ජනාධිපතිවරණයෙන් පස්සේ බුකියේ දකින්න ලැබුණු අලුත්ම කතා

ජනාධිපතිවරණ උණුසුම මැද බුකියේ දැකපු කතා කියන නමින් ලිපියක් ලීවා මතක ඇති. මතක නැත්නම් මෙතනින් කියවන්​න.

 මේ අද කතා කරන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඔක්කොම දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන මොහොතක බුකිය ඒකට ප්‍රතිචාර දක්වන්න කිව්ව කතා සාගරේ ගැන.

 

1. ෆේස්බුක් උපදේශක මණ්ඩලය 

ජනාධිපති උපදේශනෙට කියලා නිකන් බොරුවටනේ නිලධාරින් පත් කරලා තියෙන්නේ. නොමිලයේ ම රට පාලනය සම්බන්ධයෙන් උපදෙස් ලැබෙද්දී ආය මක්කටයි උපදේශන මණ්ඩල. අන්තිමේ ගෝඨාට රට හදන්න උගන්නන මැයෙන් ෆේස්බුක් සමූහයකුත් නිර්මාණය වුණානේ. ගොඩක් ම මේ උපදෙස් සම්බන්ධයෙන් කැපී පෙනෙන විදියට ක්‍රියා කරන්නේ ජෙප්පෝ. ඒත් එක්කම ඡන්දේ දුන්න උදවිය කිව්වේ එයාලටත් වඩා ගෝඨාබය රාජපක්ෂට ඇහැ හරවගෙන ඉඳලා තියෙන්නේ අනික් මිනිස්සුනේ කියන එක. මේක පටන් ගත්තේ නම් ජෝක් එකක් විදියට නෙවේ. නව ආණ්ඩුවේ දිශානතිය වෙනස් කරන්න පුරවැසියන් විදියට වගකීම ඉටු කිරීම විතරයි එත​න තිබ්බේ. දැන් ජෝගියක් විතරයි.

 

2. හිච්චි ගෝඨා 

නව ජනාධිපතිගේ පුතා ගැන දැන් සෑහෙන කතාබහක් ඇති වෙලා තියනවා ඔහුගේ පුතයි පුතාගේ බිරිඳයි නිසා. ඉස්සෙල්ලාම ඔහුව ඇහැට හුරු වෙන්නේ අනුරාධපුරයේ දී. ඊට පස්සේ නිතර මාධ්‍යවල හිටියා තමයි. උඩු රැවුලෙන් බුකියම කළඹපු වීරයෙක් විදියට ඔහුට පටබැඳුණ නාමය තමයි හිච්චි ගෝඨා. ඊට පස්සේ ඔහුගේ ලස්සන නෝනා ගැන කතා කරන්න ගත්තා. මීම්ස් හැදුනා මදි නොකියන්න. තවමත් හැදෙමින් යනවා. විශේෂයෙන් ම ඔය හිච්චි ගෝඨා කියන නම. දැන් සමහර අය ඔහුගේ නාසා ආයතනය එක්ක තියන සම්බන්ධය සහ චරිතය පිළිබඳ සමස්තය හිතලා අනාගත ජනාධිපතිකමට පත් කරලත් ඉවරයි.

 

3. බයියනි සැප ද?

අවුරුදු හතරහමාරක් බැනුම් අහ අහා හිටපු හැට දෙලක්ෂය දැන් හිතේ හැටියට හිරි ඇරගන්නවා. විල්පත්තු ප්‍රශ්නය සහ මහවිරු සැමරුම කියන ප්‍රශ්න දෙක ජනාධිපතිවරණයෙන් පස්සේ සෑහෙන කතාබහට ලක් වුණා. නම වැකුණ ගමන් ම බුකිය පුරා ‘බයියනි සැප ද’, ‘දැන් සතුටු ද’, ‘නායකයෙක් පත් කරේ මේකටද’ යනාදී විදියට කතන්දර ගොඩක් තිබ්බා. නමුත් ප්ලාස්ටික් බෝලේ වතුර යටට ගියා වගේ දැන් ආයෙත් තත්ත්වය සාමකාමියි. 

 

4. රාජ්‍ය ලාංඡන සහ පාරවල් 

අම්මෝ මේක නම්. ජනාධිපතිටත් හිනා යන්න ඇති මේ සිද්ධියට. ජනාධිපති පත් වුණාට පස්සේ කිව්වනේ රාජ්‍ය ආයතනවල තමන්ගේ පොටෝ කෑල්ල අටවන් නැතුව රාජ්‍ය ලාංඡනේ එල්ලන්න කියලා. ඒ වගේ ම කිව්වනේ පාරේ නම විතරක් ප්‍රදර්ශනය කරාම ඇති, මැති ඇමති කතා එපා කියලා. ඉතින් ඔය ඔක්කොම උපදෙස් එක පාරට කොහොම දරාගන්න ද? අපේ කට්ටිය පාරවල නම ගැහුවා රාජ්‍ය ලාංඡනේ එක්ක. මේ දේවල පොටෝ ඉස්සෙල්ලම භීෂණේ වගේ බුකිය පුරා පැතිරෙන්න ගත්තා. පස්සේ බුකි යහළුවන්ට ම තේරුම් ගියා නොදෝමකින් මොන ගොන් වැඩක් ද මේ කියලා.

 

5. මණ්ඩලේ කචල්ලෙක 

ජනාධිපතිගේ ඇමති මණ්ඩලය සම්බන්ධයෙනුත් කඳවුරු දෙකකට බෙදිලා දෙගොල්ලක් බුකියේ කෑ ගහන්න ගත්තා. ඇමති මණ්ඩලය 53ක් වුණාට කට්ටියක් කිව්වා 70යි කියලා. මේ සම්බන්ධයෙන් සෑහෙන හරවත් වගේ ම හෙන මෝඩ පැහැදිලි කිරීම් බුකියේ මාගල් එළලා වගේ තිබුණා. ඇමති මණ්ඩලයේ තාවකාලික බව හිතන්නේ නැතුව සමහරු රට සදහටම ඉවරයි වගේ ඉඳිද්දී ඊළඟ ඡන්දෙන් අදාළ පිරිස් ගෙදර යවන්න අනෙක් අය උපදෙස් දුන්නා. 

 

6. 3%

ජවිපෙ ඡන්ද ප්‍රතිශතය වුණ 3% විවිධාකාරයෙන් බුකිය විසින් අර්ථකථනය කරලා තිබුණා. එහෙම තිබුණ එක රහ කතාවක් තමයි පිටකොටුවේ ජවිපෙ ඇපල් විකුණන්න තියෙනවා ය කියන එක. ඒ කියන්නේ සියයට ඇපල් තුනක් දෙනවා කියන එක. තවත් පිරිසකට අනුව ඡන්ද ප්‍රතිශතය මේ තරම් අඩුවෙන්න ඔවුන් සතුව තිබුණ හීනමාන ගතිය හේතු වුණා කියලා තිබුණා. කොහොමහරි ජවිපෙ ඇත්තන්ට අනුව රටේ සමස්තය බුද්ධිමත් නැහැ වගේ ම බහුතර මතයේ ඇති වැරැද්දත් සුළුතරය වීම නිසා ඒ වැරැද්දෙන් ගැලවීමේ කතාවකුත් ඔවුන් සතුව තිබුණා.

 

7. ගෝඨාභය නම් මැජික් ශිල්පියා 

දිවුරුම් දෙන්න වුණෙත් නෑ ඡන්ද ප්‍රතිඵල ඇවිත් අහවර වුණත් හරි ‘මේ රට හෙට මෙහෙම වෙයි අරහෙම වෙයි’ වගේ කෝචෝක් කතන්දරත් ‘කවුරු ඡන්දේ දින්නත් හෙට ඉඳන් කෝච්චියේ වැඩට යන්න වෙනවා’ වගේ දේවලුත් බුකියේ පිරෙන්න තිබුණා. පස්සේ මේකට ප්‍රතිඋත්තර වශයෙන් ගෝඨාභය කියන්නේ මැජික් ශිල්පියෙක්වත් පහනක ඉන්න භුතයෙක්වත් නෙවෙයි දැන් රට හදන්න ඔක්කොම එකතු වෙමු කියන පණිවිඩය ලැබුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *