හොඳ තීන්ත වර්ගයක් ආලේප කිරීමෙන් නිවසටත් ඔබටත් හිමිවන වාසි මේවායි!

අවුරුද්දක් ගෙවිල, අලුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න තියන මේ දවස්වල හැමෝම වගේ අලුත් වෙන්න ආසාවෙන් තමයි ඉන්නෙ. තමන්ගේ ජීවිතේ වගේම තමන්ගෙ වටපිටාවත් අලුත් අවුරුද්දත් එක්ක නැවුම් කරගන්න ගොඩ දෙනෙක් උත්සාහ කරන කාලයක් මේක. ඒ නිසාම තමන්ගෙ කාමරය, නිවස එහෙම අලුතින් තීන්ත ආලේප කරල ලස්සන කරගන්නත් ගොඩ දෙනෙක් මේ දවස්වල ලක ලැහැස්ති වෙනවා දකින්න පුළුවන්. එහෙම අය වැඩිපුර හිතන්නෙ නැති, එහෙත් අනිවාර්යයෙන් සිතිය යුතු කාරණයක් ගැනයි අද අපි මේ කියන්න යන්නේ.

ඒ තමයි ආවට ගියාට නැතුව නිවස පින්තාරු කරද්දී හොඳ තීන්ත වර්ගයක් තෝරාගත යුත්තේ ඇයි කියන එක. එහෙම හොඳ තීන්ත වර්ගයක් තෝරාගන්න එකෙන් අපිට ලැබෙන වාසි ගැනයි මේ කතාව…

 

1. සුපිරි පෙනුම!​

බොරු කියන්න ඕන නැහැනේ… අපි ගාන තීන්ත එකකින් අපි මූලිකවම බලාපොරොත්තු වෙන කාර්යය තමයි නිවසට හොඳ ලස්සනක්, වර්ණයක් එකතු වෙන එක. ඉතින් මේ බලාපොරොත්තුව හොඳටම ඉෂ්ට කරන්න පුළුවන් හොඳ වර්ගයේ තීන්ත එකකට විතරයි. ඇයි කියල කිවුවොත්, බාල වර්ගයේ තීන්ත මිල ගණන් අඩුවට තිබ්බට ඒවායෙන් ආවරණ වෙන බිත්ති ප්‍රමාණය හරිම අඩුයි. ඒ මදිවට ඒ වගේ තීන්ත වර්ග ගාද්දි පින්සල් පාර හිටිනවත් වැඩියි. 

හැබැයි හොඳ තීන්ත වර්ගයක් ගත්තොත් නම්, තීන්ත ආලේප කරන බිත්තියේ ස්වභාවය අනුව එක කෝට් එකක් පමණක් ගෑවත් ප්‍රමාණවත් වෙන්න ඉඩ තියනවා. එහෙම නැතත් අඩු තීන්ත ප්‍රමාණයකින් වැඩි බිත්ති ප්‍රමාණයක් අනිවාර්යයෙන් ගෑවෙනවා, සමානව වර්ණ ගෑවෙනව, ආවරණය වෙන බිත්ති ප්‍රමාණයත් ඉතා වැඩියි, පින්සල් පාරවල් හිටින්නේ නැතිව නියම ෆිනිෂ් එකක් එනවා. ඒ වගේම තමන් තෝරගත්ත වර්ණය ඒ හා සමානවම බිත්ති මත ලබාගැනීමේ හැකියාව මේ හොඳ තීන්ත වර්ගයකින් ලැබෙනවා.

 

2. නාස්තිය අඩුයි

සමහර විට හොඳ වර්ගයේ තීන්ත එකක් සාමාන්‍ය තීන්ත එකකට වඩා පොඩ්ඩක් විතර මිලෙන් වැඩි වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට ඒ මුදලට හිතනවටත් වඩා ඔබට වාසියක් ලැබෙන්නේ මේ විදිහෙ තීන්ත එකක් නාස්ති වෙනවා ඉතාම අවම වෙන නිසයි. අඩු තීන්ත ප්‍රමාණයකින් වැඩි බිත්ති ප්‍රමාණයක් ගාන්න පුළුවන් හොඳ තීන්ත වර්ගයකින්. ඒ වගේම අවශ්‍ය වර්ණය ලබාගන්න තීන්ත කෝට් කීපයක් ගාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි මේ විදිහේ තීන්ත වර්ගයක් ගාද්දි තීන්ත හැම අතටම විසිරිලා ගිහින් නාස්ති වෙනවත් අඩුයි. ඒ නිසා තීන්ත වැයවීම වගේම වැඩි බිත්ති ප්‍රමාණයක් ගාන්න පුළුවන් නිසා ඔබට දරන්න වෙන වියදමත් ඉතාම අඩුයි. 

 

3. දිගුකල් පැවැත්ම

හොඳ තත්ත්වයේ තීන්ත වර්ගයක් වරක් ගෑවට පස්සේ ආයෙ ඉතින් කාලයක් යනකන් වර්ණය වෙනස් වෙලා අවලස්සන වෙන්නේ නැහැ. ඒවා හදල තියෙන්නෙ අවුව, වැස්ස වගේ විවිධ පරිසර සාධකවලින් ආරක්ෂා වෙන විදිහටයි. ඒ නිසා පතුරු ගැලවිලා, දුර්වර්ණ වෙලා කෙටි කාලයකින් ආයෙමත් අලුතින් තීන්ත ගාන්න වෙන්නේ නැහැ. මේක දිගුකාලීන මුදල් ඉතිරියක් හැටියටත් සලකන්න පුළුවන්.

 

4. මහන්සිය සහ කාලය ඉතිරි වීම

බාල තීන්ත වර්ගයක් අපිට ඕනෙ කොලිටියට වර්ණ ලබාගන්න සෑහෙන කාලයක් සහ මහන්සියක් වැය වෙනවා. සමහර ඒවායේ තීන්ත කෝට් දෙකක් ගෑවත් අවශ්‍ය වර්ණය මතු වෙන්නේ නැහැ. අඩු බිත්ති ප්‍රමාණ ආවරණය වීම නිසා සහ පින්සල් පාරවල් හිටීම නිසා නැවත නැවත තීන්ත ගාන්නට සිදු වෙනවා. නමුත් හොඳ තීන්ත වර්ගයක් නම් අපට අවශ්‍ය වර්ණය සහිතව වැඩි බිත්ති ප්‍රමාණයක ආයාසයකින් තොරවම ගා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ නිසා අපේ කාල වේලාව, මහන්සිය වගේම අපි කලින් කිවුවා වගේ වියදමත් ඉතිරි වෙනවා.

 

5. තීන්ත ගෑමේ කුලිය අවම වීම

බාල වර්ගයේ තීන්ත වර්ගයකින් හොඳ ප්‍රතිඵල ගන්න නම් සමහර විට තීන්ත කෝට් දෙකකටත් වඩා ප්‍රමාණයක් ගාන්න සිද්ධ වෙනවා. එතකොට තීන්ත ගාන්න ගතවන කාලය සහ වෙහෙස ඉහළ යනවා. අපි ගොඩක් වෙලාවට පේන්ට් බාස්වරුන්ගේ සහාය ලබාගෙනනේ නිවසට තීන්ත ගාන්නේ. ඉතින් බාල තීන්ත වර්ගයක් ගෑවොත් මේ අයට ගෙවන්නට වෙන කුලී මුදලත් අපිටත් නොදැනීම ඉහළ යනවා. මොකද වැඩි කාලයක් වැය කරලා, වැඩි තීන්ත කෝට් ගණනක් ගාන්න සිද්ධ වෙන නිසා. මේ තත්ත්වය උසස් ප්‍රමිතියේ තීන්ත වර්ගයකින් අත්විඳින්න සිද්ධ වෙන්නෙ නැහැ. ඒවායෙන් ඉතාම පහසුවෙන් වැඩි බිත්ති ප්‍රමාණයක තීන්ත ගෑවෙන නිසා තීන්ත ගාන්න ගතවෙන කාලය සහ කුලිය අවම වෙන්න ඒක බලපානවා. හොඳ මට්ටමේ තීන්ත වර්ගයක් අනෙක් තීන්ත වර්ගයකට වඩා තරමක් මිලෙන් වැඩි වුණත්, අපි ඉහත කියපු වාසි නිසා තීන්ත ගෑම අවසානයේදී අපිට හිතනවට වඩා මුදලක් ඉතිරි වෙන්න ඒක බලපානවා.

 

6. නඩත්තු අවම වීම

කුඩා දරුවන් එහෙම ඉන්න ගෙදරක් නම් ඉතින් බිත්ති කිළුටු වෙන එක අහන්නත් දෙයක් නැහැ. එහෙම නොවුනත් ඉතින් එදිනෙදා වැඩ කටයුතු අතරේ වැඩිහිටියො අතින් වුනත් ගෙදර බිත්ති වල පැල්ලම් හිටින්න, කිළුටු වෙන්න පුළුවන්. හැබැයි හොඳ තීන්ත වර්ගයක් ගෙදර ගාල තියනවනම් මේ කිළුටු වීම ඉතාම අවමයි. මොකද ඒ විදිහෙ තීන්ත වර්ගයක් ගාල තියෙද්දි බිත්තිවල පැල්ලම් හිටිනවා බොහොම අඩුයි. පැල්ලමක් දෙකක් හිටියත් ඒවත් පිස දමලා ඉක්මනින් ඉවත් කරන්න පුළුවන්. බාල තීන්තවල වගේ පැල්ලමක් පිස දැම්මාම තීන්ත තට්ටුව පිටින් ගැලවිලා යන්නෙත් නැහැ. ඒ වගේම නිවසේ අලුත්වැඩියා කටයුත්තක් වගේ දේකදි නැවත කරන ‘ටචප්’ වැඩ වලදි පරණ තීන්ත තට්ටුව සහ අලුත් තීන්ත තට්ටුව අතර වෙනසක් පෙන්නුම් කරන්නෙත් නැහැ. කොලිටියට ෆිනිෂ් වෙනවා. ඒ නිසා හොඳ තීන්ත වර්ගයක් ගානවා කියන්නෙ ඒක ලස්සනට පවත්වාගෙන යන්න වගේම නඩත්තු කරන්නත් හරිම ලේසියි කියන එකයි.

 

7. සෞඛ්‍යයට සහ පරිසරයට හානි අවමයි

වෙළඳපොළේ අඩු මුදලට, ලස්සනට දැක්ක පලියට තීන්ත ගෙන ඇවිත් ගෙදර ආලේප කරන්න කලින් ඒවායේ ශරීරයට අහිතකර VOC, Lead වගේ අන්තර්ගතයන් බහුලව තියනවද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ. මේවා කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් අහිතකර සෞඛ්‍ය තත්ත්ව උදා කරවනවා. සමහර තීන්ත ගෑවට පස්සේ දවස් ගණනක් යනකන් ඉතාම සැර ගන්ධයක් විහිදෙනවා. හතිය වගේ ශ්වසන රෝගී තත්ත්වයන් තියන පුද්ගලයන්ට එවැනි තීන්ත වර්ග සෞඛ්‍ය ගැටළු ඇති කරන්නටත් පුළුවන්. ඒ වගේම උසස් වර්ගයේ තීන්තවල බැක්ටීරියා පැතිරීම අවම කරන්න ඇන්ටි බැක්ටීරියා තාක්ෂණයන් එනවා. අන්න ඒ නිසා මේ සියළු තත්ත්වයන් ගැන අවධානය යොමු කරල නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියේ තීන්ත වර්ගයක් තෝරාගැනීම ඉතා වැදගත්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *