සොබාදහම දැකබලාගෙන සිරිපා කරුණා කරන්න කුරුවිට එරත්න පාරෙන් සිරිපා නගිමු

ලංකාවේ අපිට තියෙන සුපිරිම වන්දනා අත්දැකීමක් තමයි සිරිපා කරුණාව. බුදුරජා​ණන් වහන්සේගේ වම් සිරිපා සලකු​ණ සමනළ කන්දමුදුනේ තියෙනවා කියලා බෞද්ධ ජනතාව විශ්වාස කරනවා. ඒ අසිරිමත් සලකුණ බලන්න සමනළ කන්ද නගින එක සියවස් ග​ණනාවක් පුරා සිංහලයන් අතර බොහොම බැතිබර වන්දනා ගමනක්. වාහන නොතිබ්බ කාලේ සිරිපා නගින්න කලින් ඒකට ලකලැහැස්ති වෙලා, තමුන්ගේ ගේ දොර ඉඩකඩම්, හරක බාන පවා දූ දරුවන්ට පවරලා තමයි සිරිපා කරුණාව පටන් ගන්නේ. මොකද ඒ කාලේ අලි කොටි, වගවලසුන් පිරුණු දුෂ්කර කඳුකර පාරවල් වල පා ගමනින්මයි සම්පූර්ණ සිරිපාද ගමන කරන්න වුනේ. ඒත් දැන් අපිට වාහනයකින් අහල පහලට ගිහින් දවසකින් සිරිපා කරුණාව නිමා කරන්න හැකිවෙලා තියෙනවා. 

 

1. කුරුවිට පාරේ විශේෂත්වය 

කුරුවිට එරත්න පා​රේ තාමත් සිමෙන්ති පඩි ආදිය හදලා නැහැ. ඒ පාරෙන් ලොකු සංචාරක පිරිසක් සංචාරය කරන්නෙත් නැහැ. කඳුවැටි ගල් මුල් උඩින් පැනලා කැලේ මැදින් ගමන යන්න වෙන්නේ. අපේ මුතුන් මිත්තෝ සිරිපාද නැග්ග එදා අත්දැකීම ගන්න පුළුවන් සුපිරි​ම පාරක් තමයි කුරුවිට එරත්න පාර. පටන් ගත්ත තැනින් පැය හතර පහකින් මහගිරිදඹේ හමුවන හැටන් පාර වගේ ඒ පාරේ ගමන ලේසි නැහැ. කුරුවිට එරත්න අඩවි කන්ද උඩින් පටන් ගත්​තොත් ගමන සම්පූර්ණ කරන්න අඩු වශයෙන් පැය 12කට වැඩිය කාලයක් යනවා. ඒ සම්පූර්ණ කාලයෙන් වැඩි කොටහක් කැලේ ඇතුලෙන් තමයි අපිට යන්න වෙන්නේ. අතරමැද පාර දෙපැත්තේ කඩවල් ගොඩක් නැහැ. ඉඳහි​ට නවාතැන් පොලක්, අම්බලමක් හමු වෙනවා. 

 

2. කොහොමද ගමන සැලසුම් කරන්නේ? 

ගොඩක්ම වයසක පහේ උදවිය එක්කලා නම් මේ කුරුවිට එරත්න පාරෙන් සිරිපා ගමන අමාරුයි. මොකද කිලෝමීටර 15ක දුරක් තියෙනවා මේ ගමන. ඒ වගේම හො​ඳ මහත දෙහෙත වැඩිමනක් ඇවිදලා පුරුද්දක් නැති උදවියටත් කුරුවිට පාරෙන් සිරිපා ගමන ටිකක් අමාරු වෙයි. ගමන පාරෙ බස් එකේ යනවා නම් කුරුවිටට ගිහින් එතනින් එරත්න අඩවි කන්දට බස් එකේම ගිහින් බැහැලා, එතනින් ගමන පටන් ගන්න පුළුවන්. අඩවි කන්දට කෙලින්ම යන බස් එකක් හම්බුනොත් ටිකක් ලේසියි. මොකද අඩවි කන්ද බස් එක නවත්වන තැනින්මයි සිරිපා ගමන පටන් ගන්න තියෙන්නෙ. වාහනේක ගිහින් ආයෙම කුරුවිට එරත්නට බහිනවාට වඩා බස් එකේ ගිහින් හැටන් වලින් බහින එක ලේසියි. 

 

3. නවාතැන් 

මේ ගමනේදී අතරමග ලොකු අම්බලන් තියෙනවා. කි​ලෝමීටර 15ක් කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට නම් ටිකක් අමාරු දුරක්. දවසකට කිලෝමීටර 8ක් විතර ඇවිදලා අතරමග හම්බෙන අම්බලමක නැවතිලා උයා පිහාගෙන, කාල බීල නිදාගෙන, ඉන් පස්සේ පාන්දරම ගමන් ආරම්භ කරන එක තමයි අපේ පැරැන්නෝ ක​ළේ. ඒ කාලේ වගේම සමහර වන්දනා නඩ තාමත් ඇවිල්ලා මේ අම්බලම් වල උයා පිහා ගෙන කාලා සිරිපා කරුණාව කරනවා. ඒ අවස්ථාවෙදි අනෙක් නඩ වල උදවියත් එක්ක කෑම බීම හුවමාරු කරගෙන, විස්තර කතාකරගෙන ඒ අම්බලම්වල ගෙවන කාලය බොහොම සුන්දර එකක්. සිරිපා සමයට මේ හැම අම්බලමක් ල​ඟම පොඩි කඩයක් අනිවාර්යෙන් හැදෙනවා. ඒකෙන් අපිට ඕනි කෑම බීම තේ වතුර ඕනිනම් මිලදීගන්නත් පුළුවන්. 

 

4. සොබාදහම 

හැටන් පාරේ, රත්නපුර පාරේ තියෙන සීත ගඟුලට වඩා සුන්දර, පුළුල් සීත ගඟුලක් කුරුවිට එරත්න පාරෙදි අපිට හමු වෙනවා. අධික වැසි කාලයට මේ සීත ගඟුලෙන් එ​තෙර වෙන්නත් ටිකක් අමාරුයි. ඒ කාලෙට කේබල් එක්ක අල්ලගෙන අමාරුවෙන් තමයි සීත ගඟුලෙන් එතෙර වෙන්න ඕනි. මේ පාරේ යද්දි අතරමගදි වල් ඌරො, මීමින්නෝ වගේ සත්තු දකින්න ඉන්නවා. ඒ වගේම ගල් කුලු අස්සේ බඹරු දෙබරු වගේ සත්තුත් ඉන්නවා. සිරිපා සමයට නම් නිතරම මිනිස්සු යන එන නිසා සර්පයෝ වගේ උන් නම් හමුවෙනවා අඩුයි. විවිධ වර්ණයෙන්, සද්ද වලින් උන් ඉන්නවා කියලා පෙන්වන කුරුල්ලොත් ගොඩක් මේ කුරුවිට එරත්න පාරෙදි අපිට හමු වෙනවා. 

 

5. දුෂ්කරතා 

මේ ගමන දුරුතු උඳුවප් කාලේ යනවානම් තදබල සීතලකට රාත්‍රී කාලෙදි මූ​ණ දෙන්න වෙනවා. රෑ නවතින්​න බලාගෙන යනවා නම් බ්ලැන්කට් එකක්, සීත කබායක් අරගෙන යන එක වටිනවා. ඇවිදිනකොට නම් ඒ තරම් සීතලක් ඇ​ඟට දැනෙන්​නෙ නැහැ. ඒත් නැවතිලා අම්බලමකට වෙලා නිදාගන්න සෙට් වුනොත් ඔන්න හතර අතින් සීතල ඇවිල්ලා අපිව කරකුට්ටන් වෙන්න ගන්නවා. ඒ වගේම මේ පාරෙදි ගල් උඩින්, මුල් උඩින් නැගලා තමයි යන්න තියෙන්නේ. සෙරප්පු දාන් යනවා නම් අමතර සෙරප්පු දෙකකුත්, සපත්තු දාගෙන යනවා නම් ඒත් අමතර තවත් සපත්තු හෝ සෙරප්පු ජෝඩුවකුත් අරන් යන්නට ඕනා. ඒ විදිහට දුෂ්කර ගමනේදී කැඩුන සෙරෙප්පු සපත්තු කෑලි කැඩුනාය කියලා බැතිමතුන් මග දෙපස විසික් කරලා ඇවිල්ලා තිබුනා. ඒත් එහෙ​ම නැතුව ඒ කැඩුන දේවල් අරන් එන එක පරිසරයට හො​ඳයි. 

 

6. ආහාර සහ ජලය 

ජලය බැලූබැල්මට නම් පිරිසිදුව පතුල පේන්​න තියෙනවා දො​ළ පාරවල්වල. බොහෝවිට ඒ වතුර බොන්න පුළුවන් ඇති. ඒ වුනත් වතුර බෝතලයක් රැගෙන යන්න ඕනි. මොකද හැම තැනම දො​ළ පාරවල් නැහැ. රෑ නවතින අම්බලම්වල කට්ටිය උයාගෙන කනවා. අඩුම කුඩුම අරන් ගිහින් උයාගන්න පුළුවන්. ඒ වගේම උයාගන්න යනවා නම් ඒ උයන්න අවශ්‍ය කරන දර පොල්කටු ආදියත් රැගන යන්න ඕන. ඒ නැත්නම් සමපෝෂ, බිස්කට්, පාන් වගේ කෑම ජාති ඇරන් ගියානන් ඒවායෙන් ෂේප් වෙන්නත් පුළුවන්. පොල් රොටි, ලුණුමිරිස් සමග තේ, කෝපි ආදිය නම් අම්බලම් ගාව තියෙන කඩවල උණු උණුවේම විකු​ණන්න තියෙනවා. 

 

7. පරිසරය සහ අපි 

කොපමණ කිව්වත්, කොපමණ කැම්පේන් ක​ළත් අපේ උදවිය අම්බලම් ගාව පොලිතින් ප්ලාස්ටික් ගොඩවල් ගහලා තියෙනව කියල මෑතකදි අවාරේ ගිය කණ්ඩායමකුත් නිරීක්ෂණය කරලා තිබුනා. කන්ද උඩින් සීතලේ ගලන දොළ පාරවල් දෙපස ෂැම්පු පැකට්, සබන් කො​ළ විසුරුවලා තිබුනා. මේ කැලේ මැදින් තියෙන පාර ඒ පරිසරයට අමතර බරක්. ඒ පාර නිසි පරිදි ගල් අල්ලා නැති නිසා වතුරට දරුණු විදිහට හෝදගෙන ගිහින් තියෙනවා. ඊට අමතරව යන උදවිය කැඩුණු සෙරප්පු, යට ඇඳුම් ආදියේ ඉ​ඳලා ගෙනියන හැඳි කෝප්ප ආදිය පවා විසික් කරලා යන නිසා පාර දෙපස අපවිත්‍ර වෙලා තියෙනවා. අපි ගෙනියන යමක් වේද ඒ සියල්​ලම ආයේම මල්ලේ දාගෙන රැගෙන ඇවිල්ලා නිසි තැනකට බැහැර කරනවානම් අපිට අපෙන් පස්සේ අයටත් මේ ලස්සන පාරවල් ආරක්ෂා කරගන්න හැකි වෙනවා. 

 

8. වන්දනා භක්තිය 

මේ වන්දනා ගමන එන ඇතැම් බැතිමතුන් සතියක් විතර මස් මාලු නොකා ඉ​ඳලා හොඳ​ට පේවෙලා මේ වන්දනා ගමන එන්නේ. ඉතින් වාරේට යන කොට තමුන්ට දෙවියන් බුදුන් ගැන ඒ තරම් විශ්වාසයක් නැතත් අනික් අයගේ විශ්වාස වලට ගරු කරලා මස් මාං​ශ සහ මත්පැන්වලින් ඈත් වෙලා කරුණා කරන්න ඕනි. අරක්කු, සිගරට්, මස් මාලු කෑම බීම අපිට ගමේදි, නගරෙදි ඕනි තරම් කන්න බොන්න පුළුවන්. මේ වගේ උතුම් වන්දනා ගමනකදි වත් ඒවායින්  ඇත් වෙලා වන්දනාව සම්පුර්ණ කරගන්නට සිතට ගන්න ඕනි. මේ යන පරිසරය සුන්දර වනාන්තරයක්. ඒ වගේම සිරිපාද ගමන බැතිබර ගමනක්. ඒ කාරණා දෙකම සිහියේ තබාගෙන කරදර අඩුවෙන් සිරිපා ගමන කුරුවිට එරත්න පාරෙනුත් ගිහින් එන්න ඔයාලටත් අවස්ථාව ලැබේවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *