපේ වැඩ කටයුතු පුදුමාකාර විදියට කාර්යක්ෂම කරවනවා. මේ ගැන අපි කලින් කියලත් තියෙනවා.
ඒ වගේම තමන්ගේ වැඩ කටයුතු වලට ඔන්ලයින් ටූල්ස් එහෙමත් පාවිච්චි කරන එක වාසියි. ඒ කියන්නේ Canva වගේ ඩිසයිනින් ටූල්ස්, OneDrive වගේ ඔන්ලයින් ක්ලවුඩ් ධාරිතා, Google Docs වගේ ඔන්ලයින් ලියන කියන ඇප්ස් එහෙම වටිනවා. මොකද ගෙදර ඉඳලා වගේම, ඔෆිස් එකේ ඉඳලත් ඒවලට එතකොට ප්‍රවේශ වෙන්න පහසු නිසා!
9. විවේකයත් ගාණට තියෙන්න ඕන
අපි අර උඩින් කිවුවනේ ඔෆිස් පැය ගාණ විතරක් වැඩ කරන්න උත්සාහ කරන්න, අතරමග බාධා වීම්, අවධානය වෙනතක යෑම් නතර කරගන්න උත්සාහ කරන්න කියල. මේ හැමදේකින්ම කියන්නේ, තමන්ගේ දවසේ වැඩ ටික උපරිමයෙන්, කොලිටියට දවස තුළ ඉවර කරලා, විවේකය වෙලාවට ලබාගන්න උත්සාහ කරන්න කියන එක තමයි. සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් වැඩ කරන මනුස්සයෙක්ට පැයක් දෙකක් වැඩිපුර වැඩ කළත් පාඩුවක් නෑ, අට පහ ඔෆිස් යන මනුස්සයෙක්ට වඩා විවේක වෙලාව වැඩියෙනුත් ලබාගන්න පුළුවන්. මොකද යන්න එන්න ගත වෙන කාලය ඉතුරුයි. හැබැයි ඔය උඩින් කියපු විදියට ප්‍රොෆෙෂනල් විදියට වැඩ කරල, නිවාඩු දවස් තමන්ගේ විනෝදාංශ වෙනුවෙන් ගත කරන්න, ගෙදර මිනිස්සු වෙනුවෙන් වෙන් කරන්න, සංචාරයට එහෙම තියාගන්න පැකිළෙන්න එපා. එහෙම තමන්ගේ ජීවිතේ ආතල් එකත් උපරිමෙන් ගන්න විවේකය යොදාගත්තහම, වැඩ කරන්න තියෙන කාල සීමාවේ උපරිමයෙන්ම වැඩ කරන්න පුළුවන්!
Leave a Reply