දියවැඩියාව තියන රෝගීන්ට කන්න සුදුසු කෑම වර්ග 5ක් මේ විදිහට හදාගන්​න

තවත් රෝග රැසකට මුල් වෙන රෝගයක් විදියට අපිට දියවැඩියාව හඳුන්වන්න පුළුවන්. ඒක පාලනය කරගන්න වගේම අනිත් අයට මේ රෝගය ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න එක ගැන අපි හිතන්න ඕන. දියවැඩියාව කියන්නෙ කෑමෙන් බීමෙන් හුඟක් දුරට පරිස්සම් වීමෙන්, ව​ළක්වගන්න, පාලනය කරගන්න පුළුවන් රෝගයක්. අපි මේ අද ගෙනාවෙ දියවැඩියා රෝගියෙකුට වගේම දියවැඩියාවෙන් පරිස්සම් වෙන්න හිතන කෙනෙක්ට සුදුසු කෑම ටිකක්. හොඳට මතක තියාගන්න මේ කෑම වර්ග සතියකට වතාවක් හෝ දෙවතාවක් මිසක දිනපතා ආහාරයට නුසුදුසු බව. රුධිරගත සීනි මට්ටම එකවර පහත ගියොත් ඒක දියවැඩියාවටත් වඩා හානි පමුණුවන්න පුළුවන්.

 

1. තෙබුකොළ සම්බෝලය

කෝකටත් තෛලය වගේ ඉන්නෙ ඉතින් මේ තෙබුකොළ සම්බෝලයනෙ. රුධිරගත සීනි ප්‍රමාණයේ වැඩිවීමක් තියන දවස් වලට මෙයින් පොඩ්ඩක් කන්න තියනවනම් ඉක්මනින් සීනි මට්ටම යථා තත්ත්වෙට ගන්න පුළුවන්. තෙබුකො​ළ නම් සතියකට වතාවක් වගේ කෑමට සුදුසුයි කියලයි කියන්නෙ.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලපටි තෙබුකොළ කිහිපයක් 
  2. පොල් ටිකක්
  3. සිහින්ව ලියාගත් රතුළූණු කිහිපයක් 
  4. උම්බලකුඩු ටිකක්
  5. අමුමිරිස් කරලක්
  6. ලුණු
  7. දෙහි ගෙඩියක්

 

  • තෙබුකොළ ටික සෝදලා අරන් හීනියට ලියාගන්න. රතුළූණු හා අමුමිරිස් ඒ විදියටම ලියාගන්න. 
  • පොල් වලට රතුළූණු, අමුමිරිස්, උම්බලකඩ සහ ලුණු සමඟ දෙහි ඇඹුල් එකතු කරල අනාගන්න.
  • දැන් මේකට තෙබුකොළ ටික එකතු කරල ඇඟිලි තුඩින් මිශ්‍ර කරගන්න.

 

2. සේපාලිකා මල් තැම්බූ වතුර

රුධිරගත සීනි වගේම ලිපිඩ මට්ටම කන්ට්‍රෝල් කරන්න පුළුවන් අරුම පුදුම පානයක් තමයි මේක. අතුරු ආබාධ වලින් තොර සියයට සියයක්ම විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් වගේම එදිනෙදා ජීවිතයෙ අපි කාටත් බොන්න පුළුවන් පානයක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වියළි සේපාලිකා මල් කිහිපයක් 
  2. උණුවතුර 

 

  • වියළි සේපාලිකා මල් උණුවතුරට දා තැම්බෙන්න ඇරලා කිතුල් හකුරුත් එක්ක පානය කරන්න.

 

සේපාලිකා මල් වේලනකොට මුලින්ම නටුවෙ පණුවො ඉන්නවද කියලා චෙක් කරගෙන මදපවනෙ වේලගන්න ඕනෙ. වියළි ගතියට ආවම මල් ටික බෝතලයකට දාලා ටික ටික පාවිච්චි කරන්න පුළුවන්.

 

3. කෝවක්කා කොළ සම්බෝලය

කෝවක්කා උනත් අපිට එදිනෙදා ජීවිතයෙ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බෙහෙත් කොළයක් තමයි. කොලෙස්ටරෝල්, අර්ශස්, මුත්‍රා රෝග, දියවැඩියාව, රක්තහීනතාවය මෙකී නොකී ලෙඩ රාශියකට ගුණදායක දෙයක් තමයි කෝවක්කා කියන්නෙ. අපි බලමු ඒක රසට හදාගන්න හැටි.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සිහින්ව ලියාගත් කෝවක්කා කොළ ටිකක්
  2. සිහින්ව ලියාගත් රතුළූණු ගෙඩි 6-7
  3. ගාගත් පොල් කෝප්ප  1/2
  4. ලුණු
  5. දෙහි බෑයක්

 

  • පොල් වලට ලියාගත් අමුමිරිස්, ළූණු, දෙහි යුෂ හා ලුණු දාලා අනාගන්න.
  • අන්තිමට ලියාගත් කෝවක්කා කොළ එකතු කරලා හිමින් කලවම් කරගන්න.

 

4. කරවිල සලාදය

නම ඇහුවමත් ඉතින් අපේ සමහර ඈයො “අපෝ එපා” කියනවනෙ. ඒ අතරට බලෙන් ඉල්ලගෙන කන අයත් නැතුවාම නෙමෙයි. සීනි මට්ටම පහත හෙලන්න කරවිල සතු විශ්මිත ගුණය ගැන කියලා නිම කරන්න බැරි තරම්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පෙති කපාගත් කරවිල ටිකක්
  2. ලියාගත් බී ළූණු ගෙඩියක්
  3. උම්බලකඩ කෑලි ටිකක්
  4. ලුණු 
  5. දෙහි යුෂ
  6. බැදගැනීමට තෙල්

 

  • මුලින්ම කරවිල කරලේ ඇට අයින් කරලා හීනි පෙති කපාගන්න. මේ පෙති ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්න තියලා වෙනම භාජනයක් අරගෙන ළූණු, උම්බලකඩ, ලුණු හා දෙහි ඉස්ම දාලා කලවම් කරගන්න. අන්තිමට බැදගත් කරවිල ටික දාලා හිමින් කලවම් කරගෙන කෑමට ගන්න.

 

කරවිල බැදල කනවටත් වඩා ගුණදායකයි අමුවෙන්ම මේ සම්බෝලය හදාගන්නවා නම්. අමුවෙන් කරවිල හදනව නම් හීනියට කපාගත්තු ලපටි කරවිල ටික ලුණු මිශ්‍ර වතුරේ විනාඩි පහක් විතර තියල හොඳින් මිරිකල අරගෙන කලින් වගේම සම්බෝලය හදාගන්න. කෑමට ළං වෙලාම කරවිල ටික කපාගන්නව නම් තිත්ත රසය එන්නෙ නැති වෙන්න මේ සම්බෝලය හදාගන්න පුළුවන්.

 

5. උළුහාල් ව්‍යාංජනය

ඉතාමත් ගුණදායක උළුහාල් ගොඩක් ක්‍රම වලට පිලියෙල කරගන්න පුළුවන්. මේ එක් ක්‍රමයක් විතරයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. උළුහාල් කෝප්ප 1/2 පමණ
  2. ලියාගත් අමුමිරිස් හා ළූණු
  3. කරපිංචා / රම්පා
  4. උම්බලකඩ 
  5. පොල්කිරි මිටිකිරි කෝප්ප 1 (දියකිරි කෝප්ප 1/2)
  6. අමුමිරිස් කරල් කිහිපයක් 
  7. මිරිස්කුඩු තේ හැඳි 
  8. තුනපහකුඩු තේ හැඳි 1/2
  9. ගොරකා කෑලි 2-3
  10. කුරුඳු පොතු කෑල්ලක්
  11. ලුණු

 

  • මුලින්ම උළුහාල් ටික සෝදලා විනාඩි 30ක් වගේ පෙඟෙන්න තියන්න. දැන් වතුර පෙරලා අරන් ඒකට ලියාගත් ළූණු, සුදුළූණු, අමුමිරිස්, මිරිස්කුඩු, තුනපහකුඩු, ගොරකා, කුරුඳු පොතු කෑල්ලක්, කරපිංචා, රම්පා දාලා දියකිරි දාලා තැම්බෙන්න තියන්න. 
  • හොඳට තැම්බුනාම මිටිකිරි ටික දාලා උතුරවලා හින්දවන්න. රස අනුව ලුණු දාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *