ෆිල්ම් වල, වීඩියෝ ගේම් වල දකින ෆැන්ටසි කඩු, කිණිසි ආයෙමත් හදනවා බලමුද?

දැන් ඔය ෆැන්ටසි ටෙලි සීරීස් බලන, ෆැන්ටසි ගේම්ස් එහෙම ගහන අය දන්නවා ඒ ටෙලි සීරීස්, ගේම්ස් වල පෙන්නන ඔය ෆැන්ටසි ටයිප් එකේ කඩුවක් එහෙම තමන් සතු කරගන්න තියෙනවා නම්, ඒක මොන වගේ හීනයක හැබෑ වීමක්ද කියල. අපි නිකම්ද පොඩි කාලේ හී-මෑන්, කින්ග් ආතර් වගේ කාටුන් බලලා ඒවල විදියට ලී පටි වලින් කඩු කිණිසි හදාගෙන යුද්ද කලේ! කොහොම වුනත් ඔය ආතල් එකට බ්ලැක්ස්මිත් වැඩ -ඒ කිව්වේ කම්මල් වැඩ – කරන හාදයෝ ඉන්නවා මේ ෆැන්ටසි අවි ආයුධ ප්‍රතිනිර්මාණය කරන. එහෙම ප්‍රතිනිර්මාණය කරලා සමහරු මේවා විකුණනවත් එක්ක. ඉතින් අපි බලමු ඒ වගේ ෆැන්ටසි කතා වලට, ගේම්ස් වලට ආස කොල්ලන්ගේ කෙල්ලන්ගේ හීන වල තියෙන කැපෙන ආවුධ ටිකක් සහ ඒවා ආයෙමත් හදන විදිය!

 

1. Squall’s Gunblade – Final Fantasy VIII

ෆයිනල් ෆැන්ටසි 8 ෆිල්ම් එකේ දකින්න ලැබෙන මේ කඩු රිවෝල්වරය අර ඩුවල් වෙපන් කියලා ඳුන්වන, ආයුධ දෙකක් දෙමුහුම් කරලා හදපු එකක්. කතාවේ නම් අපේ වීරයා මේ ආයුධය පාවිච්චි කරන්නේ බොහොම අපූරු විදියකට. ඔන්න හතුරෙක් එනවා. අපි කියමු නිකම්ම බුලට් එකකින් හරි, කඩු පාරකින් හරි පරද්දන්න බැරි බලසම්පන්න හතුරෙක් කියලා. එතකොට අපේ වීරයා කෙලින්ම කඩුවෙන් අනිනවා හතුරට.  ඒ එක්කම ඔන්න කඩුවේ තියෙන රිවෝල්වර් එකෙන් වෙඩිල්ලකුත් තියනවා වැඩි ඩැමේජ් එකක් වෙන්න. එතකොට ඒ වෙඩිල්ලේ බලය නිසා ආයුධය පිටිපස්සට ගැස්සෙනවනේ. ආන්න ඒ ගැස්සිල්ල නිසා කඩුව ලේසියෙන් හතුරගේ ඇඟෙන් එලියට එනවා. බොහොම කාර්යක්ෂමයි!

 

2. The Sword of Kahless – Star Trek

මෙන්න මේ ආයුධය ගැන දැනගන්න නම් තදබල ස්ටාර් ට්‍රෙක් ෆෑන් කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. ස්ටාර් ට්‍රෙක් අලුත් චිත්‍රපටි ටික බැලුවට විතරක් නම් මදි වෙයි. කොහොම හරි කතාව මේකයි. ෆෙඩරේෂන් එකේ සුපුරුදු සතුරෝ වුණු ක්ලින්ගොන්ලා ඉන්නවනේ. මෙන්න මේ ක්ලින්ගොන්ලගේ ජීසස් නැතිනම් මෙසයියා වගේ චරිතයක් තමයි කේහ්ලිස් කියන්නේ. මේක තමයි අපි ස්ටාර් ට්‍රෙක් විශ්වයේ මුලින්ම දකින ක්ලින්ගොන් බැට්ලෙත් ආයුධය. බැට්ලෙත් එකක් කියන්නේ  දෙපැත්ත කැපෙන ෂිමිටාර් කඩුවක්, කොකු කඩුවක් සහ මුව අං කිරිච්චියක් එකට එකතු කළා වගේ අමුතුම පෙනුමක් තියෙන ආයුධයකට. ඉතින් කතාවේ විදියට අර අපි කියමු කේහ්ලිස් තමන්ගේ කෙස් කැරැල්ලක් කපලා අරගෙන, ඒක ලාවා වල ගිල්ලලා තමයි මේ ආයුධය හදලා තියෙන්නේ!

 

3. OrcristThe Hobbit

ජේ.ආර්.ආර්.ටොල්කීන් නිර්මාණය කරපු විශ්වය ගැන නොදන්න කෙනෙක් ඉන්න බෑ. හැබැයි මේ මිඩ්ල් අර්ත් විශ්වයේ නියම ෆෑන් කෙනෙක් හරි, හොබිට් ෆිල්ම් එක බලපු කෙනෙක් හරි නම් තමයි මේ ඕර්ක්‍රයිස්ට් කඩුව ගැන හරියටම දන්නේ. එල්ව්ස්ලාගේ කඩුවක් වෙන මේකට කියන තව නමක් තමයි ගොබ්ලින් ක්ලීවර්. එතකොට හිතාගන්න පුළුවනිනේ ඇයි ගොබ්ලින්ස්ලා දැක්ක සැණින් මේ කඩුවට බය වෙන්නේ කියලා. කතාවේ හැටියට පුරාණ එල්ව්ස් කම්මල්කාරයෝ  විසින් නිර්මාණය කරපු මේ කඩුවේ තියෙන විශේෂත්වයක් තමයි, ඕර්ක්ස්ලා හරි ගොබ්ලින්ලා හරි අහළක පහළක ඉන්නවා නං, දිලිසෙන්න පටන් ගන්න එක!

 

 

4. Brisingr – Eragon

ඇරගොන් කියන්නේ ලෝකේ බොහෝම දෙනෙක් අතර ප්‍රකට වුණු චිත්‍රපටියක් නෙවෙයි. හැබැයි ඒ චිත්‍රපටියට පාදක වුණු ඇරගෝන් පොත් පෙළ නම් බොහොම ජනප්‍රියයි. මේ ඇරගෝන් පොත් පෙළේ එන මකරුන්ගේ පිටේ යන රණශූරයින්, එහෙමත් නැතිනම් ඩ්‍රැගන් රයිඩර්ස්ලාට සුවිශේෂී කඩුවක් තියෙනවා. මේ කඩුවේ නම බ්‍රිසින්ගර්. ඇත්තටම ෆිල්ම් එකේ තියෙන කඩුවට වඩා පොතේ විස්තර වෙන කඩුව විශේෂයි. ඇරගොන් පොත් පෙළේ තුන්වෙනි පොතේ නමත් බ්‍රිසින්ගර්. මේ පොතේ එක පරිච්ඡේදයක්ම වෙන් වෙලා තියෙන්නේ මේ කඩුව ගැන කතා කරන්න! ඇරගොන් තමන්ට හිමිකම තියෙන මේ කඩුව අතට අරගෙන, ‘බ්‍රිසින්ගර්කියලා කියපු ගමන් මේ කඩුව නිල්පාට ගිණි දැල්ලකින් දිදුලන්න පටන් ගන්නවා!

 

5. Prince Nuada’s Sword

හෙල්බෝයි කියන්නේ මයික් මිග්නෝලාගේ පරිකල්පනයෙන් බිහිවුණු කොමික් චරිතයක්. අපායෙන් ආපු කුමාරයෙක් වෙන හෙල්බෝයිගේ ප්‍රියතම ආයුධය වෙන්නේ දැවැන්ත රිවෝල්වරයක්. හැබැයි මේ කියන්න යන්නේ හෙල්බෝයි ගැන නෙවෙයි. හෙල්බෝයිව පාදක කරගෙන හැදුණු මුල් චිත්‍රපට ද්විත්වයේ දෙවෙනි චිත්‍රපටයේ එන දුෂ්ටයා තමයි නුවාඩා කුමාරයා. මේ නුවාඩා සිල්වර්ලාන්ස් කියන්නේ බෙත්මූරා ගෝත්‍රය කියන මායා බලයන්ගෙන් පිරුණු ගෝත්‍රයක ඔටුන්න හිමි කුමාරයා. මේ කුමාර නුවාඩා අතේ තියෙනවා බොහොම අපූරු කඩු දෙකක්. මේකෙන් එක කඩුවක් චිත්‍රපටියේ අන්තිම සටනේදී හෙල්බෝයි තමයි පාවිච්ච් කරන්නේ. මේ කඩුවේ විශේෂ බලයන් නැති වුනත්, සටනකට බය නැතිව ගෙනියන්න කියාපු ආයුධයක් කියලා තමයි අපිට තේරෙන්නේ!

 

6. Blade’s SwordBlade

බ්ලේඩ් කියන්නේ කොමික් පොත් වල එන චරිතයක්. හැබැයි බ්ලේඩ් ලෝකේ පුරාම ජනප්‍රිය වුනේ චිත්‍රපට පෙළ නිසා. බ්ලේඩ් කියන්නේ බාගයක් වැම්පයර්, බාගයක් මනුස්සයෙක්. හැබැයි වැම්පයර්ලගේ ඔක්කොම හැකියාවන් තියෙන, වැම්පයර්ලව භීතියට පත් කරන වැම්පයර් දඩයක්කාරයෙක්. බ්ලේඩ් ගාව විවිධ ගැජට්, තුවක්කු, පිහි අනං මනං සෑහෙන දේවල් තිබුණත්, බ්ලේඩ්ගේ අයිකන් එක තමයි එයාගේ කඩුව. මේක බැලූ බැල්මට හොඳට කැපෙන නිකම් කඩුවක් වගේ පෙනුනත් මේක සුවිශේෂයි. එකක් මේක හදලා තියෙන්නේ ටැම්පර්ඩ් ටයිටේනියම් වලින්. ඒ එක්කම මේකේ මිට පටන් ගන්න තැන තියෙනවා තව උල් කීපයක් මතුවෙන යාන්ත්‍රණයක්. ඒ කියන්නේ නොදන්න කෙනෙක් කඩුව අතට ගත්තොත් අත ඉවරයි. ඒ නිසා මේකෙන් වැඩ ගන්න පුළුවන් බ්ලේඩ්ට විතරයි!

7. Furyan Ulaks – Chronicles of Riddick

රිඩික් කියලා කියන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි පෙළක් වුණු ක්‍රොනිකල්ස් ඔෆ් රිඩික් මාලාවේ එන ප්‍රධාන චරිතය. මේ චිත්‍රපට මාලාවට පදනම් වෙන්නේ මිනිස්සු ඉන්න ග්‍රහලෝක පද්ධති ගණනාවකින් යුක්ත ආගන්තුක විශ්වයක්. රිඩික් කියන්නේ ෆ්‍යූර්යන් කෙනෙක්, නැතිනම් ෆ්‍යූර්යා ග්‍රහලෝකයේ ඉතුරු වෙලා ඉන්න කීප දෙනාගෙන් කෙනෙක්. අතිවිශිෂ්ට රණශූරයෙක් වෙන රිඩික්ගේ ප්‍රියතම ආයුධ වෙන්නේ කිණිසි, කිරිච්චි තමයි. මේ අතරිනුත් රිඩික්ගේ විශ්වාසවන්තම ආයුධ වෙන්නේ ෆ්‍යූර්යන් රණශූරයෝ පාවිච්චි කරන උලාක් කියලා හැඳින්වෙන මිටෙන් නැවුණු අපූරු හැඩයක් තියෙන කිණිසි යුවළක්. හැබැයි ඉතින් මේ කිණිසි කොයි තරම් පොඩි වුණත්, රිඩික් අතේ නම් මේවා මාරාන්තික ආයුධ තමයි!

 

අපි මේ ආයුධ ප්‍රතිනිර්මාණය කරන වීඩියෝ වලට Man At Arms ටීම් එකේ වීඩියෝ පාවිච්චි කළේ හේතුවක් ඇතුව. මේ විදියට ෆැන්ටසි ආයුධ ප්‍රතිනිර්මාණය කරන තවත් අය හිටියත්, මේ Man At Arms කට්ටිය තරම් සීරියස් ලෙවල් එකකින්, ඉතාම කුඩා ඩීටේල් පවා අත් නොහරිමින් නිර්මාණය කරන අය අඩුයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *