වැඩ්ඩෙක් වගේ ලස්සනට ගේ ​පේන්ට් කරගන්න මේ කරුණුවලට අවධානය යොමු කරන්න

මේ උදාවෙලා තියෙන්නෙ කවුරු කවුරුත් තමන්ගෙ ගෙවල් දොරවල්වල පෙනුම අලුත් කරගන්න යුහුසුළු වෙන කාලයක්. ඇයි ඉතින් අලුත් අවුරුද්දක් පටන්ගන්න ආසන්​න උත්සව සමයක්නෙ මේ. ගේ දොර වලට පෙනුම අලුත් කරගන්න අපි මූලිකවම කරන වැඩක් තමයි ගෙවල් අලුතින් පේන්ට් කරගන්න එක. සමහරු මේ පේන්ට් වැඩේ තමන්ම තනියෙන් හෝ ගෙදර අයගෙ උදවු ඇතිව කරනවා. අන්න එහෙම අයට උදවුවක් වෙන ලිපියක් ලියන්න තමයි අපි මේ හදන්නේ. අපි මේ කියන්න යන්නෙ හොඳ ප්‍රොෆෙෂනල් පේන්ටර් කෙනෙක් තීන්ත ගෑවා වගේ කොලිටියක් සහිතව තමන්ගේ ගෙදර පේන්ට් කරගන්න නම් ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් ගැනයි!

 

1. ගෘහ භාණ්ඩ සහ ආලෝක තත්ත්ව​ය ගැන අවධානය යොමු කරන්න

තීන්ත මිලදී ගන්න කඩේකට ගියාම අපේ හිතට ආසා හිතෙන තීන්ත වර්ග සහ වර්ණ රැසක් අපිට දකින්න ලැබෙනවා. හැබැයි එහෙම දැක්ක පළියට ආසා වෙලා හදිස්සියෙන් තීන්ත මිලදීගෙන එන්න එපා. මුලින්ම කල්පනා කරල බලන්න ගෙද​ර තියෙන ගෘහ භාණ්ඩවලට මේ තීන්ත වර්ණ ගැලපෙනවද කියලා. මොකද තීන්ත ගෑවට පස්සේ ඒවා සහ ගෙදර බඩු අතර ලොකු නොගැලපීමක් තිබුණොත් ආයෙත් ගෘහ භාණ්ඩ අලුතින් ගන්න අපිට සල්ලි නෑනෙ. අන්න ඒ නිසා තමන්ගේ ගෘහ භාණ්ඩවල වර්ණයන්ට හොඳට ගැලපෙන, ඒවායේ පෙනුම තවත් ඔප මට්ටම් කරන වර්ණ තේමාවන් ඔස්සේ තීන්ත තෝරාගන්න. මෙතැනදී ගෙදර ආලෝක තත්ත්වය ගැනත් හිත යොමු කරන්න. විදුලි බුබුළුවලින් හරි හිරු එළියෙන් හරි නිසි පිරිදි ආලෝකමත් වෙන්නෙ නැති තැනකට අඳුරු වර්ණයක් ගෑවොත් කළුවර ගුහාවක් වගේ පේන්න තියෙයි. අන්න ඒ විදිහේ ප්‍රශ්න වලට හොඳ විසඳුම් දෙන තීන්ත වර්ග දැන් වෙළඳපොළේ තියනවා. ආලෝක තත්ත්වය සහ ඉඩකඩ (Light and space) ඉහළ නංවන විදිහට නිර්මාණය කරපු විශේෂ තීන්ත වර්ගයක් මිලදී ගන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක. මේ විදිහේ තීන්ත වර්ගයකින් ආලෝකය අවශෝෂණය නොකර වැඩිපුර පිටකරමින්, වැඩි ආලෝක තත්ත්වයක් සහ ඉඩ කඩක් පෙන්නුම් කරනවා.

 

2. ලස්සන තේමාවක් ගැන හිතන්න

දැන් ඉස්සර වගේ තනි පාටින් මුළු ගෙයක් පාට කරනවට වඩා විවිධ බිත්තිවලට විවිධ වර්ණ යොදනවා. විවිධ හැඩතල සහිතව තීන්ත ගානවා. ඒවායෙන් පුළුවන් ගෙදර පෙනුම ඉතාම ප්‍රියමනාප විදිහට ඉහළ දාන්න. ඉතින් තමන්ගේ නිවසට ගැලපෙන සහ තමන් ආස කර​න මේ විදිහේ වර්ණ තේමාවන් කිහිපයක් අන්තර්ජාලය සහ සඟරා ඇසුරින් හොයාගන්න. ​අපි කලින් කියපු නිවසට ගැලපෙන වර්ණ තේමාවන් ඔස්සේ මේ තෝරාගැනීම් කරන්න. එහෙම කරලා තමන් තෝරාගත් තේමාවට අනුව තීන්ත ආලේප කරන කාර්යය සැලසුම් කරන්න. හොඳ තත්ත්වයේ තීන්ත වෙළඳ නාම විසින් මේ වෙද්දී නොයෙකුත් වර්ණ රටාවන් සහි​ත තීන්ත වර්ග වෙළඳපොළට නිකුත් කරලා තියනවා. උදාහරණයක් හැටියට මාබල්, ලිනන් ව​ගේ පෙනුමක් ලබාදෙ​න තීන්ත වර්ග දැන් වෙළඳපොළේ තියනවා. ඉතින් අලුත් තේමාවක් තෝරාගන්නා ඔබට මේ විදිහේ නොයෙක් Effects සහිත තීන්​ත වර්ගවලින් ලොකු සහායක් ලැබේවි. ලංකාවේ ජනප්‍රිය Dulux Ambiance වැනි තීන්ත සන්නාමයන් යටතේ මෙවැනි සුන්දර රටා සහිත තීන්ත ඔබට බොහොම පහසුවෙන් සොයාගන්නට හැකියාව ලැබේවි.

 

3. කාලගුණ තත්ත්වය ගැනත් හිතන්න

තීන්ත ගාන්න පටන් ගන්න කලින් ඒ දවස්වල පවතින කාලගුණ තත්ත්වය ගැනත් පොඩ්ඩක් හිත යොමු කරන්න. මොකද වැසි සහිත ශීතල දවසක තීන්ත ගානවා කියන්නේ තීන්ත වියැලෙන්න කල් ගත වෙනවා, ඒ වගේම ඒවාට වර්ෂාවෙන් හානි වෙන්න පුළුවන්. ඒ වගේ වුණොත් වැඩේට යන කාලය සහ මහන්සිය වැඩි වෙනවා වගේම සමහරවිට තීන්ත නාස්තියත් වැඩි වෙලා නිවසේ පෙනුමත් බාල වෙනවා. අන්න ඒ නිසා හොඳට හිරු එළිය සහිත උණුසුම් දවසක් මේ විදිහේ වැඩකට තෝරගන්න.

 

4. එකපාර තීන්ත ගාන්න පටන් ගන්න එපා!

සමහරුන්ට තීන්ත ගෙනාපු ගමන් ඉවසිල්ලක් නැහැ මේවා ගෙදර බිත්තිවල ගානකම්. හැබැයි කොයි තරම් ආසා වුණත් ඒ වැඩේට හදිස්සි වෙන්න එපා. මොකද ඊට කලින් නිවසේ සහ බිත්තිවල සකස් කරන්න දේවල් ගොඩක් තියනවා. නිවසේ මකුළුදැල් එහෙම බැඳිල තියනවනම් ඒවා කඩල දාන්න මුලින්ම. ඉන් පස්සේ නිවසේ බිත්තිවල තියන දුහුවිලි තෙත රෙදි කඩක් පාවිච්චි කරලා පිස දමන්න. නැත්නම් අලුතින් ගාන වර්ණවල නියම පෙනුමට බාධාවක් වේවි. පතුරු ගැලවුණු තීන්ත වැලි කඩදාසියකින් ඉවත් කරන්න, බිත්තියේ කුහර සහ පැළුම් තියනවනම් ඒවාට පොටි ආදිය ගාලා, කපලා පිළිවෙලක් කරන්න. සමහරු කැමතියි අලුතින් තීන්ත ගාන්න කලින් ප්‍රයිමර් තට්ටුවක් ආලේප කරන්න. ඒ විදිහේ දේවල් කරලාම අදාළ වර්ණය ගාන්න පටන් ගන්න. අලුත් බිත්තිවල තීන්ත ගාද්දි ඒ බිත්ති දිය සීරාවලින්, තෙතමනයෙන් සහ අවු රශ්මියේ ආරක්ෂා කරවන හොඳ වෝටර් පෘෆින් ආලේපනයක් ගාන්නත් අමතක කරන්න එපා. මේ සඳහා Dulux Aquatech කියන්නෙ හොඳ විසඳුමක්. ඒ වගේම තෙතමනයට සහ හිරු රශ්මියට නිතර නිරාවරණය වන බිත්ති වලට වෙදර්ශීල්ඩ් තීන්ත තෝරාගෙන ආලේප කරන්නටත් අමතක කරන්නට එපා. නැත්නම් ඉතාම ඉක්මනින් මේ බිත්ති දුර්වර්ණ වී අවලස්සන වේවි.

 

5. තීන්ත වලින් වන හානිය අවම කරගන්න  පියවර ගන්න

තීන්ත ගාද්දි අපි තීන්ත ගාන ප්‍රදේශවලට අමතරව වෙනත් තැන් වලටත් ඒවා විසිරිලා යන එක වළක්වන්න අමාරුයි. අන්න ඒ නිසා තීන්ත ගාන තැන අසල තියන ගෘහ භාණ්ඩ සහ හානි වෙන්න පුළුවන් දේවල් ඉවත් කිරීම ​හෝ නිසි ආවරණ යෙදීම ​හෝ කරන්නට ඕන. නිවසේ දොරවල අගුල් සහ බිම පත්තර කොළ මගින් ආවරණය කරන්න පුළුවන්. තීන්ත ගාන සීමාවන් සලකුණු කරගෙන, දොර උළුවහු ආදිය තීන්ත ගෑවීමෙන් ආරක්ෂා කරන්න මාස්කින් ටේප් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. තීන්ත ගාන ඔබත් අත් පා හොඳින් ආවරණය වෙන ඇඳුමක් ඇඳගෙන, හිසට තොප්පියක් එහෙම දාගන්න වැඩ අරඹන්න කලින්.

 

6. හොඳ තීන්ත වර්ගයක් තෝරාගන්න

කාලයක් තිස්සේ තමන්ට හුරු පුරුදු, වෙළඳපොළේ නම තියපු හොඳ වර්ගයක තීන්ත මිලදී ගන්නත් අමතක කරන්න එපා. මේ විදිහේ තීන්ත එකකින් ලැබෙන ෆිනිෂ් එක ඉතාම ඉහළයි. මේ විදිහෙ තීන්තවල පින්සල් පාරවල් හිටින්නේවත් වර්ණය අසමාන වෙන්නේවත් නැති නිසා වෘත්තීයමය පින්තාරුකරුවෙක් නොවන කෙනෙක්ට වුණත් ඉතාම ලස්සනට තීන්ත ආලේප කරගන්න ලේසියි මේ විදිහෙ ඉහළ ප්‍රමිතියේ තීන්ත එකක් තෝරාගත්තාම. 

ඒ වගේම තමයි තීන්ත වර්ගයක් තෝරාගනිද්දී Stain Resistant & Washable තීන්ත වර්ගයක් තෝරාගන්න එකේ තියන වැදගත්කමත්. මේ විදිහේ තීන්ත ආලේප කළාම බිත්තිවල කුණු පැල්ලම් හිටින්නේ නැති තරම්, එහෙම හිටින කුණු පැල්ලම් වුණත් සබන් ටිකක් දාල ලේසියෙන්ම හෝදලා ඉවත් කළහැකියි. හෝදපු තැන පැල්ලම් හිටින්නේත් නැති විදිහට. මේ විදිහේ තීන්ත වර්ගයකට උදාහරණයක් හැටියට අපිට Dulux Easy Care තීන්ත හඳුන්වන්න පුළුවන්.

මීට අමතරව කාටත් තියෙන ප්‍රශ්නයක් වෙන බිත්තිවල පුස් බැඳීම වළක්වන Anti-bacterial & Anti-Mould වර්ගයේ තීන්ත වර්ගයක් භාවිතා කරන එකත් අමතර වාසියක් වේවි!

 

7. හරි ක්‍රමයට තීන්ත ගාන්න

ලොකු පින්සල් සහ රෝලර් වලින් නිවසේ හැම පෘෂ්ඨයකම තීන්ත ගාන්න බැහැ. අන්න ඒ නිසා විවිධ ප්‍රමාණවලින් යුතු පින්සල් ඒ සඳහා මිලදී ගන්න. මේවාත් වෙළඳපොළේ තියෙන හොඳ වර්ගයකින් මිලදී ගන්න. නිවසක තීන්ත ගෑමේදී උඩ ඉඳන් යටට තමයි තීන්ත ගාන්න ඕනේ. ඒ කිවුවේ සිවිලිම, උඩ බිත්ති වල ඉඳන් පොළව දක්වා පහලට එන විදිහට. මේ ක්‍රමයට තීන්ත ගෑමේදී තීන්ත පහලට බේරිලා ආවත් ඒවා වැහෙන්න නැවත තීන්ත ගාන්න පුළුවන්කම තියන නිසා පිළිවෙල අතින් ඉහළයි. තීන්ත ගාද්දි පින්සල සම්පූර්ණයෙන්ම තීන්ත බාල්දියේ ඔබන්නෙ නැතිව පින්සලෙන් තුනෙන් දෙකක විතර කොටසක පමණක් තීන්ත තවරාගන්න මතක තියාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *