ලෙඩ වැටුණු ලංකාවේ ආන්දෝලනාත්මක පොත්

අද අපි කතා කරන්න යන්නේ ලෙඩ දා ගත්ත පොත් ගැන. දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති, පොත් කොහොමද ලෙඩ දාගන්නේ කියලා. පොත්වලට ලෙඩ එක එක විදිහට වැටෙන්න පුළුවන්. සමහර පොත්වලට වැටිල තියෙන්නෙ නඩු, සමහර පොත්වලට මඩ ගහලා තියෙනවා, සමහර පොත් පුච්චලා තියනවා. මේ කතාබහ ඒ වගේ ලෙඩ වැටිච්ච පොත් හතක් ගැන.

 

1. වන කතා 

වන කතා තමයි ලංකාවේ ලෙඩක් වැටිච්ච පළවෙනි පොත විදිහට හඳුන්වන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් වනකතා කියන්නේ පොත් පෙළක්. මේ ලෙඩේ වැටෙන්නේ වන කතා පොත් පෙළේ “මිතුරන් කෙටවීම” කියන පොතට. මේ පොත් පෙළ  පංච තන්ත්‍රය ඇසුරෙන් රචනා කරන්නේ යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ. උන්වහන්සේ පස්සෙ කාලෙක විද්‍යාලංකාර පිරිවෙනේ වගේම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙත් අධිපති ධූරයට පත්වුණා. මේ පොතේ මෙන්න මෙහෙම කවියක් ඇතුළත් වෙලා තිබ්බා.

 

අපායට යන්ට ඕනෑ නම් නුඹට

කරපං මහ ඇමැතිකම එක දවසකට

නැතිනම් පන්සලක දේවාලයක සිට

අධිපතිකම කරපං තුන් දවසකට

 

මේ කවිය එවකට අගමැති වෙලා හිටපු ඩී. එස් සේනානායකට කරපු අපහාසයක් කියලා ඇතිවුණු චෝදනාවක් නිසා එවකට පැවති රජය වන කතා පොත් පෙළ තහනම් කරන්න තීරණය කළා. මේ නිසා මිතුරන් කෙටවීම වගේම එහි දෙවනි පොත වුණු ‘මිතුරන්ගේ අගේ’ තහනම් වුණා විතරක් නෙමෙයි, ඒවා පුච්චලා දාන්නත් ආණ්ඩුව කටයුතු යෙදුවා.

 

2. දැති රෝදෙන් උපන් බුදුන් 

1967 වර්ෂයේදී  ප්‍රකාශයට පත් වුණු ටෙනිසන් පෙරේරා මහතා විසින් රචනා කරන ලද “දැති රෝදෙන් උපන් බුදුන්” කෙටි කතා සංග්‍රහය වාරණයට ලක් වීමට හේතුව වුණේ එම කෙටිකතා සංග්‍රහය මගින් බුදු දහමට අපහාසයක් සිදු කර ඇති බවට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සාමාජිකයෙකුගෙන් රහස් පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලක්. එම පැමිණිල්ල හේතුවෙන් දැති රෝ​දෙන් උපන් බුදුන් තහනම් වෙලා  කතුවරයාට කෙටිකාලීන සිර දඬුවමක් විඳීමට පවා සිදු වුණා.

 

3. මගේ නඩුව ඉවරයි 

සරත් විජේසූරිය මහතා විසින් ‘මගේ නඩුව ඉවරයි’ නමින්  රචනා කළ නිර්මාණයට ඇතුළත් වූයේ සනත් ජයසූරිය නම් විශ්ව විද්‍යාල ආචාර්යවරයාට සරසවිය තුළින් එල්ල වූ අනේක වි​ධ කැපිලි කෙටිලි පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක්. නමුත් සනත් ජයසූරිය කියන්නේ සරත් විජේසූරිය මහතාට ම බව වටහා ගැනීම පාඨකයාට නම් අපහසු කාරණයක් වුණේ නෑ.

 ඒ වගේම එ​ම කෘතිය තුළ විවිධ අන්වර්ථ නාමවලින් හඳුන්වා දුන් පුද්ගලයන් ජන මාධ්‍ය වල සහ ශාස්ත්‍රීය ලෝකය තුළ ජනප්‍රිය චරිත වුණා. මේ නිසා ඔවුන් ඒ තාක් කල් වර්ධනය කරගනිමින් සිටි ප්‍රතිරූප බිඳ වැටීමට ‘මගේ නඩුව ඉවරයි’ හේතුවක් වුණා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයෙන් (විශේෂයෙන් සිංහල අධ්‍යයන අංශයෙන්) විරෝධයක් මේ හේතුවෙන් සරත් විජේසූරිය මහතාට එල්ල වුවත්, ඔහු එම විරෝධතා වලට අභීතව මුහුණ දුන්නා.

 

4. මේරි නම් වූ මරියා 

මංජුල වෙඩිවර්ධන විසින් රචනා කරන ලද “මේරි නම් වූ මරියා” කෘතියට විරුද්ධව කතෝලික සභාව නියෝජනය කරමින් සිරිල් ගාමිණි පියතුමා පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මංජුලව පමණක් නොව එම කෘතියේ කවර නිර්මාණය කළ පුද්ගලයාගේ පටන් එම කෘතිය ප්‍රකාශනය කළ සිරිසුමන ගොඩගේ මහතාටත් හතරවෙනි තට්ටුවට යෑමට සිදුවුණා. නමුත් අද වෙන කොට නම් එම කෙටිකතා සංග්‍රහයට තිබූ විරෝධය කෙමෙන් කෙමෙන් දියාරුව ගිහිල්ලා. මංජුල නම් කියන්නේ එම කෙටිකතා සංග්‍රහය වාරණය කිරීම සහ තමන්ට ඇති කළ පීඩනය හේතුවෙන් තමන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු වලටත් ඍණාත්මක බලපෑමක් ඇති වුණා කියලායි.

 

5. චෞර රැජින

චෞර රැජින පොතට නම් සෘජුවම ලෙඩක් වැටුනෙ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දේශපාලනයට එනවිට ඇය ළඟින්ම සිටි වික්ටර් අයිවන් මහතා පසු කලෙක විවිධ හේතූන් මත මත ඇයගේ ප්‍රබල සතුරෙක් බවට පත් වුණා. මේ නිසා ඔහු තමන්ගේ පුවත්පත වූ රාවය හරහා චන්ද්‍රිකා බණ්ඩාරනායකට මෙන්ම ඇගේ රජයටද දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තා. එහි කූටප්‍රාප්තිය  වුණේ ඇගේ ධුර කාලය නිමා වීමත් සමඟම චෞර රැජින නමින් ඔහු විසින් පොතක් පළ කිරීම. එම කෘතිය හරහා ඇයගේ ධුර කාලය තුළ ඇයගේ අනුදැනුම මත දූෂණ-වංචා පමණක් නොව මිනීමැරීම් පවා සිදුකළ බවට ඇයට ඔහු විසින් චෝදනා එල්ල කරනු ලැබුවා. පසු කලෙක ඔහු විසින්ම හෙළිකර තිබුණු පරිදි මෙම කෘතියට එරෙහිව චන්ද්‍රිකා ඔහුට නඩු පැවරීමට මුල් අවස්ථාවේ සැලසුම් කළත්, පසුව එම කෘතියෙන් නගා ඇති චෝදනා සනාථ කිරීමට වික්ටර් අයිවන් උත්සාහ කරනු ඇතැයි ද, එම හේතුවෙන් නැති ප්‍රශ්න ඇති වනු ඇතැයි ද ඇගේ මිතුරන් විසින් පෙන්වා දීමෙන් පසුව එසේ කිරීම ඇය විසින් අත් හරිනු ලැබ තිබෙනවා.

 

6. මරියා සහ මානව විමුක්තිය – Mary And The Human Liberation

ලංකාවේ තහනම් වූ පොත්, නඩු ගැන ලැයිස්තු හදන බොහෝ දෙනෙක්ට මග ඇරෙන පොතක් තමයි මේ පොත. මේ පොත රචනා කරන්නේ කතෝලික සභාව තුළ විකල්ප චින්තනයක නියමුවෙකු වුණු තිස්ස බාලසූරිය පියතුමා විසින්. නමුත් එහි ප්‍රතිඵලය වුණේ එතුමාව කතෝලික සභාවෙන් නෙරපා දැමීමට වතිකානුව සහ මෙරට කතෝලික රදගුරු සම්මේලනය ක්‍රියා කිරීම. එම තීරණයට විරුද්ධව තිස්ස බාලසූරිය පියතුමා දිගින් දිගටම තමන්ගේ හඬ අවදි කළත්, අවසානයේදී ඔහු පූජකවරය අහෝසිකිරීම පිළිගනු ලැබුවා. මෙම කෘතිය තුළින් කතෝලික සභාවේ ඉගැන්වීම් මෙන්ම කතෝලික සභාව ප්‍රති සංවිධානය සහ ප්‍රතිසංස්කරණය විය යුතු බවට අදහසක් තිස්ස බාලසූරිය පියතුමා විසින් මතු කරනු ලැබ තිබුණා.

 

7. බුදුන් ගේ රස්තියාදුව 

කේ. කේ ශ්‍රීනාත් විසින් රචනා කරන ලද බුදුන්ගේ රස්තියාදුව කෘතියට ලෙඩක් වැටුණේ අපූරු විදියකට. එම කෘතිය ජනගත ක​ළ ස්ථානය වන රෝයල් තැප්‍රෝබේනියන් ආයතනයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් එම කෘතිය තහනමට ලක්කර ඇති බවට ප්‍රකාශ කළ  නිසා එම ස්ථානයේ යම් කලබගෑනියක් ඇති වුණත් පසුව හෙළිවූයේ එම පොලිස් නිලධාරීන් නියමිත ක්‍රියාපටිපාටිය ඉක්මවමින් කටයුතු ක​ර තිබූ බවක්. නමුත් මෙම කෘතියේ නම පිළිබඳව බොහෝ බෞද්ධයන් තම විරෝධය ප්‍රකාශ කළ අතර අවසානයේ දී කෘතියේ අවසර නොලත් PDF පිටපත් අන්තර්ජාලය තුළ සංසරණය  වීමට පටන් ගත්තා. කෘතිය මිලට ගෙන කියවීම වැළැක්වීම එසේ කිරීමේ බලාපොරොත්තුව වී තිබුණා.

 

එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස්  කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *