හැමදාම දෙන හාදුව නැතුව ටිකක් වෙනස් විදියේ හාදුවක් එයාට දෙමු ද?

මේක අසභ්‍ය මාතෘකාවක් එහෙම නෙවෙයි. හරිම ආදරණීය එකක්. ඔයයි එයයි දැන් කොච්චර කාලයක් ආදරය කරනවද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ලයිෆි අපිත් ආදරය සහ රාගය වගේ දේවල් ගැන යමක් කමක් දන්නවා. ආදරය පෙන්වන එක විදියක් තමයි හාදු. මේ වගේ වැස්ස වෙලාවක එයාගෙන් ලබන සහ එයාට දෙන හාදුවක තියන උණුහුම දේවාලේ ගිනි පාගලවත් ගන්න බැරි එකක්. ඉතින් හිතුණා අපට ලෝකයේ හාදු වර්ග කීපයක් ගැන කතා කරන්න.

 

1. නළල් හාදුව 

පොඩිම සහ ආදරණීයම තැනින් පටන් ගත්තොත් මෙතන තමයි නතර වෙන්නේ. මේකෙන් ඉතින් අතිශය රාගික සිතුවිලි මතු වෙලා වැඩ දුරදිග යන්න තරම් දෙයක් වෙන්නේ නැහැ. පුදුමාකාර සෞම්‍ය, ආදරණීය, ආරක්ෂාව දනවන එකක් තමයි නළලට දෙන හාදුව. සමහර විට අපි මීට ඉස්සරහට කතා කරන හාදු වර්ග මොන තරම් සරාගී වුණත් ඒවාට වඩා ලොකු බලපෑමක් නළල් හාදුවකට කරන්න පුළුවන්. ඒක හැඟීම් සංවේදනා එක්ක වෙන ගනුදෙනුවක්. අනික මෙහෙම හාදුවක් දෙන්න නම් එතන ආදරයක් තියෙන්න ම ඕනි. අනෙක් ඒවා නම් වෙන වෙන වුවමනා පිරිමහගන්නත් කට්ටිය පාවිච්චි කරනවනේ.

 

2. දෙතොල් හාදුව 

නළල් හාදුවෙන් පොඩ්ඩක් ඇඩ්වාන්ස් මට්ටමකට දැන් ඇවිත් ඉන්නේ. දෙන්නට දෙන්නගේ ස්පර්ශය නැතුවම බැරි වෙලා ආදරයත් සමඟ අනිවාර්යයෙන් ම එන්න ඕනි අනෙක් හැඟීම් එළිබහින්න පටන් අරන් කියන එකට හොඳ සංඥාවක් තමයි මේ. චිත්‍රපටවල කොටු කොටු දාලා පෙන්වන දෙතොල් හාදුව නැතිනම් ලිප් කිස් එකේ දී වෙන්නේ උඩුතොල සහ යටිතොල මාරුවෙන් මාරුවට ඉතාම සීරුවෙන් කෙරෙන සිපගැනීම. මේක තමයි හාදුවල උච්චම ලෙවල් එක කියලා හිතා උන්නු උදවිය ඊළඟ හාදුව දැකලා බය වෙන්න එපා.

 

3. ප්‍රංශ හාදුව 

දෙතොල් හාදුවේ ම යාවත්කාලින වුණ එකක් තමයි මේ. මේ වගේ හාදුවක් දෙන්නා අතර ඇති වුණා කියන්නේ බඩේ බත් වගේ ෂුවර් දෙන්නා සැරසෙන්නේ මොකට ද කියලා. දෙන්නගේ නියම එකතු වීමකට උල්පන්දම් දෙන ප්‍රංශ හාදුවේ දී මුඛය ආශ්‍රිතව පොඩ්ඩක් රළු විදියට සිප ගන්නවා. දිව සහ ඛේටය මෙතන දී ලොකු කාර්යභාරයක් කරනවා. කරුණු කාරණා එහෙම වුණත් වැඩේ කරන විධි නම් ගොඩක් තියනවා.

 

4. බෙලි හාදුව 

බෙල්ල ඉඹින්න පුළුවන්කම තියෙද්දී කවදාවත් කාගේවත් බෙල්ල කපන්න යන්න එපා රත්තරන් යහළුවේ. දෙන්නා සංසරණයේ යෙදෙන අවස්ථාවේ වගේ ම ඊට කලින් එතනට නම්මා ගන්නත් මේ හාදුවට පුළුවන්. ඒක නිකන් දෙපැත්ත කැපෙන පිහියක් වගේ. කොහේ ඉඳන් මොන විදියට ළඟින් ගියත් ඇහැක් නැහැ. එතන අතිශය සංවේදී තැනක්. මුළු සිරුර පුරාම ඉලෙක්ට්‍රික් ෂොක් එකක් යවන්න මේ එක හාදුවකට පුළුවන්. හැබැයි ඉතින් බල්ලොන්ට ආප්ප විසි කරනවා වගේ කරාට වැඩක් නැහැ. හිමීට වැඩේ කරන්න ඕනි.

 

5. කන්පෙති හාදුව 

තොල්පෙති විතරක් ගාවලා බැලුවොත් ලෝකයේ තියෙන තවත් මිහිරිම හාදුවක් ඔයාට මගහැරෙනවා. ඒ තමයි මේ. කන්පෙති පිටුපස අතිශය සංවේදී ස්නායු පිහිටලා තියනවා. කන මිරිකනකොට තරු පේන්නෙත් ඒ නිසයි. ඒ වගේමයි සියුමැලි දෙයකට කන්පෙති දක්වන ප්‍රතිචාරයත් ඒ වගේමයි. හැඟීම් උද්දීපනය කරලා ගන්න නියම ක්‍රමේ. සමහරු කන ඇතුළටත් ප්‍රංශ හාදු ස්ටයිල් එක ගලපගන්නවා. හැබැයි ඒක කරනවා නම් වර්චස් නොවී කරන්න ඕනි. නැත්නම් දෙන්නගෙම මූඩ් එක අපරාදේ.

 

6. චූෂණ හාදුව 

ඒ කිව්වේ හිකි. ඒ තේරෙන්නෙත් නැත්තන් පැල්ලමක් ඇති වන තුරු කෙරෙන සිප ගැනීම. මේක පොඩ්ඩක් ප්‍රචණ්ඩකාරී එකක්. ඒ නිසා හිකි එකක් දෙන්න කලින් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තියට ඒ ගැන දැනුම් දෙන එක හොඳයි. මේකේ දී වෙන්නේ සිපගැනීම අතරතුර හෙමින් සැපීම සහ සමෙන් යමක් උරාගන්නා ආකාරයෙන් තොල් හැසිරවීමයි. දම්පාටට හැදෙන හිකිය යවන්න නම් ලේසි නැහැ පුතෝ.

 

7. පියාඹන හාදුව 

අන්තිමේ දන්නා කියන කාගේත් හාදුවෙන් ඉවර කරන්න හිතුණා. මේක ඉස්කෝලේ යන වයසේ ළමයි අතරේ හරි ජනප්‍රියයි. අහිංසකයන්ව ෆ්‍රෙන්ඩ්සෝන් එකට ඇදලා දාන්නත් පියාඹන හාදුවකට පුළුවන්. වෙන කාටහරි දෙනවා වගේ වුණාට මේ වැඩෙන් අපි ඇත්තටම හාදුව දෙන්නේ අපිටමයි. අපිටම දීලා හුළගේ පා කරලා යවනවා තවත් කෙනෙක්ට. ආදරය කරන උදවියගෙන් බැහැර වුණොත් වයසක ඇන්ටිලා ගාව හරියට තියෙන දෙයක් තමයි මේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *