අපෙන් සමුගෙන අදට වසර 16ක් සපිරෙන සෝම හිමියන් ගැන මතක සටහනක්

සෝම හාමුදුරුවෝ අපවත් වෙලා අදට, ඒ කියන්නේ දෙසැම්බර් 12 වැනි දිනට අවුරුදු දාසයක් පිරෙනවා. ලංකාවේ මෑතකාලීන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘවරයාණන් වහන්සේ විදිහට ගංගොඩවිල සෝම හාමුදුරුවෝ සදානුස්මරණීය වෙනවා. ඒත් වර්තමාන පරම්පරාවට නම්, ඒ කියන්නේ මේ අවුරුද්දේ  අපොස සාමාන්‍ය පෙළ වගේ කරන තරුණ දරුවන්ට නම් සෝම හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවක් අහන්න අවස්ථාවක් ලැබිලා තියෙනවාද කියන එක ගැන නම් සැකයක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේගේ අපවත් වීමත් එක්ක ඇතිවුණු ජනතා රැල්ල තුළින් පාර්ලිමේන්තු ගිය ඇතැම් අයට පවා උන්වහන්සේව මතක ද කියන ප්‍රශ්නය අපිට තියනවා. ඒ නිසා Lifie අපි හිතුවා උන්වහන්සේ ගැන කෙටි සටහනක් තබන්න.

 

1. උන්වහන්සේ ගේ ගිහි කාලය 

1948 අප්‍රේල් 24 වන දින වීරතුංග ආරච්චිලාගේ දොන් ධර්මදාස සහ හෙට්ටිගේ දෝන චාලට් නෝනා යුවළට ලැබුණු කුළුඳුල් දරුවා ඔවුන් විසින් නම් කරනු ලැබුවේ සෝමරත්න නමින්. තමන්ගේ මේ කුළුඳුල් දරුවා පසු කලෙක මුළු රටම ආලෝකමත් කරන හිමි නමක් බවට පත්වනු ඇතැයි ඒ මවුපිය යුවළ නොසිතන්නට ඇති. ගංගොඩවිල උපන් ගම කරගත් සෝමරත්නගේ පවුල ගංගොඩවිල සුභද්‍රාරාමයේ සතර පේරුවේ දායකයන්ව සිටියා. මේ නිසා සෝමරත්න හට අකුරු කියවන ලද්දේ එවකට සුභද්‍රාරාම අධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ බොරුක්ගමුවේ දේවමිත්ත හිමිපාණන් විසින්. මේ වන විට සෝමරත්නට පසුව නංගිලා දෙදෙනෙක් සහ මල්ලිලා දෙදෙනෙක් පවුලට එකතු වී තිබුණා.

 කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් සහ කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ සෝමරත්නගේ දහම් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් බම්බලපිටියේ වජිරාරාමය වෙත ඔහුව යොමු කරනු ලැබ තිබුණා. 

 

2. සිත සසුනට යොමු වීම 

බම්බලපිටිය වජිරාරාම දහම් පාසලෙන් ලද ඉගැන්ම ද ඉන්පසුව මහරගම වජිරඥාණ ධර්මායතනයට සම්බන්ධ වීම​ද නිසා සෝමරත්න තුළ මහණ වීමට ආශාවක් ඇති වුණා. මුල් අවස්ථාවේ දී මේ පිළිබඳව දෙමව්පියන් දැඩි ලෙස තමන්ගේ විරෝධය ප්‍රකාශ කළා. නමුත් සෝමරත්න තමන්ගේ අදහස වෙනස් කර ගැනීමට කිසිදු කැමැත්තක් දැක්වූයේ නැහැ. විශේෂයෙන් අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේගේ ඇසුර නිසා සෝමරත්න ගිහි ගෙයි සිටීමට වඩා පැවිදි වුවහොත් බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල  වැඩ කොටසක් කළ හැකි බව වටහා ගෙන තිබුණා. අවසානයේදී දෙමව්පියන්ගේ කැමැත්ත ලබාගෙන 1974 සැප්තැම්බර් 24 වන දින පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියන්ගේ සහ අම්පිටියේ ශ්‍රී රාහුල හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් සෝමරත්න, ගංගොඩවිල සෝම නාමයෙන් පැවිද්දට පත් වුණා.

 

3. පැවිදි ජීවිතය 

සාමණේර හිමි නමක ලෙස තමන්ගේ භික්ෂු ජීවිතය ආරම්භ කළ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වජිරඤාණ ධර්මායතනයේ විසූ ව්‍යක්ත භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් මෙන්ම ස්​වෝත්සහයෙන් තමන්ගේ ධර්ම දැනුම දියුණු කර ගත්තා. විශේෂයෙන්ම  ත්‍රිපිටකය හැදෑරීමට උන්වහන්සේ රුචිකත්වයක් දැක්වූවා. 1976 මැයි 26 වන දින උන් වහන්සේ උපසම්පදාවට පත්වීම සිදු වුණා. මේ කාලය තුළ මහරගම ධර්මායතනයේ කුදු මහත් කටයුතුවල ප්‍රධානත්වය ගැනීමට උන්වහන්සේට සිදුවූයේ නිරායාසයෙන්මයි.විශේෂයෙන්ම ධර්මායතනයේ ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම වැනි දෑ උන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වුණා. උන්වහන්සේ මෙසේ ඒ කටයුතු වල මූලිකත්වය ගැනීම නිසා ඇතැම් ගිහි පිරිසකගෙන් උන් වහන්සේට විවිධ චෝදනා අපවාද වලට ලක් වීමටත් සිදු වුණා.

වතාවක් කාන්තාවක් සම්බන්ධ කර උන්වහන්සේට එල්ල කළ චෝදනාවක් නිසා කම්පාවට  පත් වුණු උන්වහන්සේ තමන්ගේ නිර්දෝෂී බව මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ ඉදිරියේ පවා ප්‍රකාශ කළා. 

 

4. ධර්ම චාරිකාව 

වජිරඤාණ ධර්මායතනයේ භික්ෂුන් වහන්සේලා අතර කලින් කලට ආරණ්‍යගතව බවුන් වැඩීම් සම්ප්‍රදායක් පවතිනවා. මෙම සද් චාරිත්‍රය අනුගමනය කළ සෝම ස්වාමීන් වහන්සේ වෙහෙරගල ආරණ්‍ය සේනාසනයේ බවුන් වැඩීම සිදු කළා. ඇතැම් අවස්ථාවක උන්වහන්සේ බවුන් වඩන ගල්ගුහාවේ ම විසකුරු සර්පයන් පවා වාසය කළත් උන් වහන්සේට කිසිදු හානියක් සිදු වුණේ නැහැ

වෙහෙරගල ආරණ්‍ය ජීවිතයට සමුදුන් සෝම හිමියන් පා ගමනින් ඌව මො​ණරාගල, සබරගමුව වැනි පළාත්වල දුෂ්කර මාවත් ඔස්සේ මහරගම වජිරඤාණ ධර්මායතනයට වැඩම කිරීමේ දුෂ්කර පාද චාරිකාවක නිරත වුණා. අතිශය දුෂ්කර ගම්මාන පසු කළ උන්වහන්සේට ඇතැම් දිනක යැපීමට පවා දෙයක් පූජා කිරීමට නැති තරමට​ම ඇතැම් ගමක මිනිසුන් දුෂ්කර ජීවිත ගත කරන බව උන්වහන්සේ වටහා ගත්තා.

නැවත වජිරඤාණ ධර්මායතනයට පැමිණි උන්වහන්සේට නව වගකීමක් මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්වහන්සේ විසින් භාරදෙනු ලැබුවා. ඒ වජිරාරාම දහම් පාසලයි.

ඉන්පසුව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Buddhist association of victoria නම් සංගමයේ ආරාධනයකින් 1986 වර්ෂයේදී  ඕස්ට්‍රේලියාවට වැඩම කළ උන්වහන්සේ, මෙල්බර්න් හි ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමට කටයුතු කළා. එසේ ම බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ත බෞද්ධ විහාරය ද උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද තවත් එක් විහාරස්ථානයක්.

 

5. ජනතාවගේ හාමුදුරුවෝ 

මෙතැන් පටන් වරින් වර ඔස්ට්‍රේලියාවේත් ශ්‍රී ලංකාවේත් වැඩවාසය කළ සෝම හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ශෛලිය නිසා ඒ හිමියන් මුළු රටේම ජනප්‍රියත්වයට පත් වුණා. හින්දු දේව භක්තියට යට වෙමින් පැවැති බොදු බැතිය යළි මතු කිරීමට උන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ කටයුතු කළා. එසේම ජාතිය පරිහානියට පත්ව ඇති බවත් උන්වහන්සේගේ ධර්ම දේශනා තුළ නැවත නැවත ඉස්මතු කරනු ලැබූවා. මෙහි ප්‍රතිඵලයක් වුණේ අන්තවාදීන්ගේ විවිධ තර්ජනයන්ට සහ එවකට පැවැති රජයේ විවිධ බාධා කිරීම්ව​ලට උන් වහන්සේව ලක් වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් උන්වහන්සේ ස්වාධීන රූපවාහිනී සේවයේ පවත්වමින් සිටි ධර්ම දේශනා වැඩ සටහනෙන් උන් වහන්සේව ඉවත් කරනු ලැබුවා. නමුත් එතැන් පටන් ටී.එන් එල් රූපවාහිනී සේවාව හරහා ධර්ම දේශනා වැඩසටහන් සිදු කිරීමට උන් වහන්සේට අවස්ථාව ලැබුණා. එම ධර්ම දේශනා සඳහා අභාවප්‍රාප්ත මනෝ වෛද්‍ය ඩී. වී. ජේ. හරිස්චන්ද්‍ර මහතා ද විශාල සහයෝගයක් ලබා දුන්නා.

 

6. හදිසි අපවත් වීම

උන්වහන්සේ විසින් රචනා කරන ලද “බුද්ධ ස්ථූප” නම් ග්‍රන්ථයකට ආචාර්ය උපාධියක් රුසියාවෙන් ලබාදෙන බවට උන්වහන්සේගේ ළඟම හිතවතෙකු විසින් කරන ලැබූ දැනුම්දීමක් මත රුසියාවට වැඩම කළ උන්වහන්සේ 2003 දෙසැම්බර් 12 වන දින ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී හදිසි අපවත් වී තිබුණා. මේ  අපවත්වීම සැලවීමත් සමගම මුළු ලංකාව පුරාම ගමක් ගමක් පාසා සුදු කොඩි ලෙ​ලදීම සිදුවුණා. උන්වහන්සේගේ දේහය තැන්පත් ව තිබූ වජිරඤාණ ධර්මායතනයට ජන ගඟක් ගලා ආවා. දෙසැම්බර් 24 වන දින උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිදහස් චතුරශ්‍රයේදී සිදුවුණා. එම අවස්ථාවේ දී යම් කිසි කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කිරීමේ මුග්ධ අනුමානයක් මත රැස්ව සිටි ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පොලිසිය ක්‍රියා කර තිබුණා.

 

7. ඉන් පසුව

සෝම හිමියන්ගේ අපවත් වීම පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබූ අතර එම කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් උන්වහන්සේගේ මරණය ඝාතනයක් බවට නිගමනය කළ අතර, එක් සාමාජිකයෙක් පමණක් එය ස්වාභාවික මරණයක් බවට නිගමනය කර තිබුණා. නමුත් අපේ රටේ බහුතරයක් ජනතාව අදටත් විශ්වාස කරන්නේ උන් වහන්සේගේ අපවත් වීම ඝාතනයක් බවයි.

මේ භික්ෂූන්වහන්සේලා අපවත් වුණාද? අපවත් කළාද?

 

උන් වහන්සේගේ අපවත් වීමත් සමගම සිංහල බෞද්ධ ජනතාව අතර දැඩි පශ්චාත්තාපයක් මෙන් ම තමන් අනාරක්ෂිත යැයි හැඟීමක් ඇති වුණා. ඒ සමගම එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් ජාතික හෙළ උරුමය නිර්මාණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. උන් වහන්සේලාගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ සෝම හිමියන් හඬ නැගූ අන්‍යාගමීකරණය වළක්වන පනතක් පාර්ලිමේන්තුව හරහා ගෙන එන බවයි. නමුත් උන් වහන්සේලාට එම පනත සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. අද වන විට එම භික්ෂූන් වහන්සේලා ගෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අතුරලියේ රතන හිමියන් පමණයි.

 

ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳව ඔබේ අදහස් වෙනුවෙන් අපි කමෙන්ට් තීරුවේ ඉඩකඩ ඔබට ලබා දෙනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් ඔබ අමතක කරන්න එපා.