නත්තල් කාලෙට නත්තල වෙනුවෙන්ම විශේෂ කේක් 3ක් හදමුද?

නත්තල් කිව්වම අපි කාටත් නිතැතින්ම මතක් වෙන්නෙ කේක්නේ. ඒ වචන දෙක ඒ තරම් සමීපයි. නත්තල් කාලෙට හදන රසම රස කෑම අතරෙ මේ කේක් විශේෂ තැනක් ගන්නවා. හදලා බලලා රස කියන්න බලන්න එහෙනම්.

 

1. ක්‍රිස්මස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. චෙරීස් ග්‍රෑම් 250
  2. රුලං ග්‍රෑම් 300
  3. සීනි ග්‍රෑම් 500
  4. බටර් ග්‍රෑම් 250
  5. කරන්ට්ස් ග්‍රෑම් 80
  6. රේසින්ස් ග්‍රෑම් 250
  7. සුල්තානා ග්‍රෑම් 250
  8. ඉඟුරු දෝසි ග්‍රෑම් 250
  9. චව් චව් ග්‍රෑම් 250
  10. කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 80
  11. බිත්තර 12
  12. කජු ග්‍රෑම් 250
  13. ස්ට්‍රෝබෙරි ජෑම් (පොඩි) 1
  14. බ්‍රැන්ඩි වීදුරු 1/2
  15. මී පැණි පොඩි බෝතල් 1
  16. වැනිලා එසන්ස් මේස හැඳි 2
  17. රෝස් එසන්ස් මේස හැඳි 2
  18. ආමන්ඩ් එසන්ස් මේස හැඳි 2
  19. කරදමුංගු, කරාබුනැටි, කුරුඳුපොතු, සාදික්කා, තේ හැඳි 1 බැගින්
  20. ග්‍රේට් කරගත් දෙහි ලෙලි තේ හැඳි 2

 

  • පළතුරු සියල්ලම පොඩියට කපලා බ්‍රැන්ඩි කලවම් කරගන්න. ලොකු භාජනයකට දාලා දවස් 5ක් වගේ වහලා තියන්න.
  • රුලං ටික කබලේ ටිකක් බැදලා අරන් ඒකට බටර් කලවම් කරගන්න. බිත්තර සුදුමද හා කහමද වෙන් කරගන්න. සුදුමද ටික සීනි දාලා බීට් කරගන්න.
  • දැන් කහ මද ටිකත් දාලා බීට් කරගන්න. හොඳට බීට් කරගත්තට පස්සෙ ඒකට බටර් හා රුලං මිශ්‍රණයත් දාගන්න. දැන් මේක​ට පළතුරු එක දාගෙන හොඳට කලවම් කරගන්න.
  • දැන් මේකට මී පැණි ටික දාගන්න. රෝස් එසන්ස්, ආමන්ඩ් එසන්ස්, වැනිලා හා කුළුබඩු සියල්ලම කුඩු කරලා එකතු කරන්න.
  • ජෑම් එකත් හොඳට කලවම් කරලා කජු ටික කෑලි කපලා දාලා කලවම් කරගන්න. බේකින් ශීට් දාපු ට්‍රේ එකකට මිශ්‍රණය දාලා 180°C ට පැයක් වගේ බේක් කරගන්න.

ඉහත කේක් එකට සමානව තවත් නත්තල් කේක් එකක් ඉක්මනින්ම සාදා ගන්නා හැටි පහත වීඩියෝවෙන් නරඹන්න පුළුවන්

 

2. ලව් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් ග්‍රෑම් 300
  2. සීනි ග්‍රෑම් 300
  3. මී පැණි මේස හැඳි 8
  4. රුලං ග්‍රෑම් 250
  5. ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1
  6. රෝස් එසන්ස් තේ හැඳි 1
  7. ස්පයිසස් තේ හැඳි 1
  8. දෙහි ලෙලි තේ හැඳි 1
  9. බිත්තර 12
  10. පුහුල් දෝසි ග්‍රෑම් 100

 

  • රුලං කබලේ බැදලා බටර් එකතු කරලා තියාගන්න. බිත්තර සුදුමද වෙන් කරලා හිම වගේ මිදෙනකල් බීට් කරන්න.
  • කහමද ටික සීනි හා දෙහිපොතු දමා වෙනම බීට් කරන්න. කහමද ලා පාටක් වෙනකල් බීට් වෙන්න ඕනේ. ඒකට මී පැණි හා කජු කෑලි ටික දාගන්න.මේකටම පුහුල් දෝසි ටික කපලා රුලං මිශ්‍රණයට දාලා බිත්තර සුදුමද එක්ක කලවම් කරන්න.
  • ට්‍රේ එකකට බටර් ගාලා කේක් මිශ්‍රණය දාලා  180C° ට විනාඩි 40ක් බේක් කරන්න.

 

3. ක්‍රිස්මස් බෲදර්

බෲදර් හදන ක්‍රම කීපයක්ම තියෙනව. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව පහසුවෙන් බෲදර් එකක් හදාගන්න හැටියි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

ඩෝ එක සඳහා

 

  1. පාන්පිටි ග්‍රෑම් 250
  2. ඊස්ට් ග්‍රෑම් 6
  3. සීනි තේ හැඳි 2
  4. කිරි කෝප්ප 1
  5. ලුණු පින්ච් එකක්

 

වෙනම අවශ්‍ය වර්ග

  1. සීනි ග්‍රෑම් 100
  2. බිත්තර 2
  3. බටර් ග්‍රෑම් 100
  4. සුල්තානා ග්‍රෑම් 50
  5. ටූටි ෆෘට් ග්‍රෑම් 50

 

  • කිරි වලට ඊස්ට් සහ සීනි හැඳි 2 එකතු කරන්න. ඒකට පිටි හා ලුණු එකතු කරලා බීට් කරගන්න. දැන් මේක දෙගුණයක් වෙන්න පිපෙන්න තියන්න.
  • මෝලිය පිපුණට පස්සෙ ඒකට සීනි ග්‍රෑම් 100 එකතු කරලා බීට් කරගන්න. දැන් බිත්තර එකින් එක එකතු කරගන්න. බිත්තර හොඳට බීට් උනාට පස්සෙ බටර්, ටූටි ෆෘට්  හා සුල්තානා ටික එකතු කරගන්න.
  • දැන් බටර් ගාගත් තැටියකට දාලා ලා රස්නයක් ඇති තැනක පිපෙන්න තියන්න. දැන් මේක 180°C ට විනාඩි 40ක් බේක් කරගන්න. බේක් උනාට පස්සෙ අවන් එකෙන් අරගෙන නිවෙන්න තියන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *