එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන කතාබහක් මතුවෙලා තියෙන මේ වෙලාවෙදි අපි හිතුවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව පක්ෂයේ මන්ත්‍රීවරු දියත් කරපු කැරැල්ලක් ගැන කතා කරන්න. මේ සිදුවීමේ විශේෂත්වය වෙන්නේ මේ කැරැල්ල එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙමෙයි, මුළු රටටම වැදගත් වීම නිසා. ඒකට හේතුව තමයි ලංකාවේ පළමු වරට විධායක ජනාධිපතිවරයෙක්ට විරුද්ධව ඉදිරිපත්වුණු දෝෂාභියෝගය මේ කැරැල්ල හා බැඳී තිබීම. මුලින්ම අපි ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයෙක්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නේ කොහොමද කියලා කතා කරලා ඊට පස්සේ ප්‍රේමදාසට එරෙහිව එල්ල වුණු දෝෂාභියෝගය ගැන කතා කරමු.
1. දෝෂාභියෝගයක් ගේන්නේ මෙහෙමයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්න පුළුවන් කාරණා හයකට විතරයි. ඒවා වෙන්නේ.
1. මානසික හෝ ශාරීරික දුබලතාවක් නිසා ජනාධිපති ධූරයේ වැඩ කටයුතු කිරීමට නොහැකිවීම.
2. චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝණය කිරීම.
3. රාජ්‍ය ද්‍රෝහී වීම.
4. අල්ලස් ගැනීම.
5. ධූරයේ බලතල අනිසි ලෙස භාවිතා කිරීම.
6. ලංකාවේ වලංගු නීතියක් යටතේ දූෂිත චරිතයක් සහිත වීම.
යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ජනාධිපතිවරයා ඉහත සඳහන් චෝදනාවකට හෝ චෝදනා කීපයකට වරදකරුවෙකු කියලා හැඟෙනවා නම් ඒ පිළිබඳ ව පාර්ලිමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට පරීක්ෂණයක් කළ යුතුයි කියලා කියලා ඉල්ලීමක් ලිපියක් හරහා කථානායකගෙන් කරන්න පුළුවන්.
නමුත් යෝජනා සම්මතය බාර ගන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක බහුතරය ඒ සඳහා අත්සන් කරලා තියෙන්න ඕන.
නමුත් මන්ත්‍රීවරුන්ගෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් අත්සන් කොට තිබිය දී ඔවුන් මතු කරන චෝදනා සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විභාගයක් කළ යුතු බව කථානායකවරයාට හැඟේ නම් ඒ අවස්ථාවේදීත් ඔහුට එම යෝජනාව පිළිගන්න පුළුවන්.
ඊට පස්සෙ කතානායකවරයා තමන් භාර ගත් යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා, ඒ පිළිබඳව ඡන්ද විමසීමක් පවත්වන්න අවශ්‍ය වෙනවා. එම ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතරයක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරෙනවා. එහිදී ජනාධිපතිවරයාට තමන් වෙනුවෙන් නීතිඥයින් මාර්ගයෙන් හෝ අවශ්‍ය නම් තමාට ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින්න පුළුවන්.
අග්‍ර විනිශ්චකාරතුමා ද ඇතුළත් වුණු පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් මෙම චෝදනා විභාග කොට මාස දෙකක් ඇතුළත සිය තීන්දුව කථානායකවරයාට දැනුම් දිය යුතුයි. යම් විදිහකින් එම තීන්දුව මගින් ජනාධිපතිවරයා එම යෝජනාවේ සඳහන් වූ වරදක් හෝ වරද කීපයකට වරදකරු කර ඇත්නම් කථානායකවරයා විසින් නැවතත් ඡන්ද විමසීමක් පවත්වා ඊට තුනෙන් දෙකක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබුනේ නම් පමණක් ජනාධිපතිවරයාව ධූරයෙන් ඉවත් කළ හැකියි.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තමයි දෝෂාභියෝග යෝජනාවක් බාරගත් අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අහෝසි වී යනවා. නමුත් තව දුරටත් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ බලය ඔහු සතුව පවතිනවා.
2. දෝෂාභියෝගයට පාර කැපුණු හැටි
ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවුණු දෝෂාභියෝගයට පාර හැදෙන්න හේතු කීපයක් බලපෑවා. මේකට ප්‍රධානම හේතුවක් වුණේ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ගේ අගමැති ධුරය සඳහා එවකට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් දෙදෙනෙකු වූ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන දෙදෙනාටම අවස්ථාවක් නොදී ඩී. බී විජේතුංගව පත් කිරීම. එතෙක් කලක් එකිනෙකා අතර තරග කරමින් සිටී ලලිත් සහ ගාමිණීව එක් කිරීමට මේ සිදුවීම එක හේතුවක් වුණා.
1990 වර්ෂය වන විට ප්‍රේමදාස අන්තනෝමතික තීරණ නිසා ජනප්‍රියත්වයෙන් පිරිහෙමින් සිටියා. එම වසරේදීම ලලිත් සහ ගාමිණී ලන්ඩනයේ දී එවකට විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මුණගැසී ප්‍රේමදාසව බලයෙන් පහකිරීමේ සැලැස්මක් ගැන කතා කළා. නමුත් එම සාකච්ඡාව එකඟත්වයෙන් තොරව අවසන් වුණා.
නමුත් 1991 වන විට ප්‍රේමදාස තමන් නොරුස්සන පිරිස් වෙත දැඩි ලෙස හිරිහැර කිරීමට පටන් ගත්තා. අමාත්‍ය ධූරයෙන් පමණක් නොව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පවා ඉවත් කරනු ලැබූ ගාමිණී දිසානායක ඇතැම් අවස්ථාවක ලංකාව හැර දමා එංගලන්තයේ පදිංචියට යෑමට පවා සිතුවා. ලලිත් ඇතුලත්මුදලි කැබිනට් ඇමතිවරයෙකු වුවත් ඔහු ගේ බලතල සීමා කරනු ලැබුවා. කතානායක එම්. එච්. මොහොමඩ්ගේ පුතා හට කොළඹ නගරාධිපති ධූරය ලබා දීම ප්‍රතික්ෂේප කළ ප්‍රේමදාස, මොහොමඩ් හට බොරැල්ල ආසනයද අහිමි කරන බවට ඉඟි පළ කළා.
3. දෝෂාභියෝග මෙහෙයුම ඇරඹීම
දිනක් ලලිත්ව මුණ ගැසීමට රාත්‍රියේ පැමිණි ගාමිණී, ප්‍රේමදාසට එරෙහිව කුමක් කළ යුතු ද යන්න ගැන සාකච්ඡා කළා. ලලිත් ගේ අදහස වූයේ පාර්ලිමේන්තුව තුළ මුදල් පනතක් පරාජය කොට අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස් වීමට සැලැස්විය යුතු බවක්. ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අභ්‍යන්තර බල අරගලයක් ඇතිවෙමින් තිබූ කාලයක්. මේ නිසා ඔවුන් දෙදෙනා තමන් සහයෝගය ඉල්ලිය යුත්තේ අනුර බණ්ඩාරනායකගෙන් ද එසේත් නැතිනම් සිරිමා බණ්ඩාරනායකගෙන්ද යන්න පිළිබඳව සාකච්ඡා කළා. අවසානයේදී ඔවුන් දෙදෙනා බණ්ඩාරනායක මැතිනිය මුණ ගැසී හුදු විශ්වාසභංගයකට එහා යමින් ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව තීරණය කළා. එම තීරණය ගැනීමට කථානායකවරයාගේ අදහස් ද ඔවුන්ට බලපෑ බව කියවෙනවා.
4. දෝෂාභියෝගය සඳහා අත්සන් ලබා ගැනීම
ලලිත් ඇතුලත්මුදලි සහ ඔහුගේ හිතවත් නීති විශාරදයන් දෝෂාභියෝගය කෙටුම්පත් කළ අතර ඔවුන් මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වූයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඒ සඳහා අත්සන් ලබා ගැනීමයි. ප්‍රේමදාසට විරුද්ධවීමට මන්ත්‍රීවරුන් අතර තිබූ බිය මීට හේතු වුණා. මේ සඳහා උපක්‍රමයක් ලෙස ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එකම පිටපතට නොව පිටපත් කීපයකට අත්සන් තැබිය හැකි බව ප්‍රකාශ කළා (එසේ කිරීම පසුව දෝෂාභියෝගය මෙහෙයවූවන්ටම පාරාවළල්ලක් වුණා). එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 38 දෙනෙකු ගේ අත්සන් ලබා ගැනීම ඔවුන්ගේ ඉලක්කය වුණා.
සිරිමාවෝ බණ්ඩාරනායක තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමේ සියලු දෙනාගේ ම පාහේ අත්සන් ලබා ගැනීමටත් සමත් වුණා. ඒ සඳහා අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ එකම මන්ත්‍රීවරයා වූයේ ස්ටැන්ලි තිලකරත්න පමණයි. ඔහු පැවසුවේ අත්සන් තැබීම සඳහා ඒ දෝෂාභියෝග යෝජනාවෙහි පිටපතක් තමන්ට අවශ්‍ය බවයි. 1991 අගෝස්තු 28දා කථානායක නිල නිවසේ දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ද දෝෂාභියෝග යෝජනාව සඳහා අත්සන් තබනු ලැබුවා.
5. දෝෂාභියෝගය බාරගැනේ
අගෝස්තු 28 වන දින දෝෂාභියෝගය භාරගත් කථානායකවරයා අගෝස්තු 29 වන දින ඒ පිළිබඳව දන්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයටත්, මැතිවරණ කොමසාරිස්ටත්, ආරක්ෂක ප්‍රධානින්ටත් ලිපියක් යැවුවා. ඊට පෙර ස්ටැන්ලි තිලකරත්න විසින් ප්‍රේමදාසට ඒ පිළිබඳව දැනුම් දුන් නමුත් එය විශ්වාස භංගයක් යැයි සිතූ ප්‍රේමදාස ඒ පිළිබඳව තැකීමක් කළේ නැහැ. මෙම ලිපිය ලැබෙන විට ප්‍රේමදාස කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් සිටි අතර රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය තුළ සම්මත කර ගනු ලැබුවා.
6. දෝෂාභියෝගය උපන් ගෙයිම මරා දැමීම
ප්‍රේමදාස මේ හේතුවෙන් ඉතා කලබලයට පත් වූ අතර විවිධ නීති විශාරදයින් කැඳවා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව උපදෙස් ලබා ගනු ලැබුවා. අවසානයේ දී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ඔහු තීරණය කළා. එම කාලය තුළ දී දෝෂාභියෝගය සඳහා අත්සන් තබන ලද මන්ත්‍රීවරුන් නැවතත් තමන්ගේ පාර්ශවයට නම්මවා ගැනීමට ඔහු කටයුතු කළා. එසේ ම ඇතැම් වාර්තා වලට අනුව ඉන්දියාවෙන් පවා ගුප්ත විශේෂඥයින් කැඳවා විවිධ කටයුතු සිදු කළා කියා කසු කුසු පැතිරුණා. අවසාන වශයෙන් කථානායක එම්. එච්. මොහොමඩ්ව තමන්ගේ පාර්ශවයට ගැනීමටත් ජනාධිපතිවරයා උත්සාහ ගත්තා. අවසානයේ දී කථානායකවරයා දෝෂාභියෝග යෝජනාවේ අඩංගු අත්සන් ප්‍රමාණය ගැන තමන් සෑහීමකට පත් නොවන බැවින් එම යෝජනාව තවදුරටත් නොපිළිගන්නා බවට ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
7. ඉන් පසු…
අවසානයේදී දෝෂාභියෝගයට සහාය දීමේ චෝදනාව මත ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ජී. ඇම්.ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රා ගන්කන්ද, ප්‍රේමරත්න ගුණසේකර, සමරවීර වීරවන්නි, ආරියරත්න ජයතිලක සහ වින්සන්ට් පෙරේරා යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ මන්ත්‍රීධුර අහිමි වුනා. ඔවුන් ‘රාජලියා’ ලකුණ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් පක්ෂයක් පිහිටුවා ගත් අතර රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලනයට එරෙහිව ප්‍රබල විරෝධයක් ඒකරාශී කිරීමට ඔවුන් සමත් වුනා.
යම් විදිහකින් රණසිංහ ප්‍රේමදාස මහතා ලලිත් ඇතුලත්මුදලිට සහ ගාමිණී දිසානායකට නිසි ස්ථාන ලබා දුන්නේ නම් ලංකාවේ ඉරණම මොන වගේ වෙන්න තිබ්බද? ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply