මේ දවස්වල අපේ රටට වෙලාවක් කලාවක් නැතුව වැහි දෙයියො බැලුම් හෙලනවා. ඉතින් එහෙම වුණාම සමහරු දෙස් තියනවා. සමහරු ඒ වැස්ස විඳිනවා. ඒ විඳීම එක එක විදියයි. ඒකට සමහර කොම්බිනේෂන් ලොකු බලපෑමක් කරනවා. වැහි බිඳු වැටෙන සද්දෙට කලුවරේ ඔබ අපි රැඳෙන තැනක දී හොඳටම කැපෙන මේ කොම්බිනේෂන් නැගලා නොගියොත් පුදුමයි.
1. පොල් රොටිය/ආප්පය සහ ප්ලේන්ටිය
පොල් රොටියත් ආප්පයත් කියන දෙකම ඇදලා ගත්තේ දෙකම එකට පෑහෙන නිසයි. මේ දෙන්නවම එකට යා කරන තැන තමයි හොඳ සැරට හදාපු ලුණු මිරිසක් කියන්නේ. නිකන් ම රොටියක් ආප්පයක් ගිලිනවට වඩා ලුණුමිරිස එක්ක කද්දි තමයි අර කියන ප්ලේන්ටි ගතියත් එකතු වෙලා වැහිබර කාලගුණයට එකතු වෙන්නේ. ප්ලේන්ටියට ඉඟුරු කෑල්ලක් එකතු කරගත්තම පංකාදු පහයි. වැස්ස නැතුවත් රහ තියන එක වැහි වහිනකොට සීතල එක්ක ඔට්ටු වෙන්න ආයෙ ඉතින් ගිනි ගින්දර. කන් දෙකෙන් පිටවෙන්නේ.
2. කෝපි සහ පොත
ප්ලේන්ටියෙන් කෙලින්ම මාරු වෙන්නේ කෝපිවලට. මොනා හරි කාලා සැරට බොන්න ප්ලේන්ටිය සෙට් වෙනවා. හැබැයි කෝපි කෝප්පයක් මුකුත් නොකා රස විඳිනකොට ඒ රසය වැඩියි. කෝපි බොන එක සමහර රටවල ලොකු සම්ප්රදායක් වුණාට අපේ නිවසක වුණත් බොහෝ විට කෝපි කෝප්පයක් හැදෙන්නේ බඩ රිදෙන වෙලාවට. එහෙම නැතුව වහින වෙලාවට වෙනසකටත් එක්ක පොතක් කියවන්න කෝපි කෝප්පයක් හදාගන්න. ආය ඉතින් දිව්‍යලෝක සැප.
3. පුච්චපු බඩඉරිඟු සහ චිත්‍රපට
අපි සාමාන්‍යයෙන් චිත්‍රපට බලනකොට පොප්කෝන් කනවා. ඒ ඉතින් වැඩියෙන් ම ෆිල්ම් හෝල් එකක දී වෙන දෙයක්. ගෙදරදි වුණත් කලින් ගෙනාපු ස්නැක් එකක් නැත්තන් ගෙදර තියෙන ඕන දෙයක් හපන්න ළඟ තියාගන්නවා. නමුත් වැස්ස වෙලාවක චිත්‍රපටයක් බලන්න හදාගන්න මල් මසුරන් කෑමක් තියනවා. ඒ තමයි හොඳට පුච්චාගත්ත බඩඉරිඟු. හැබැයි ඉතින් උණු පිට කන්න ඕනි රජෝ.
4. ආසම සින්දු සහ අයිනේ සීට් එක
මේක පොඩි සිනමාත්මක ගතියක් තියන වැඩක්. පොදු ප්‍රවාහනයේ දී වේවා තමන්ගේ ම වාහනයක දී වේවා කන් දෙකේ ඇබ දෙක ගහගෙන ආසම සින්දුව අහගෙන යනකොට වටපිටාවේ ඔක්කොම අමතකයි. මතකයන් අලුත් කරවන හැඟීම් ඇති කරවන වැස්ස වෙලාවට මේ දේ ම කරද්දි අර කියන හැඟීම් ගනුදෙනුව සියදහස් වරක් වැඩියෙන් දැනෙනවා.
5. රෝස් පාන් සහ සුප්
සුප් එකක් බොන්නත් අසනීප වෙනකන් ඉන්න දෙයක් නෑ. පොඩ්ඩක් පොද ගැහුවත් ඇති. රෝස් පාන් කියන්නේ අපේ ජාතික ආහාරෙට පොඩ්ඩක් ළඟින් යන එකක්. ගාණට ආපු රෝස් පාන් කෑල්ලක් සුප් එක්ක එකතු වෙලා ගලනාලේ දිගේ පහළට එන්නේ ඇඟ ඇතුළේ සකලමනාවම උණුසුම් කරගෙන. කවමදාකවත් සුප් එකක් නිකන් බොන්න එපා කියලා පොතේ පතේ සඳහන් වෙන්න ඕනි වෙන්නේ සුප් විතරක් බිව්වොතින් අර කියන උණුහුම නොදැනෙන නිසා වෙන්න ඕනි.
6. රෝස්ට් කජු සහ සැර බීම
සැර බීම කියන තැනට නම නොදත් සහ දත් ඕනිම බීමක් දාගන්න අවසරයි. හැබැයි වැහි දවසකට ඕනා කරන බයිට් එක තමයි අවන් එකෙන් බාගත්ත දුම් දාන කජු. ඒ වියළි ගතිය සහ සැර ගතිය කියන දෙක වැහි දවසකදී හරිම වැදගත්. හීතලට පෙඟුණ හිත් ගින්දර එක්ක එකට කලවම් කරලා ගහන තෙම්පරාදුවක් මේක. ආදරණීය මිනිසුන් එක්ක මේ වැඩේ කරද්දී තවත් සනීපයි.
7. විදුලි විසන්ධිවීම් සහ හොල්මන් කතා
ඇත්තෙන්ම වැහි වෙලාවක තියන ගුප්ත, මෙලෝ රහක් නැති, කාලකන්නි විදියට බය හිතෙන පරිසරය ස්වාභාවිකවම අත වනන්නේ හොල්මන් කතන්දරවලට. මළ ගෙවල්වල නයිට් ගහන ඔබේ යාළුවා මේ වෙලාවට ළඟ ඉන්නවා නම් ඔබට වෙන කිසි කොම්බිනේෂන් එකක් ඕනි වෙන එකක් නැහැ. විදුලිය නැති වෙලා ආයේ එන පාටක් නැති වුණාම එකට රැස් වෙලා කතා කියන එක පොඩි කාලේ ඉඳන් උණුහුමට වෙච්ච දෙයක්. ඒක හොඳම අනු කොටසක් තමයි මේක.
Leave a Reply