ලංකාවට සිනමාව හඳුන්වා දෙන්න කලින් ලංකාවේ ජනතාවට තිබ්බ ප්‍රධාන විනෝදාස්වාද මාර්ගයක් වුණේ ටවර් හෝල් නාට්‍යයි. මරදානේ ටවර් රඟහල කේන්ද්‍ර කරගෙන මේ නාට්‍ය සම්ප්රදාය බිහි වුණත් ඔවුන් රට වටා තාවකාලික රංග ශාලාවල තමන්ගෙ නාට්‍ය ප්‍රදර්ශනය කළා. මේ හරහා ලංකාවේ පළවෙනි වතාවට නළු නිළියන් සුපිරි තරු බවට පත් වුණා. ඇතැම් නිළියන් එනතුරු ජනතාව පොරකෑවා. නමුත් සිනමාවේ ආරම්භයත් සමග තත්ත්වය වෙනස් වුණා. ජනතාව ටවර් හෝල් රඟහල අත හැර සිනමා ශාලා කරා සේන්දු වුණා. මේ නිසා පැරණි ටවර්හෝල් නළු නිළියන්ට ජීවිතය ගැටගසා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්වුණා. සිනමාව තුළ ගමනක් යෑමට හැකියාව ලැබුණේ ඔවුන්ගෙන් සීමිත පිරිසකට පමණයි. ඇතැම් අය හිඟමනට පවා වැටුණු බව සඳහන් වෙනවා. මේ වගේ දුෂ්කර තත්ත්වයකට පත් වෙලා හිටපු ටවර් හෝල් නළු නිළියන් ගැන නැවත බැලුවේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා කියන එකත් මතක් කළ යුතුමයි. එතුමා ටවර් හෝල් රඟහල ප්‍රතිසංස්කරණය කර පැරණි නළු නිළියන්ගේ සුභසාධනය වෙනුවෙනුත් කටයුතු කළා.
අද Lifie මේ ඉඩකඩ වෙන් වෙන්නේ ටවර් හෝල් යුගය බබළවපු සුපිරි තරු කීපයක් වෙනුවෙන්.
1. ලක්ෂ්මී බායි
ලක්ෂ්මී බායි ගැන අපි මීට පෙරත් ඇතැම් ලිපි වලදී කථා කළා. අපේ පරම්පරාවට ඇය ගැන තරමක් දුරට හෝ මතකයක් තියෙන්නෙ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වුණු එක්තරා ගීතයක් නිසා. “පිට දීපදේශ ජයගත්තා ආදී සිංහලුන්” නම් වූ ඒ ගීතය ඉතාමත් උද්යෝගිමත්ව ගායනා කරන මහළු කාන්තාවක් විදිහට ඇයව අපේ මතකයේ රැඳුනා. නමුත් ඇය ටවර් හෝල් යුගය තුළ සිටි සුපිරි තරුව විදිහට හඳුන්වන්න පුළුවන්. එක්දහස් නවසිය හතළිස් ගණන් තරම් ඈත අතීතයේ දී ඇය මසකට රුපියල් 500ක මුදලක් දීමනාව විදිහට ලබා ගත්තා. ඒ වගේම ඇය එනකල් ජනතාව රොද බඳිමින් බලා සිටියා.
ටවර් යුගයේ ලක්ෂණයක් වුණේ ඇතැම් අවස්ථාවල කාන්තා චරිත පිරිමින් විසිනුත් පිරිමි චරිත කාන්තාවන් විසිනුත් රඟපාන එක. ‘සිවම්මා ධනපාල’ නාට්‍යයේ ලක්ෂ්මී බායි සිවම්මාගේ චරිතයත් ඇතැම් අවස්ථාවල ධනපාලගේ චරිතයත් රඟපෑවා. ඒ වගේම ‘රෝහිණී’ නාට්‍යයේ ඇතැම් අවස්ථාවල රෝහිණී ගේ චරිතයත් ඇතැම් අවස්ථාවල අතුල සෙනෙවිගේ චරිතයත් රඟපෑවා.
ලක්ෂ්මී බායි කියන නම වේදිකාවට පමණක් භාවිතා කරපු ඇගේ මුල් නම වන්නේ කදීජා. ඇය මැලේ ජාතික කාන්තාවක්.
2. ඇනී බොතේජු
ජෝන් ද සිල්වා මහතාගේ රාමායණය නාට්‍යයේ සීතා දේවියගේ චරිතය රඟපාමින් වේදිකාවට පිවිසුණු ඇනී බොතේජු සැලකෙන්නේ පළමු ටවර් හෝල් නිළිය විදිහට. එතැන් පටන් ජෝන් ද සිල්වා මහතාගේ නූර්ති ගණනාවකට රඟපෑමෙන් ඇය දායක වුණා. වෙස්සන්තර, දුටු ගැමුණු, ශ්‍රී වික්‍රම රාජසිංහ මේ අතරින් කීපයක්. ලංකාවේ අදටත් ජනප්‍රිය “ලෝනා මුනි රාජාගේ” ගීතයේ මුල්ම හිමිකාරිය වන්නේ ද ඇයයි. ඇයට ද ඇතැම් අවස්ථාවල පිරිමි චරිත පවා නිරූපණය කිරීමට සිදු වුණා. ඇයට පසුව ටවර් හෝල් වේදිකාවට පැමිණි ලක්ෂ්මි බායි සමග යම් තරගයකට මුහුණ දුන්නත්, එම යුගය තුළ තමන්ගේ ස්ථාවරය ආරක්ෂා කර ගැනීමට ඇය සමත් වුණා. නිදසුනක් ලෙස ලක්ෂ්මීට මාසයක් සඳහා රුපියල් පන්සියයක් ලැබෙද්දී ඇයට රුපියල් හයසීයක මුදලක් ලැබුණා.
3. සුසිලා ජයසිංහ
ඇතැම් අය කියන විදිහට සුසිලා ජයසිංහ තමයි ටවර් හෝල් යුගයේ නිළි රැජන. එම යුගය තුළ ජෝන් ද සිල්වා මහතාගේ නූර්ති වල රඟපෑම මගින් විශාල ජනප්‍රියත්වයක් උරුම කර ගැනීමට ඇය සමත් වුණා. පසු කලෙක ටවර්හෝල් නළුවෙකු වූ එච්. ඒ ලෝරන්ස් සමග සමඟ ඇය විවාහ වුණා. ‘රොඩී කෙල්ල’, ‘සමුද්‍ර දේවී’ වැනි ටවර් හෝල් නාට්‍ය කරළියට ගෙන එමින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කිරීමට මෙම යුවළ සමත් වුණා.
ස්වභාවයෙන් ම අතිශය නිරහංකාර තැනැත්තියක් වුණු ඇය තවත් යුගයක නිළි රැජිනක් කරළියට ගෙන ඒමට උපකාරී වුණා. වේදිකාවට පිවිසීමට බියෙන් සිටි රුක්මණී දේවියගේ ඇඳුම් සැකසීම, ඒ වගේම ඇයව වේදිකාව තුළ සහ ඉන් පිටතදීත් ආරක්ෂා කර ගැනීම සිදු කළේ සුසිලා ජයසිංහ විසින්.
4. රෙජිනා පෙරේරා
සිරිසඟබෝ, සාලිය අසෝකමාලා, පද්මාවතී වගේ නූර්ති ගණනාවක රඟපාපු රෙජිනා පෙරේරා ඇතැම් අවස්ථාවලදී අපේ කලින් සඳහන් කරපු ලක්ෂ්මී බායි, ඇනී බොතේජු, සුසිලා ජයසිංහ යන තිදෙනාම ජනප්‍රියත්වයෙන් අභිබවා ගියා. ඒකට එක හේතුවක් වුණේ ඇගේ කටහඬ. මේ නිසාම ඇය ඇතැම් අවස්ථාවලදී සිංහල භාෂාවෙන් පමණක් නොව ගුජරාටි සහ බෙංගාලි වැනි භාෂාවලින් ද ගීත ගායනා කළා. නමුත් අවාසනාවකට වගේ ගුවන් විදුලිය තුළ ඇගේ ගීත ගායනා ගබඩා වී තිබුණත් දැන් ඒවා අපිට ඇහෙන්නට ලැබෙන්නේ නෑ.
5. විමලා කාන්තා
ටවර් හෝල් යුගය විචිත්‍රවත් කරපු විමලා කාන්තා විවාහ වුණෙත් ටවර් හෝල් යුගයේ ම සුප්‍රකට නළුවෙක් වුණු ධර්මදාස පෙරේරා සමඟ. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාටත් වඩා පසු කාලයක ලංකාවේ ජනප්‍රිය වුණු දරුවෙකු ලැබුණා. ඇය තමයි සුජාතා අත්තනායක. සුජාතා අත්තනායකට මේ කටහඬ උරුම වුණේ ඇගේ මවගෙන් කියලා බොහෝ දෙනා පිළිගන්නවා. මොකද ටවර් හෝල් යුගය තුළ අතිශයින් සුන්දර කටහඬක් හිමි ගායිකාවක් විදිහට විමලා කාන්තා ප්‍රේක්ෂක ජනතාව අතරේ අතිමහත් අති මහත් ජනප්‍රියත්වයක් ලබලා තිබ්බා. දරුවන් පස් දෙනෙකුගේ මවක් වුණු විමලා කාන්තා ඔවුන් සියල්ලන් ම පාහේ කලාවට යොමු කළා.
6. දේවි සකුන්තලා
දේවි සකුන්තලා ව අපේ පරම්පරාවට මතකයි. හැබැයි ඒ ටවර්හෝල් නිළියක් විදිහට නම් නෙමේ. කෝපි කඩේ මාලා නාටකයේ සුවඳා ගේ මවගේ චරිතය රඟපෑ නිළිය විදිහට. ඇය ටවර් හෝල් වේදිකාවට පිවිසෙන්නේ අත දරුවෙක් විදිහට. ඒ තමන්ගේ වැඩිමහල් සොහොයුරිය වූ ලක්ෂ්මී බායි සමග. දේවි සකුන්තලා කියන්නෙත් ඇය වේදිකාවට භාවිතා කරපු නම. ඇගේ මුල් නම වුණේ උම්මු සල්මා. සිරිසේන විමලවීර මහතාගෙ අම්මා නාට්‍යයෙන් ඇය තමන්ගේ රංගන ගමන ආරම්භ කරනවා. පසු කලෙක ඇය සීදේවි, පිටිසර කෙල්ල වගේ චිත්‍රපටවල රඟපාමින් සිනමාවටත් පිවිසෙනවා.
7. සරලා බායි
ටවර් හෝල් යුගයේ ප්‍රේක්ෂකයන්ව තමන්ගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිස්සු වට්ටපු කෙනෙක් හිටියා. ඒ තමයි සරලා බායි. වේදිකාව මත දීම එකිනෙකට වෙනස් ඇඳුම් කීපයක් සැණෙකින් වෙනස් කරමින් ඇය සිදු කරපු රඟපෑම් බලන්න ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී එක්රැස් වුණා. රුක්මණී දේවියට සමාන හැඩහුරුකම් වලින් යුතු වීම නිසා සරලා බායි කෙරෙහි තව තවත් ජනතා ආකර්ෂණය ලැබුණා. මේ නිසාම රුක්මණී දේවිය සහ සරලා බායි එකිනෙකා කෙරෙහි දැඩි හිතවත් කමකින් පසු වුණා. විවිධ තරාතිරම් වල තරුණයන්ගෙන් විවාහ යෝජනා පැමිණියත් සරලා බායි ජීවිතේ අවසාන කාලය දක්වා අවිවාහකව ගත කළා. එයට හේතුව ඇය සැබවින්ම කාන්තාවක් නොව තුවාන් හලාල්ඩීන් ෂෙරීෆ් නම් තරුණයෙක් වීමයි.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පල කරන්න.ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply