ලංකාවේ නම් පතල් කිව්වම මතක් වෙන්නේ දෝනා දිගේ හාර හාර යන අභ්‍යන්තර පතල්. ඒත් ලෝකයේ ගල් අගුරු, තඹ , මිනිරන්, රත්‍රන් ආදිය ලබාගන්න කෙලින්ම උඩ සිට පහලට මහා විශාල වලවල් හාරලා පතල් කණිනවා. එහෙම හාරපු මහා විශාල වලවල් අභ්‍යාවකාශයට පවා පේන්න තියෙනවා. සමස්ථ අදාළ පරිසර පද්ධතියම වෙනස් කරමින් හෑරෙන මේ සුවිශාල පතල් පරිසරයට නම් කරන්නේ හොඳක් නෙමෙයි. ඒත් ලොව පුරා මිනිස්සුන්ට අවශ්‍ය කරන ඛනිජ ද්‍රව්‍ය ලබාගන්න අනිවාර්යෙන්ම මේ පතල් කණින්නට සිද්ධ වෙනවා. අපි අද මේ පතල් අතර සුවිශාලම පතල් කිහිපයක් ගැන දැනගමු.
1. බින්ගම් පතල (Bingham Canyon Mine)
දැනට ලෝකේ තියෙන විශාලතම පතල් කැණීම විදිහට වාර්තා වෙන්නේ මේ බින්හැම් කැන්යොන් පතලයි. මේක තඹ නිධියක්. කිලෝමීටර 4කට වඩා පළල මේ නිධියේ ගැඹුර කිලෝමීටර 1.2ක් වෙනවා. මේ නිධිය කැණීම මුලින්ම 1906දි ආරම්භ වෙලා දැනට ටොන් මිලියන 19ක තඹ මේ නිධියෙන් නිස්සාරණය කරගෙන තියෙනවා. මේක ඇමරිකාවේ උටා වල සෝල්ට් ලේක් නගරය ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. මේ සුවිශාල පතල අක්කර 1900ක් පුරා විසිරිලා පැතිරිලා තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් තඹ නිධියක් වුනත් රත්‍රන් සහ රිදීත් මේ නිධියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිස්සාරණය කරගෙන තියෙනවා.
2. චුකීකමාටා පතල (Chuquicamata Mine)
දකුණු ඇමරිකාවේ චිලී රාජ්‍යයේ පිහිටලා තියෙන මේ මහා පතල ලෝකේ වැඩිම තඹ ප්‍රමාණයක් ලබාගත් තඹ නිධිය ලෙස සැලකෙනවා. චිලී රටේ රාජ්‍ය දේපළක් විදිහට පාලනය වන මේ මහා පතල චිලීයේ සන්තියාගෝ සිට කිලෝමීටර 1650ක් උතුරු චිලී පළාතේ පිහිටලා තියෙනවා. කිලෝමීටර 4.3ක් පළල මේ පතල මීටර 850ක් ගැඹුරයි. මේ පතලෙන් ටොන් 443,000ක් පමණ තඹ ලබාගෙන තියෙනවා.
3. එස්කොන්ඩිඩා පතල (Escondida Copper Mine)
එස්කොන්ඩිඩා පතල චිලීයේ ඇටකාමා කාන්තාරයේ පිහිටලා තියෙනවා. මහා සිදුරු දෙකකින් සමන්විත මේ පතලේ එස්කොන්ඩිඩා පිට් සහ එස්කොන්ඩිඩා නෝර්ටෙ වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මේ පතල් සංකීර්ණය කිලෝමීටර 3.9ක් දිගයි. 2.7ක් පළලයි. ඒ වගේම මීටර 645ක් පමණ මේ පතල ගැඹුරයි. යාබද අනෙක් පතල මීටර 525ක් පමණ ගැඹුරයි. මෙය ලෝකයේ දැනට කැණීම් කරන සුවිශාලතම තඹ නිධියක් වෙනවා. මෙය 2013 වර්ෂයේදී ලෝකයේ තඹ නිෂ්පාදනයෙන් 5%ක් පමණ සපුරාලීමට සමත් වෙලා තියෙනවා.
4. උඩච්නි පතල (Udachny Diamond Mine)
මේ පතල දියමන්ති පතලක්. මෙය රුසියාවේ සයිබීරියානු අන්තයේ තියෙන ගැඹුරුතම පතලක්. මේ පතල දැනට මීටර 630ක් පමණ ගැඹුරයි. මෙහි කැණීම් කටයුතු 1971 වර්ෂයේ ඉඳලා සිදු කරනවා. මේ කැණීම් මගින් කැරට් මිලියන දහයක දියමන්ති 2011 වනවිට ලබාගෙන තිබුනා. මේ සමස්ථ පතල තුල කැරට් මිලියන 108ක පමණ වන දියමන්ති තිබෙන බවට විශ්වාස කරනවා.
5. මුරුන්ටාවු පතල (Muruntau Mine)
මේ මුරුන්ටාවු පතල තියෙන්නේ මධ්‍යම ආසියාවේ උස්බෙකිස්ථානයේ. මෙය සුවිශාලතම රත්‍රන් නිධියක් විදිහට සැලකෙනවා. කිලෝමීටර 3.5ක් දිග මේ පතල මීටර 600කට වඩා ගැඹුරයි. මේ පතල මුලින්ම හොයාගත්තේ 1958දි. ඒත් කැණීම් කටයුතු කරද්දි 1967ත් පහුවෙලා තිබුනා. රත්‍රන් අවුන්ස මිලියන 170කට වඩා මේ නිධියෙ තියෙනවා කියලා පර්යේෂකයෝ විශ්වාස කරනවා.
6. මිර්නි පතල (Mirny Mine)
ඈත රුසියාවේ සයිබීරියාවේ පිහිටලා තියෙන මිර්නි පතල මුලින්ම හෑරුවේ දියමන්ති ගන්න. ඒක දැන්නම් හාරන්නේ නැහැ. මේ පතල මීටර 525ක් ගැඹුරයි මේ මහා පතල් කුහරය ලෝකයේ එදා මෙදාතුර මිනිසුන් විසින් හාරපු විශාලතම සිදුර විදිහට සැලකෙනවා. . මේ පතල මගින් හෙලිකොප්ටර එයට ඇදගන්නා යම් සුළං ප්‍රවාහයන් ඇතිවෙන්නට පටන් ගත්තා. ඒ නිසා මේ පතල වහල දාන්නට නියමිත වුනා.
7. ග්‍රස්බර්ග් පතල (Grasberg Mine)
ලෝකයේ විශාලතම රත්‍රන් නිධිය වෙන්නේ මේ ග්‍රස්බර්ග් පතලයි. ඉන්දුනීසියාවේ කෙළවරේ ඔස්ට්‍රේලියාවට උතුරේ පැපුවා දිවයිනේ මේ පතල පිහිටලා තියෙනවා. මේ මහා පතල කඳුකර පළාතක තමයි පිහිටලා තියෙන්නේ. මේකේ කම්කරුවන් 19,500ක් පමණ සේවය කරනවා. මේ පතල විවෘත පතලක් වගේම අභ්‍යන්තර පතලක්ද වෙනවා. මේ පතල මීටර 550කට වඩා ගැඹුරයි. මෙයින් අවුන්ස 860,000ක් රත්‍රන් ලබාගෙන තියෙනවා.
මේ සුවිශාල පතල් වල වෙහෙස වෙන ජනතාව පතල් වලින් අදාළ ඛනිජ නිස්සාරණය කරන ක්‍රියාවලියට ලොකු ශක්තියක්. ඒ වගේම යකඩ ඇත්තු වගේ ඒ පතල් වල ඛනිජ ලබාගෙන නිස්සාරණය කරගන්න විශාල යන්තර සූත්තරත් මිනිස්සු නිපදවලා තියෙනවා. ලෝකේ කවදාකහරි පිටසක්වල ජීවින් විසින් හොඳහැටි නිරීක්ෂණය කළොත් මිනිස්සුන්ගේ නගරවල රෑට තියෙන ලයිට් වගේම සුවිශාල පතලුත් ඔවුන්ට දැකගන්නට තියේවි.
Leave a Reply