සමරිසි මිනිස්සු ගැන ලෝකේ තියෙන වැරදි මත කීපයක්!

සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හුරු පුරුදු ලිංගික නැඹුරුතාවය වෙන්නේ පිරිමියෙක් සහ ගැහැණියක් ආදරෙන් බැඳීම සහ ලිංගික සම්බන්ධතා පැවැත්වීම. ඒ කියන්නේ හෙටරෝසෙක්ෂුවල් නැතිනම් ස්ට්‍රේට්. හැබැයි අපි කලිනුත් කියලා තියෙන විදියට ලෝකේ තියෙන එකම ලිංගික නැඹුරුතාවය ඒක නෙවෙයි. තව ඒවා තියෙනවා. විශේෂයෙන්ම සමරිසි භාවය කියලා කියන ගැහැණු දෙන්නෙක් හෝ පිරිමි දෙන්නෙක් ආදරයෙන් සහ/හෝ කායිකව බැඳීම. මේකට ඉස්සර කිව්වේ සමලිංගික කියලා. හැබැයි ඒ වචනේ යල් පැනපු වචනයක් විදියට දැන් ප්‍රතික්ෂේප වෙනවා. දැන් කියන්නේ සමරිසි හෝ සමසෙනෙහස් කියන එක. කොහොම නමුත් තාමත් අපේ සමාජයට සමසෙනෙහස කියන එක ඇත්තම දෙයක් විදියට පිළිගන්න පුළුවන් වෙලා නෑ. සමහර වෙලාවට ඒකට එක හේතුවක් තමයි මේ සමරිසිභාවය නැතිනම් සමසෙනෙහස් භාවය සම්බන්ධයෙන් ලෝකේ සමාජගත වෙලා තියෙන දුර්මත. ආන්න ඒ වැරදි මත ගැන කතා කරන එක තමයි මේ ආටිකල් එකේ අරමුණ!

 

1. බාල අපචාර කරන සමසෙනෙහස් අය!

දැන් අපේ සමාජේ කවුරුහරි සමසෙනෙහස් නැඹුරුතාවයෙන් යුතුයි කියලා දැනගත්තොත්, ඒ කෙනා එක්ක දරුවෙක් වත් තනියෙම තියන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒකට මුල තමයි, සමරිසි අය බාල අපචාර කරනවාය කියලා පැතිරිලා තියෙන මතය. ඒක වැරදි වැටහීමක්. සමරිසි අය විතරක් බාල අපචාර කරන්නෙත් නෑ. අනික් අයට වඩා සමරිසි අය අතර බාල අපචාර අනුපාතය ඉහළයි කියලා එකකුත් නෑ. මෙතනදී සරලම කතන්දරේ වෙන්නේ බාල අපචාර කරන මිනිස්සු බාල අපචාර කරනවා කියන එක තමයි. ඒකට ලිංගික නැඹුරුතාවය මොකද්ද කියන එකේ වෙනසක් නෑ. ඒ නිසා අපි කරන්න ඕනේ අපේ දරුවන්ව තියලා යන්නේ කා එක්කද කියන එක ගැන පොදුවේ සැලකිලිමත් වෙන එක මිසක්, සමරිසි කෙනෙක් නම් විශේෂයෙන් බය වෙන එක නෙවෙයි.

 

2. සමරිසි අයට ඕන සෙක්ස් විතරයි!

මෙන්න මේකත් සමරිසි අයට විතරක් විශේෂ කරන එක විකාර අදහසක්. ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ඒ අයට ඕන සෙක්ස් විතරයි. එතකොට තවත් සමහර මිනිස්සු ඉන්නවා, ඒ අයට සෙක්ස් එක්ක ලව් එකත් ඕන. සමහරුන්ට ලව් එක විතරක් තිබුණත් ඇති. ආන්න ඒක තමයි කතන්දරේ. ඕකට සමරිසි, විසමරිසි වෙනසක් නෑ. ඕනම ලිංගික නැඹුරුතාවයක් තියෙන කාණ්ඩයක සෙක්ස් විතරක් හොයන අයත් ඉන්නවා, ආදරයක් හොයන අයත් ඉන්නවා. හැබයි සමරිසිභාවය කියන්නේ අපේ සමාජයේ තාමත් හංගගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන දෙයක් නිසා, සමරිසි කෙනෙක්ට ආදරයක් හොයාගන්න එක අසීරු වෙන්න පුළුවන්. සෙක්ස් වලින් විතරක් සැනසෙන්න සිද්ධ වෙන්න පුළුවන්.

 

3. පොඩි කාලේ වුණු අපචාර නිසා ගේ වෙනවා!

මේකත් විද්‍යානුකූලව කිසිම සත්‍යයක් නැති කතන්දරයක් කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. ඒ කියන්නේ පුංචි කාලේ පිරිමියෙක් අතින් අපචාරයට ලක් වෙන පොඩි පිරිමි ළමයෙක් ලොකු වෙනකොට සමරිසියෙක් වෙන්න පුළුවන් කියලා සමාජේ පැතිරිලා තියෙන්නේ වැරදි මතයක්. පොඩි කාලේදී අපචාරයකට ලක් වීමෙන් සුව කරන්න අමාරු මානසික කැළැල් තියෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඒ කෙනාගේ ලිංගික නැඹුරුතාවය ගේ වෙනවද, ස්ට්‍රේට් වෙනවද කියලා කියන්න බෑ කියන එකයි කියවෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙන්න පුළුවන්. පොඩි කාලේදී වැඩිහිටි මනුස්සයෙක් අතින් අපයෝජනයට ලක් වෙන එකම ස්ත්‍රීපුරුෂ භාවයේ කෙනෙක්, ඒකෙන් තමන්ගේ සමරිසි නැඹුරුතාවයක් තියෙනවාය කියන එක වටහා ගන්න පුළුවන්. ඒ නිසාම එයාත් ලොකු වෙනකොට සමරිසියෙක් වෙන්න පුළුවන්. හැබැයි අර අපයෝජනය නිසා ලිංගික නැඹුරුතාවය වෙනස් වෙනවා කියන්න සාධක නෑ.

 

4. ගේ අයත් එක්ක හිටියහම ඔයත් ගේ වෙනවා!

මේ තර්කය ගොඩක් වෙලාවට ගොඩ නගන්නේ ඔය සැලුන් වල එහෙම ඉන්න සමරිසි නැඹුරුතාවය තියෙන කණ්ඩායම් දිහා බලලා. ඒ කියන්නේ සාමාන්‍ය විදියට ඉන්න කෙනෙකුත් එතනට ගියහම ගේ එක්කෙනෙක් වෙනවා කියලා කරන නිරීක්ෂණය මත. ඇත්තම කතාව තමයි එකම වර්ගයේ අය එක්ක ජීවත් වුනා කියලා කෙනෙක්ගේ ලිංගික නැඹුරුතාවය වෙනස් වෙන්නේ නැහැයි කියන එක. ඒ කියන්නේ ස්ට්‍රේට් මනුස්සයෙක් ගේ සෙට් එකක් එක්ක අවුරුදු ගාණක් එකට හිටියත් අර ස්ට්‍රේට් කම නැතිවෙලා ගේ කමක් එන්නෙ නෑ. හැබැයි ගේ නැඹුරුතාවය තියෙන කෙනෙක් හරි, බයි නැඹුරුතාවය තියෙන කෙනෙක් හරි තවත් ගේ සෙට් එකක් එක්ක එකට ඉන්න ගත්තහම, එතනදී එයා තමන්ගේ ලිංගික නැඹුරුතාවය මේකයි කියලා හොයාගන්න එක වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඔය ක්ලෝසෙට් ගේ කියන, ඒ කියන්නේ තමන්ගේ සමරිසිභාවය හංගගෙන ඉන්න එක්කෙනෙක් ගේ සෙට් එකක් එක්ක ඉන්නකොට, තමන්ගේ ලිංගික නැඹුරුතාවය ප්‍රසිද්ධියේ පෙන්නන්න ධෛර්‍යමත් වෙන්නත් පුළුවන්.

 

5. පෙර කරපු පව් නිසා ගේ වෙනවා!

මේ මිත්‍යා මතය නම් විශේෂයෙන්ම තියෙන්නේ පව් පින් ගැන තදින් විශ්වාස කරන අපේ සමාජයේ. හරි, පව් පින් කියන දේ ගැන විද්‍යාත්මකව කතා කරන්න අමාරු පදනමකදී, අපි කොහොමද ගේ කෙනෙක් වෙන්නේ පෙර කරපු පව් නිසා කියන එක මිත්‍යා මතයක් කියන්නේ? මෙහෙමයි. ගේ කෙනෙක් වෙන්නේ පෙර කරපු පව් නිසා කියලා කෙනෙක් උපකල්පනය කරන්නේම, ගේ කෙනෙක් ස්ට්‍රේට් කෙනෙක්ට වඩා පහතින් ඉන්නේ කියලා හරි, සමාජ තත්වයෙන් පහළයි කියලා හරි, දුකක් විඳින්නේ කියලා හරි, අඩුවක් තියෙනවා කියලා හරි උපකල්පනය කරන නිසාමයිනේ. හැබැයි ගේ කෙනෙක්ට මොකක්ද ස්ට්‍රේට් කෙනෙක්ට වඩා තියෙන අඩුව? ලංකාවේ සමාජය ඇතුළේ නම් තාම පිළිගැනීමක් නෑ. හැබැයි ඒක ගේ කෙනෙක්ගේ අඩුවක් නෙවෙයි. තාම යල් පැනපු මත කරපින්නගෙන ඉන්න සමාජයේ අඩුවක් ඒක. ඉතින් එහෙම බැලුවහම ඉස්සර පව් ක​ළ නිසා දැන් ගේ වෙලා කියන එක විකාර කතාවක් වෙනවා නේද?

 

6. සමරිසි අයට ගොඩක් සෙක්ස් පාට්නර්ස්ලා ඉන්නවා!

මේකත් මිත්‍යාවක් වෙන්නේ, එහෙමනම් විසමරිසි – ඒ කියන්නේ පිරිමින්ට කැමති ගැහැණුන්ට සහ ගැහැණුන්ට කැමති පිරිමින්ට- ගොඩක් සෙක්ස් පාට්නර්ස්ලා නැහැයි කියන උපකල්පනය මත ඉඳලා බැලුවොත් තමයි. හැබැයි ඒක වැරදියි කියලා අපි හැමෝම දන්නවනේ. ස්ට්‍රේට් අය අතරෙත් එකම පිරිමියෙක් හෝ ගැහැණියක් එක්ක ජීවිත කාලෙම ඉන්න උත්සාහ කරන අය ඉන්නවා. සමරිසි අය අතරෙත් එකම පිරිමියෙක් හෝ ගැහැණියක් එක්ක ජීවිත කාලෙම ඉන්න උත්සාහ කරන අය ඉන්නවා. ඔච්චරයි කතාව. හැබැයි මෙහෙම කාරණයක් තියෙනවා. සමරිසිභාවය ලංකාව වගේ රටක හංගගෙන ඉන්න සිද්ධ වෙන දෙයක් වෙලානේ. ආන්න ඒ නිසා සමරිසි නැඹුරුතාවය තියෙන කෙනෙක්ට සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න සෑහෙන්න අමාරුයි. එතකොට ගොඩක් වෙලාවට පාට්නර් කෙනෙක්ගෙන් පාට්නර් කෙනෙක්ට මාරු වෙන්න සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න එක පාර ගොඩක් සෙක්ස් පාට්නර්ස්ලා තියාගෙන ඉන්න එක ඒ ඒ මිනිස්සුන්ගේ හැටියක් මිසක් ගේ අයගේ හැටියක් හෝ ස්ට්‍රේට් අයගේ හැටියක් නෙවෙයි!

 

7. සමරිසිභාවය කියන්නේ මානසික ව්‍යාධියක්!

මෙන්න මේක ගොඩක් කාලයක් තිස්සේ ජනප්‍රිය වෙලා තිබුණු මිත්‍යා මතයක්. ඒ තමයි සමරිසිභාවය කියන්නේ ඇත්තටම මානසික ආබාධයක්, මානසික දුර්වලතාවයක් කියන එක. මේ මිත්‍යාව එන්නේම සාමාන්‍ය දේ වෙන්නේ විසමරිසිභාවය කියන උපකල්පනයත් එක්ක. හරි, ලෝකේ වැඩියෙන්ම ඉන්නේ විසමරිසි නැතිනම් ස්ට්‍රේට් මිනිස්සු ගැහැණු තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ සමරිසිභාවය කියන්නේ අසාමාන්‍ය දෙයක් කියලා. සත්ව ලෝකේ වුනත් සමරිසි හැසිරීම් දකින්න ලැබෙනවා. මෑතක් වෙනතුරුම සමහර මනෝවෛද්‍යවරුන් පවා විශ්වාස කළා සමරිසි භාවය කියන්නේ මානසික සංකූලතාවයක්ය, ඒක ප්‍රතිකාර මගින් හොඳ කරන්න පුළුවන්ය කියලා. හැබැයි අපි දන්නෙ නෑ ඒ විශ්වාසය නිසා කී දෙනෙක්ගේ ජීවිත ව්‍යාකූල වෙලා තියෙනවද කියලා. මොකද ලිංගික නැඹුරුතාවය කියන්නේ කිසිමාකාරයක මානසික සංකූලතාවයක් නෙවෙයි කියලා මේ වෙනකොට ලෝකේ පිළිඅරගෙන තියෙන නිසා.

 

8. මේ සමරිසිභාවය කියන එක ලෝකෙට ඇවිත් තියෙන්නේ දැන්!

සමහරු තර්ක කරන දෙයක් තමයි, ඔය සමරිසි හෝ සමසෙනෙහස් වගේ අටපට්ටං කතන්දර ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ මෑතකාලෙදී ඇතිවුණු වෙනස් වෙනස් සමාජ රැළි, ස්වාධීන චින්තන වගේ දේවල් නිසාය, එහෙම එකක් ලෝකේ මීට කලින් තිබුණේ නැහැය කියලා. මේකට ඒ අය උදාහරණයක් විදියට දක්වන්නේ, අපේ ආතලාගේ මුත්තලාගේ කාලේ ඔහොම එව්වා අපි අහලා තිබුණේ නැතිය කියන පදනම තමයි. හැබැයි ඇත්ත කතාව මේකයි. ලෝකේ ඈත අතීතයේදීත් සමරිසිභාවය තිබිලා තියෙනවා. අතීත ග්‍රීසියේ සමරිසිභාවය සාමාන්‍ය දෙයක් විදියට පිළිඅරගෙන තිබිලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රභූවරුන් එහෙම බයි සෙක්ෂුවල් ක්‍රියාකාරකම් වල නිරත වෙලා තියෙනවා. එතකොට මානව ශිෂ්ටාචාරයේ මුල්ම කාලේ සමරිසිභාවය තිබුණද නැද්ද කියලා හොයාගන්න බැහැනේ. මේ ඇරුණහම ඔය ඉස්සර සමරිසි කතන්දර අපි අහලා නැතිය කියන තර්කෙට උත්තරේ මේකයි. අපේ සමාජයේ -විශේෂයෙන්ම විදේශ ආක්‍රමණිකයෝ ආවට පස්සේ- සමරිසිභාවය වගේ එව්වා හංගගෙන හිඳීමක් තමයි සිද්ධ වුනේ. ඒ නිසා ගොඩක් අය මේ දේවල් ගැන දැනීමක් නෑ. හැබැයි ඒකෙන් කියන්න බෑ සමරිසි ලිංගික නැඹුරුතාවය තියෙන අය ඉස්සරටත් හිටියේ නැහැයි කියලා!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *