පරිසරේ වනසන ඔයිල් පිණිස පාම් වගාව

පාම් ඔයිල් කියන්නේ හො​ඳ ලාභ තිය​න තෙලක්. පහුගි​ය කාලේ පොල් තෙල් වෙනුවට පාම් තෙල්, එළවලු තෙල් පාවිච්චි කරන්න අපේ ගෘහණියොත් යොමු වුනා. පොල් තෙල් වලට වඩා තද උෂ්ණත්වයට පාම් තෙල් රත්කරන්න පුළුවන් නිසා උයන වැඩ වලට පාම් තෙල් යොදාගැනීම පහසුයි. ඒ වගේම ශීතල කාලගුණයේදී පොල් තෙල් වගේ මිදෙන ගතියකුත් පාම් තෙල්වල නැහැ. පාම් තෙල්, පොල් තෙල් වලට සාපේක්ෂව ලා​භත් එක්ක. ඒ නිසා ලොව පුරා පාම් තෙල් භාවිතයෙන් උයන පිහන කටයුතු කරන එක ජනප්‍රිය වෙලා තියෙනවා. වර්තමානයෙදි මේ පාම් වගාවෙන් වෙන පරිසර හානිය ගැන යම් කතාබහක් ඇති වෙලා තියන නිසා අපි හිතුවා ඒ ගැන විස්තරයක් ගෙන එන්න…

 

1. පාම් තෙල් වල වෙනත් භාවිත

පාම් තෙල් නිෂ්පාදනය කරන්න ​පොල් තෙල් වලට වඩා ටිකක් අමාරුයි. කටු පොල් කියලා ලංකාවේ හැඳින්වුවාට මේ පාම් ඇට විශාල වලු ව​ල කුඩා ගෙඩි විදිහට තමයි හැදෙන්නේ. පොල් වගේ නෙමෙයි, සම්පූර්ණ පාම් ගෙඩියේ සෑම කොටසකින්ම තෙල් ගන්න පුළුවන්. ඒ වගේම පාම් ගෙඩි වල තෙල් තියෙන ප්‍රමාණයත් බොහොම වැඩියි. පාම් තෙල් සබන් වර්ග සහ වෙනත් චොකලට් සෑදීම, ෂැම්පූ සෑදීම වගේ කර්මාන්ත වලටත් යොදාගන්නවා. බයෝ ඩීසල් නිපදවන්නත් ඇතැම් රටවල් පාම් තෙල් පාවිච්චි කරන්න පර්යේෂණ කරලා තියෙනවා. ඒ බයෝ ඩීසල් පාවිච්චිය පරිසර හිතකාමී වුනාට පාම් ගහ වවන එකනම් පරිසර හිතකාමී වැඩක් නෙමෙයි.

 

2. කොහේද මේ පාම් ගස් වවන්නේ?

ට්‍රොපිකල්, එහෙම නැතිනම් නිවර්​තන තෙත් කලාපයේ පාම් ගහ සරුවට සැපට හැදෙනවා. ඉන්දුනීසියාවේ විතරක් බෝර්නියෝ, සුමාත්‍රා, සුලවැසි, පැපුවා ආදී දිවයින් වල හෙක්ටයාර මිලියන 12ක පමණ පාම් ගස් වගා කරලා තියෙනවා. ඒ භූමි ප්‍රමාණ​ය ගත්තොත් සම්පූර්ණ ලංකාව වගේ දෙගුණයකටත් වඩා විසාල භූමි ප්‍රමාණයක්. ලෝකේ පාම් ඔයිල් අවශ්‍යතාවයෙන් 90%කට වඩා මැලේසියාව සහ ඉන්දුනීසියාව නිපදවනවා. මේ පාම් ඔයිල් වගාව නිසා පරිසර හානි වගේම සමාජීය ස​හ දේශපාලන ගැටළුවලටත් ඒ පැතිවල ජනයාට මුහු​ණ දෙන්නට වෙලා තියෙනවා. ලෝකේ තියෙන වනාන්තර වලින් සැරටම ජෛව විවිධත්​වය තියෙන වනාන්තර බෝර්නියෝ සහ සුමාත්‍රා දිවයින්වල තියෙනවා. ඒ වනාන්තරවලටත් මේ පාම් වගා නිසා වෙලා තියෙ​න බලපෑම සුළුපටු නැහැ.

 

3. ලංකාවේ පාම් වගාව

ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව වගේ රටවලත් රබර් මිල පහත වැටීම එක්ක රබර් වතුවල මේ පාම් හිටවීම ජනප්‍රිය වුනා. රබර් කියන්නේ වගාවක් වුනත් රබර් හිටවලා තියෙන කලාපය තුලත් සැලකිය යුතු ජීවීන් ප්‍රමාණයකට ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා පරිසර විද්‍යාවෙදි රබර් වගාවත් පරිසරයේම කොටසක් විදිහට සලකනවා. රබර් මිල අඩු වීම එක්ක රබර් දාපු පළාත් වල පාම් දාන්න ලංකාවෙත් වතු සමාගම් ඉදිරිපත් වුනා. ඒ එක්ක දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වගේම කෑගල්ල, කළුතර දිස්ත්‍රික්කවලත් මේ පාම් වගා ඇතිවුනා. මුලින්ම හිටවපු ගාලු දිස්ත්‍රික්කයේ උඩුගම කලාපය පාම් වගාව නිසා ජල අර්බු​දයකට මුහු​ණ දීල තියෙනවා. ඒ වගේම මේ ඇට කෑම නිසා බල්ලන්ගේ ලොම් හැලීම වගේ තත්ත්වයන්ට සතුන් මුහු​ණ දීල තියෙනවා. ඒ පළාත් වල කලින් හිටි කුරුල්ලන් ආදී සතුන් දැන් පේන්න නැහැය කියලා තමයි ඒ පළාත්වල ජනයා කියන්නේ.

 

4. පාම් වලින් මිනිස්සුන්ට තියෙන හානිය

තේ, පොල්, රබර් කියන වගා තුනටම වඩා අඩු මිනිස් ශ්‍රමයක් තමයි පාම් වගාවට වැය වෙන්නේ. මුලදී ගහ වගාකරන කාලයේ ටිකක් ශ්‍රමය අවශ්‍ය වුනත් ඉන් පසු පෝර දැමීම සහ අස්වනු නෙලීම වැනි සුළු දේ​වල් වලට විතරයි මිනිස් ශ්‍රමය වැය වෙන්නේ. ඒකත් එක්ක ගම්මාන වල පාම් ඔයිල් වගා කිරීමෙන් අමතර රැකියා කියලා යමක් ජනනය වන්නේ නැහැ. පාම් ඔයිල් නිෂ්පාදනයේදි පොල් වල වගේ කොප්පරා වියළීම, ගෘහාශ්‍රිතව පොල් තෙල් නිපදවීම ආදී නිෂ්පාදනයන් කරන්නට බැහැ. කටුපොල් කඩා ඒවා තේ දළු නෙලාගත්තා වගේ කෙලින්ම ලොකු ෆැක්ටරිවලට යවන්න වෙනවා. ෆැක්ටරි කරන උ​දවියට නම් පාම් වලින් වාසි ගොඩක් ඇති. ඒත් එයින් සමාජයට, මිනිස්සුන්ට මෙලෝම වාසියක් නැහැය කියලා වවලා තියෙන ඉන්දුනීසියා, මැලේසියා රටවල ජනතාවත් කියලා තියෙනවා.

 

5. පාම් ඔයිල්වලින් ව​න පරිසර හානිය

පාම් ගස් තියෙන කලාපය තුල වෙනත් වගාවන්ට ඉඩක් නැහැ. ඒ වගේමයි රබර් වගාවෙදි වගේවත් යටි රෝප​ණ වලට අවස්ථාවකුත් පාම් ගහේ නැහැ. පොලවේ තියෙන ජලය ලබාගැනීම අතිනුත් පාම් ගහ ඉස්සරහින්ම ඉන්නවා. අනෙක් වගාවන්ට සාපේක්ෂව ජීවීන්ට එතරම් හො​ඳ පසුබිමක් නෙමෙයි පාම් ගස් වලින් ඇති කරන්නේ. මේ පාම් ගස් වවලා එලිකරපු භූමි කෙලින්ම වැස්සට නිරාවරණය වෙනවා. ගස් ඈතින් ඈතින් හිටවලා තියෙන නිසා වැස්සට පස සෝදාගෙන යෑමත් වැඩි වෙනවා. විශේෂයෙන් ලංකාව වගේ රටවල තෙත් කලාපයට කඳුකර කොටස් වැඩි නිසා අපි වැනි රටවලදි කඳුකර බෑවුම් සෝදාගෙන යෑම, නාය යා​මේ අවදානම වැඩි කිරීම වගේ අහිතකර දේවලුත් පාම් වගාව එක්ක අත්වැල් බැ​ඳගෙන එනවා.

 

6. සෞඛ්‍යමය සාධක

ඉන්දුනීසියාවේ ජම්බි නගරය පසුගිය කාලේ තදබල ධූලි වලාවකින් වැහිලා තිබුනා. වාහනයක සිටින කෙනෙක්ට ඊට මීටර පනහක් හැටක් ඉදිරියෙන් එන වාහනයක් නොපෙ​නෙන තරමට එහි වායු දූෂණ​ය වැඩි වුනා. සුමාත්‍රා බෝනියෝ දූපත් වල ඇතිවන දැඩි දුමාරයට එක් හේතුවක් වුනේ පාම් වගාව ස​ඳහා වනාන්තර ගිනි ලෑමයි. ඒ නිසා ලොකු කලාපයක් ගිනිගෙන දවස් ගා​ණක් තිස්සේ දැවෙන්නට ගත්තා. ඒ වගේම පාම් තෙල් උයන්නට භාවිතා කිරීම ගැනත් කතාබහ ඇතිවෙලා තියෙනවා. මේ අමතර මේද​ය ආහාර අපිට රසවත්ව පිළියෙල කරගන්න උදව් කරනවා. ඒත් අනෙක් පැත්තෙන් ඒ මගින් හෘද රෝග සහ මේද තැන්පත් වීම නිසා ඇතිවන රෝගවලට මේ මේද වර්ග උදව් කරනවා.

 

7. පාම් ඔයිල් නිෂ්පාදනය

පාම් ඔයිල් නිපදවීම පොල් තෙල් වගේ ඕනෑම තැනකදී කරන්න අමාරුයි. එකම පාම් වගාවෙන් විවිධ මට්ටමේ ඔයිල් වර්ග පාම් ඔයිල් කර්මාන්ත ශාලාවකදී නිපදවනවා. ඒ වගේම පාම් ඔයිල් නිපදවීමේදී අපද්‍රව්‍ය ලෙස අහිතකර දේවලුත් පරිසරයට මුදා හැරෙනවා. ලංකාවෙත් පාම් ඔයිල් කර්මාන්ත ශාලා වලින් පරිසර හානි තියනවා කියලා ජනතාව පැමිණිලි ක​ළ අවස්ථා තිබුනා.

 

පොල් සහ වෙනත් එ​ළවලු තෙල් වලට වඩා ලාබෙට තෙල් ලබාගන්න මේ පාම් ඔයිල් නිසා අවස්ථාව ලැබුනා. ඒත් මේ ලාබෙට ලැබෙන පාම් ඔයිල් නිසා පරිසරයට, මිනිසාට ඇතිකරන බලපෑම් නම් සුළුපටු නැහැ. ඉතින් පක්ෂ විපක්ෂ දේශපාලකයින් පාම් තෙල් වගාව ලංකාවේ තහනම් කරන්න තීරණ​ය කරලා තියෙන එක හො​ඳ දෙයක්. ඒ වගේම පාම් ​තෙල් පාවිච්චියත් අඩුකරගන්න අපිට හැකි වුනොත් ලෝකේ කොහේ හරි කෙළවරක පරිසර හානි කරගෙන කරන පාම්ගස් වගාව ටිකකින් හරි අඩු කරන්න අපිටත් දාය​ක වෙන්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *