සාමාන්‍යයෙන් අපි උණු උණු රෝස් පාන් කන්නේ ගමේ බේකරියට ගිහිල්ලා, බේකරියෙන් අරගෙන ඇවිල්ලා තමයි. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ඔය තියෙන පොල් සම්බෝලයක් පරිප්පුවක් එක්ක රෝස් පාන් කන එක තමයි කරන්නේ. හැබැයි දැන් රෙස්ටොරන්ට් තියෙනවා ඔය රෝස් පාන් අත්දැකීම වෙනස්ම ආකාරයකට ඉදිරිපත් කරන. මේවා සමහර වෙලාවට ගමේ බේකරියේ රෝස් පාන් එක්ක සංසන්දනය කරනකොට සාර්ථක වගේම අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ මේ වෙනස් රෝස් පාන් අත්දැකීම් වුනත් ට්‍රයි කරලා බලන්න වටිනවා. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ වෙනස් රෝස් පාන් අත්දැකීමක් ලබාගන්න නම් යන්න ඕන කොළඹ තියෙන තැන් කීපයක් ගැන.
1. Tosakanth’s Roast Paan
ටොසාකාන්ත් රෝස් පාන් වලට මීට අවුරුදු කීපයකට කලින් ලොකු ඉල්ලුමක් තිබුණේ, ඒ අය කොළඹ ගුඩ් මාකට් එකේ ඇරලා තිබ්බ පුංචි අවුට්ලට් එකෙන් අරගෙන කාලා බලලා තමයි. විශේෂයෙන්ම පොඩි ගාණකට අලෙවි වුණු රෝස් පාන් මැද්දට පොල් සම්බෝල සහ චීස් දාලා හදපු රෝස් පාන් සැන්විච් එක සෑහෙන්න ජනප්‍රිය වුණා. දැන් මේ කට්ටිය ඩි ෆොන්සේකා පාරේ අවුට්ලට් එකක් ඇරලා තියෙනවා. මෙතන අපේ ප්‍රියතම රෝස්ට් පාන් සැන්විච් එක වුනේ නම් කහූන් (cajun) චිකන් එක්ක ක්රැන්බෙරි සෝස් දාලා හදපු රෝස්ට් පාන් සැන්ඩ්විච් එක තමයි. එතකොට මේ අය ෆුලි ලෝඩඩ් කියලා දෙන රෝස්ට් පාන් සැන්ඩ්විච් එකටත් චීස් පොල්සම්බෝල චිලි චිකන් අනං මනං ඔක්කොම පුරවලා තියෙන්නෙ. හැබැයි දෙන ප්‍රමාණයේ හැටියට ගණන් පොඩ්ඩක් වැඩියි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.
2. Curry Pot
කරි පොට් කියන්නේ ඇත්තටම පොඩිවට හදපු බත් කඩයක්. මේ අයගේ ශාඛාත් දැන් තියෙනවා කියලයි ආරංචිය. මේ අයගෙන් බත් ගන්නවා වගේම බ්‍රෙක්ෆස්ට් එකට රෝස් පාන් සැන්විචස් ගන්නත් පුළුවන්. අනික් ලොකු ලොකු තැන් එක්ක බලද්දි මේ අයගේ රෝස්ට් පාන් සැන්ඩ්විච් එකේ මිල ගණන් ඉතාම අඩුයි. ඒ ගණන් වලට නිර්ලෝභීව පොල් සම්බෝල සහ ග්‍රේවි හරි හරියට එකතු කරපු ලොකු රෝස් පාන් සැන්විච් එකක් ගන්න එක ඉතාම ලාබයි. වඩාත් හොඳට බඩත් පිරෙනවා.
3. Sea Fish Restaurant
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ තියෙන සී ෆිෂ් රෙස්ටොරන්ට් එක ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ ඒ අයගේ සී ෆුඩ් කෑම නිසා තමයි. හිතන්න ශ්‍රී ලංකාවේ තුන පහ යහමින් දාලා හදපු කලමාරි හරි, දැල්ලො හරි කරියක් එක්ක, හොඳ රතු පොල් සම්බෝලෙ කොටලා, ඒකත් එක්ක රෝස් පාන් කන්න තියෙනවා නම්. ඔතන දැල්ලො කරිය වෙනුවට හොඳට මුරුංගා කොළ දාලා, සැර අඩුවෙන් පොල් කිරි දාලා හදපු කකුළු කරියක් වුණත් ආදේශ කරගන්න පුළුවන්. සී ෆිෂ් රෙස්ටෝරන්ට් එකෙන් මෙහෙම කාලා ගෙදර ආවට පස්සෙ තමයි හිතෙන්නේ මේ කම්බිනේෂන් එක අපිට ගෙදරත් හදා ගන්ඩ පුළුවන් නේද කියලා.
4. Jeewa’s Polos & Kuma’s Natural Foods
ජීවාගේ පොලොසුයි, කුමාගේ ගෙදර කෑමයි වල රහ එක පාරක් කාපු කෙනෙක්ට අමතක වෙන්න විදියක් නෑ. මේ කට්ටියගේ ඇඹුල් තියල් එකයි පොලොස් කරියයි සෑහෙන්න ප්‍රසිද්ධයි. ඉස්සර ගුඩ් මාකට් එකේ විතරක් තිබුණු මේ අයගේ අවුට්ලට් එකක් දැන් ගෝල්ෆේස් වන් එකේ ෆුඩ් ස්ටුඩියෝ එකෙත් තියනවා. එතනින් රෝස් පාන් දෙකයි පොල්සම්බෝලයි අරගෙන ඒකට ගැලපෙන කරි එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි රෙකමන්ඩ් කරන්නෙ පොලොස් කරිය හරි ඇඹුල් තියල හරි තමයි. එහෙම නැතිනම් රෙඩ් ෆිෂ් කරි, රෙඩ් ප්‍රෝන් කරි, කට්ල්ෆිෂ් කරි නැතිනම් චිකන් කරි වලින් එකක් තෝරා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් පන්සීයක් වගේ වුණාට ගෙවන ගාණට බඩ බඩපිරෙන්න කටට රහට තියෙන නිසා ඒ ගාණ ප්‍රශ්නයක් නෑ කියන්නත් පුළුවන්.
5. Isso Express
ඉස්සෝ එක්ස්ප්‍රස් ඉස්සර නම් තිබුනේ තිඹිරිගස්යායේ විතරක් වුණත් දැන් ඔන්න කොල්ලුපිටියේත් ඒගොල්ලන්ගෙ ශාඛාවක් තියෙනවා. හරි, නම කිවුවහම තේරෙනවනෙ මේ ගොල්ලන්ගේ විශේෂත්වය ඉස්සෝ කෑම කියලා. විශේෂම දේ තමයි අපිට මේ ඉස්සො හදලා ඕන කොයි විදියටද කියන එක තෝරාගන්න පුළුවන්. ඕනනං රතුවට හදපු ඉස්සො කරිය ගන්නත් පුළුවන්. එහෙම නැත්තං ඔය ජැෆ්නා ස්ටයිල් එකට හදපු ඉස්සෝ කරිය ගන්න පුළුවන්. ඒත් බැරිනම් තව ස්ටයිල් කීපයක්ම තියෙනවා. ඉස්සෝ එක්ස්ප්‍රස් කිව්වට ඕනනං බූවල්ලෝ කරියක් එහෙමත් ගන්න පුළුවන්. බූවල්ලෝ කිවුවහම ටිකක් අමුතුයි වගේ වුණාට විශ්වාස කරන්න, පදමට තුනපහ වැටිලා බූවල්ලෝ කරිය එනකොට ඉස්සෝ කරි පරාදයි. එතකොට මේකට කොහොමද රෝස්පාන් සම්බන්ධ වෙන්නේ? සරලයි, මේ ඉස්සො හරි බූවල්ලෝ හරි කරියත් එක්ක අපිට රෝස්පාන් රසවිඳින්න පුළුවන් මෙතන. ඒක එන්නෙ එන්නේ නිකන් නෙවෙයි, හොඳ සැරට හදපු පොල් සම්බෝලෙකුත් එක්ක.
6. The Cauldron
හැමෝම දන්නවා ඇතිනේ අර කිරුලපනෙන් හැරුනහම, ලන්ඩන් වල පරණ වීදියකට ගියා වගේ දැනෙන ස්ට්‍රැට්ෆර්ඩ් ඇවනියු එක. අන්න එතන තියෙන ප්‍රසිද්ධ කැෆේ එකක් තමයි මේ කල්දේරම. මෙතන කෝපි ජාති වල ඉඳලා පාස්තා දක්වා නානාවිධ කෑම බීම තියෙනවා. හැබැයි අපි විශේෂයෙන් කල්දේරම ගැන ලියන්න හිතුවේ මේ කට්ටිය දෙන රෝස්පාන් චිකන් සැන්විච් එක නිසා. මේ වගේ කැෆේ එකකින් බලපොරොත්තු වෙන්න පුළුවන් විදිහටම මේ රෝස් පාන් සැන්විච් එක රුපියල් 500ට එහා පැත්තෙ තමයි තියෙන්නේ. හැබැයි නිර්ලෝභී විදියට හොඳට තුන-පහ දාලා උයපු චිකන් පුරවලා එන රෝස් පාන් එක, එක මනුස්සයෙක්ට එක වේලකට ප්‍රමාණවත්. ඒ චිකන් එකනම් ගෑවුණු ගෑවුණු තැන කන්න පුළුවන්.
7. Keells Super
දැන් අහන්න එපා අන්තිමට තෝරු-මෝරු අස්සෙ කීල්ස් සුපර් එකක් සඳහන් කළේ ඇයි කියලා. ඔය කීල්ස් සුපර් එකට යන අය දන්නවා ඒක ඇතුලේ ඒ අයගෙ බේකරියක් තියෙනවා කියන එක. ඔන්න ඔය බේකරියෙ තියෙන පොදු කෑම බීම වලින් එකක් තමයි, රෝස් පාන් මැදට පොල්සම්බෝල දාලා හදපු සැන්විච් එක. මේකේ ඒ හැටි ෆැන්සි ගතියක් නෑ. පොල් සම්බෝල ඇරෙන්න වෙන චීස් අනං මනං මොකුත් දාලත් නෑ. හැබැයි හදිසියකට කන්න ගන්න මේ පොල්සම්බෝල රෝස් පාන් සැන්විච් එක පර්ෆෙක්ට්. ඒ වගේම තමයි මේකෙ ගාණත් ඉතාම ඉතාම අඩුයි.
හැබැයි තව දෙයක් තියෙනවා කියන්න. සමහර වෙලාවට මේ කොළඹ තියෙන රෝස් පාන් වලට වඩා ගමේ බේකරියෙ තියෙන රෝස් පාන් එක රසෙන් වැඩියි කියල කෙනෙක් හිතනවා නම් ඒකේ පුදුමයක් නෑ. ඉතින් අපි නම් කරන්නේ මේ උඩ කියලා තියෙන තැනකින් රෝස්ට් පාන් කාලා බලලා, ගෙදර ගිහිල්ලා ගමේ බේකරියෙන් උණු උණුවේ තෙල් බේරෙන රෝස් පාන් ගෙඩියක් දෙකක් අරගෙන, අපිට ඕන විදියට කකුලුවෝ හරි ඉස්සෝ හරි කරියක්, එහෙම නැතිනම් ඇඹුල් තියලක් හදලා, ඒකට අනුපානෙට පොල් සම්බෝල හදලා, ඒ ඔක්කොම මැද්දට තියලා, චීසුත් දාලා ගෙදර රෝස් පාන් සැන්විච් එකක් හදා ගන්න එක.
Leave a Reply