අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වාහන හිමියන්ට තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි වාහන නඩත්තුව කියන කාරණාව. වාහනයක් මිලදී ගැනීම ගොඩක් අමාරු දෙයක් උනත් ගත්තු වාහනේ නඩත්තු කරනවා කියන එක ඊටත් වඩා අමාරු දෙයක්. ඒක වාහන පාවිච්චි කරන ගොඩක් අය කියන කතාවක්. වාහනයක් විතරක් නෙමෙයි කොයි දේ උනත් හරියට නඩත්තු කළේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව යනවා. ඒ වගේම තමයි හරිහැටි නඩත්තු කළේ නැත්නම් තමන්ගේ පොකට් එකටමයි පාඩු වෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව වාහනේ හරි හැටි නඩත්තු කරගෙන යන්න උදව් වෙන ටිප්ස් කිහිපයක් තමයි අද අපි කියල දෙන්න හදන්නේ.
.
1. ටයර්
ටයර් කියන්නේ වාහනේ ඉතාම වැදගත් කොටසක්. ටයර් හරියාකාරව නඩත්තු නොකරනවා කියන්නේ ලොකු අනතුරකට අත වනනවා වගේ තමයි. අන්න ඒ හින්දා ටයර් වලට ලොකු අවධානයක් දෙන්න ඕනේ. දිනපතා ටයර් වල වායු පීඩනය පරික්ෂා කරන්න අනිවාර්යයෙන් වෙලාවක් වෙන්කරගන්නම ඕනේ. ඒ වගේම තමයි ටයර් වල තත්ත්වයත් දිනපතාම හොයල බලන්න ඕනේ. නියමිත කට්ට ප්‍රමාණය තියෙනවද, ටයර් වල පළුදු වීම් වගේ දේවල් තියෙනවද කියන කාරණා විශේෂයි. ඒ වගේ දිනපතා පරීක්ෂාවකින් තමයි වෙන්න තියෙන භයානක අනතුරක් වළක්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට අමතරව හැම සේවා වාරයකදීම, ඒ කියන්නේ සර්විස් කරන වෙලාවලදී ටයර් ටික මාරු කරවගන්න මතක් කරලා. ඒ කියන්නේ ඉස්සරහ ටයර් පිටිපස්සට දාල, පිටිපස්සේ ඒවා ඉස්සරහට දාන එක. ඒකෙන් ටයර් වල සමාන්තරව ගෙවීම ඇතිකරගන්න පුළුවන්.
2. ඔයිල්
ටයර් වගේම වැදගත් දෙයක් තමයි වාහනේ තෙල් මට්ටම් පරීක්ෂාවත්. බ්රේක් ඔයිල්, එන්ජින් ඔයිල් කියන්නේ වාහනේකට වැදගත්ම ඔයිල් වර්ග දෙකක්. මේවයේ කාර්යභාරය නම් වාහනේකට ඉතාම වැදගත්. එන්ජින් ඔයිල් ගත්තොත් වාහනේ එන්ජින් එක ඇතුලේ ලෝහ කොටස් අතර ඝර්ෂණය අවම කරලා සුමටව අදාළ කොටස් ක්‍රියාත්මක වෙන්න ඉඩ සලස්වන එක තමයි කාර්යභාරය. ඉතින් ඒක එන්ජින් එකේ කල්පැවැත්මට ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා සතියකට පාරක් හරි එන්ජින් ඔයිල් චෙක් කරන ස්ටික් එකෙන් තහවුරු කරගන්න එන්ජින් ඔයිල් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද? සහ ඔයිල් වල වර්ණය වෙනස් වෙලාද කියන එක. ඔයිල් ගොඩක් අවපැහ වෙලා තියෙනවනම් ඒ කියන්නේ මාරු කරන්න වෙනවා.
3. DashBoard
මීටර් පැනල් එකේ යම් යම් සංඥා පෙන්නුම් කරනවා වාහනේ යම් යම් දෝෂ වලට අදාළව. යම් විදිහකින් එහෙම මොනාහරි සංඥාවක් පෙන්නුම් කළොත් වහාම ඒ ගැන ක්‍රියාත්මක වෙන්න අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට චෙක් එන්ජින් සංඥාව දැල්වුනොත් හැකි ඉක්මනින් වාහනේ නවත්වල දෝෂය තහවුරු කරගැනීමක් කළ යුතු වෙනවා. එහෙම නැතුව ඒ ගැන නොසලකා තව දුරටත් ධාවනය කරනවා කියන්නේ ඉතින් පොකට් එකට ලොකු බරපැනක් එකතු වෙන්න තියෙන අවස්ථාවක්.
4. Timing බෙල්ට්
ඕනෑම වාහනයක ටයිමින් බෙල්ට් එක කියන්නේ එන්ජින් එක ඇතුලේ තියෙන වෑල්ව් වලට ක්‍රියාත්මක වෙන්න ඕන නිශ්චිත කාල පරාසය නිසියාකාරව synchronize කරන චේන් එකක් කියල සරලව කියන්න පුළුවන්. ඉතින් ඒ synchronize වීම නැතුව එන්ජින් එකකට හරියාකාරව ක්‍රියාත්මක වෙන්න බැහැ. ඉතින් ඒකෙන්ම තේරෙනවා නේද මේකේ තියෙන වැදගත්කම. අන්න ඒ නිසා අපි Timing Belt එකේ තත්ත්වය සම්බන්ධයෙන් යම් අවධානයකින් ඉන්න ඕන වෙනවා. සාමාන්‍යයෙන් මේ බෙල්ට් එකක් කිලෝමීටර් ලක්ෂයක් විතර යනකන් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් හරියටම ලක්ෂයක් දුවන්න අවදානමක් ගන්න එක සුදුසු නැහැ. ඒ නිසා කිලෝමීටර් 80,000 දී විතර පළපුරුදු කාර්මිකයෙන් ලවා Timing Belt එකේ තත්ත්වය පරික්ෂා කරගන්න එක හොඳයි.
5. Coolant තත්වේ
අපි දන්නවා වාහනයක එන්ජින් එකක් කියන්නේ ක්‍රියාත්මක වෙද්දී ඉතා අධික රත්වීමකට ලක් වෙන කොටසක්. ඉතින් ඒ රත්වීම පාලනය කරලා එන්ජින් එකට සිසිලස සලස්වන්නේ මෙන්න මේ කූලන්ට් කියන දියරය. කූලන්ට් කියන්නේ ආස්‍රැත ජලය සහ ethylene glycol කියන දෙකේ එකතුවක්. සමහරු මේ වෙනුවට බැටරි වතුරත් පාවිච්චි කරනවා. තවත් අය නිකන්ම නිකන් ටැප් වතුරත් පාවිච්චි කරනවා. ටැප් වතුර පාවිච්චි කරන එක නම් එච්චර සුදුසු නැහැ අදාළ කොටස් ඒ හේතුවෙන් මළ බැඳීමකට ලක්වෙන්න පුළුවන් නිසා. කොහොම උනත් මෙන්න මේ කූලන්ට් කියන දියරය වාහනයේ ටැංකියකට තමයි එකතු කරන්නේ. එකේ පොඩි සලකුණු වගයක් තියෙනවා ඒකෙන් ඔයාට පුළුවන් ප්‍රශස්ත කූලන්ට් ප්‍රමාණය මැනගන්න. ඉතින් මේක දිනපතා පරික්ෂා කරන්න ඕනේ ප්‍රශස්ත ප්‍රමාණයට කූලන්ට් තියෙනවද කියන එක. මේකේ අඩු වීමක් තියෙනවා නම් නැවත පිරවීම කරන්න ඕනේ වගේම චෙක් කරගන්න ඕනේ ලීක් එකක් තියෙනවද කියලත්. කෙසේ වෙතත් කූලන්ට් හරි ප්‍රමාණයට නැතුව දුවනවා කියන්නෙත් පොකට් එකට හොඳ ගාණක බිලක් සෙට් වෙනවා කියන එකයි.
6. බ්රේක්
බ්රේක් පද්ධතියත් තවත් ඉතාම වැදගත් කොටසක් වාහනේකට. යම් විදිහකින් වාහනේ ධාවන තත්ත්වයේ තියෙද්දී තිරිංග ක්‍රියාත්මක නොවී තිබුනොත් ඉතාම භයානක තත්ත්වයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ඒ දිනපතා කරන පරික්ෂාවේදී බ්රේක් ගැනත් සැලකිල්ලක් දක්වන එක ඇඟට ගුණයි. බ්රේක් පැඩල් එක යම් සාධාරණ ප්‍රමාණයකට පෑගුවම බ්රේක් තද වෙනවද කියන එක බලන්න ඕනේ. ගොඩක්ම යටට බහිනවානම් පොඩ්ඩක් පරික්ෂා කරගන්න වෙනවා. ඒ වගේම බ්රේක් ඔයිල් බහාලුම පරික්ෂා කරලා තහවුරු කරගන්න ඕනේ බ්රේක් ඔයිල් අවශ්‍ය ප්‍රමාණයට තියෙනවද කියන එක. ඒ වගේම නිෂ්පාදකයා නිර්දේශ කරපු බ්රේක් ඔයිල් වර්ගයම දාන්නත් වගබලා ගන්න.
7. ශබ්ද
සාමාන්‍යයෙන් ඔයාගේ වාහනයේ ධාවනය කරද්දී ආගන්තුක ශබ්දයක් එනවනම් ඒක ඔයාට තේරෙනවා. ඒක Dash Board එක අස්සෙන්ද එන්නේ, එන්ජින් එකෙන්ද, රෝද වලින්ද කියන එක ඔයාට තහවුරු කරගන්න පුළුවන් සරලවම. මෙන්න මේ ආගන්තුක ශබ්ද තමයි ලෙඩක් විදිහට පස්සේ එලියට ඇවිත් ඔයාගේ පොකට් එකට තට්ටු කරන්නේ. ඒ නිසා ඒ වගේ ආගන්තුක ශබ්දයක් අවොත් හැකි ඉක්මනින් ඔයා සාමාන්‍යයෙන් වාහනේ දිගටම රෙපෙයාර් කරන ගරාජ් එකට පෙන්නලා වැඩේ ගොඩ දාගන්න එක කරන්න ඕනේ. විශේෂයෙන් රෝද වලින් සහ එන්ජින් එකෙන් එන අමුතු ශබ්ද ගැන ටිකක් අවධානයෙන් ඉන්න එක කෝකටත් හොඳයි.
Leave a Reply