ලෝකේ මේ විදියේ වෙනස් වෙනස් ලිංගික නැඹුරුතාවයන් තියෙනවා කියලා දැනගෙන හිටියාද?

දැන් ලිංගිකත්වය කිව්වහම ඕනම පොඩි එකෙක් සීන් එක දන්නවනේ. ඔව්, සෙක්ස් වලට තමයි එහෙම කිව්වේ. හැබැයි එතකොට ලිංගික නැඹුරුතාවය කියන්නේ මොකකටද? ඕක සුද්දගේ බාසාවෙන් කිව්වොත් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් නැතිනං සෙක්ෂුවැලිටි. එතකොට ඕක ඇයි වැදගත් වෙන්නේ? පළවෙනියටම, ලෝකේ තමන් දන්න ලිංගික නැඹුරුතාවය විතරක් නෙවෙයි තියෙන්නේ කියලා දැනගන්න එක වැදගත්. දෙවෙනියට තමන්ගේ ලිංගික නැඹුරුතාවය ගැන ගැටළුවකින් පෙළෙන කෙනෙක්ට ඒක හරියටම මොකද්ද කියලා දැනගන්න එක ප්‍රයෝජනයක් වෙයි. මතක තියාගන්න, කෙනෙක්ගේ ලිංගික නැඹුරුතාවය සාමාන්‍යයෙන් හැමෝම දන්න ගෑණුන්ට කැමති පිරිමි, පිරිමින්ට කැමති ගෑණු කියන නැඹුරුතාවයට වඩා වෙනස් වීම හරි ඒ ගැන කතා කිරීම හරි සදාචාරයට සහ සංස්කෘතියට බුදු අම්මෝ වෙන කාරණා නෙවෙයි!

 

1. Heterosexual

හෙටෙරොසෙක්ෂුවල් කියන්නේ බහුලවම තියෙන, හැමෝම දන්න ලිංගික නැඹුරුතාවය. ඒ කියන්නේ පිරිමින්ට ලිංගිකව ආකර්ෂණය වෙන කාන්තාවන් සහ කාන්තාවන්ට ලිංගිකව ආකර්ෂණය වෙන පිරිමින්ට තියෙන්නේ මේ නැඹුරුතාවය. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයින්ට රොමෑන්ටික් විදියට සහ රාගාන්විතව බැඳෙන අය. මේ අයටම තමයි Straight කියලා කියන්නෙත්.

 

2. Gay

මේකට ඉස්සර පාවිච්චි වුනේ හෝමෝසෙක්ෂුවල් කියන නම. හැබැයි මේ වෙනකොට ඒක පහත් කොට සලකන වචනයක් කියලා තමයි සැලකෙන්නේ. අන්න ඒ නිසා තවදුරටත් හෝමෝසෙක්ෂුවල් කියන වචනේ භාවිතා නොකරන එක හොඳයි. ගේ කියලා කියන්නේ ලිංගිකව සහ රොමාන්තිකව පිරිමින්ට ආකර්ෂණය වෙන පිරිමින්ව හඳුන්වන නම. මෙතනදී තේරුම් ගන්න ඕන යම් කාරණයක් තියෙනවා. සමජාතීය ලිංගිකයින්ට ආකර්ෂණය වෙන අය හඳුන්වන්නත් සමහර වෙලාවට Gay කියන එක පාවිච්චි වෙනවා. ඒ කියන්නේ කාන්තාවන්ට ආකර්ෂණය වෙන කාන්තාවන්ව හඳුන්වන්නත් සමහර වෙලාවට Gay කියන පදය භාවිතා වෙනවා.

 

3. Lesbian

ඔව්, උඩ නිර්වචනයේ විදියට සමජාතීය ලිංගිකයින්ට ආකර්ෂණය වෙන කාන්තාවන් -ඒ කියන්නේ කාන්තාවන්ට ආකර්ෂණය වෙන කාන්තාවන්- හඳුන්වන්න Gay කියන වචනය ඇතැම් වෙලාවකට පාවිච්චි වුනත්, Lesbian කියන වචනය තමයි මේ අය හඳුන්වන්න හරියටම භාවිතා වෙන්නේ.

 

4. Bi-Sexual

 

මේකෙන් හඳුන්වන්නේ ගැහැණියක් එක්ක වුනත්, පිරිමියෙක් එක්ක වුනත් කායිකව සහ මානසිකව එකතු වෙන්න පුලුවන් ලිංගික නැඹුරුතාවයක් තියෙන ගැහැණුන් සහ පිරිමින් තමයි. ඒ කියන්නේ බයි සෙක්ෂුවල් ගැහැණියක් ආකර්ෂණය වෙන්නේ පිරිමියෙක්ට වගේම ගැහැණියකටත් වෙන්න පුලුවන්. බයි සෙක්ෂුවල් පිරිමියෙක් ගත්තත් ඒක එහෙම තමයි.

 

5. Bi-Curious

මේක ගොඩක් දෙනෙක් පටලවා ගන්න දෙයක්. බයි-කියුරියස් කියන්නේ බොහෝ දුරට තමන්ගේ සමජාතීය ලිංගයේ සාමාජිකයෙක් එක්ක ලිංගික හෝ රොමාන්තික සම්බන්ධයකට මෙතෙක් නොගිය, ඒත් ඒක උත්සාහ කරලා බලන්න කුතුහලයක් තියෙන කෙනෙක්ට. බයි-කියුරියස් කෙනෙක් එක්කෝ තමන්ට විරුද්ධ ලිංගිකයෙක් එක්ක ශාරීරික හෝ මානසික සම්බන්ධතාවයකට මේ වෙනකොට ගිහිල්ලා තියෙන්නත් පුලුවන්. එහෙම නැතිනම් තාම ඒ සම්බන්ධයෙන් උත්සාහ කරලා නැතිවෙන්නත් පුලුවන්. බයි-කියුරියස් කෙනෙක් පස්සේ මේ ලිස්ට් එකේ වෙනත් ලිංගික නැඹුරුතාවයකට යෑමටත් ඉඩක් තියෙනවා.

 

6. Pan-Sexual

මේකත් බොහොම කුතුහලය දනවන ලිංගික නැඹුරුතාවයක්. පෑන් සෙක්ෂුවල් කෙනෙක්ට තවත් කෙනෙක්ගේ ලිංගිකත්වය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ශාරීරිකව හරි මානසිකව හරි බැඳෙන්න පුලුවන්. දැන් එනවා ප්‍රශ්නයක්. ඕකම නෙවෙයිද බයි-සෙක්ෂුවල් කියන්නේ? උත්තරය නැහැ. බයි-සෙක්ෂුවල් කෙනෙක්ට තමන් ශාරීරිකව හෝ මානසිකව ආකර්ෂණය වෙන්නේ ගැහැණු කෙනෙක්ටද, පිරිමි කෙනෙක්ටද කියන එක ගැන හැඟීමක් තියෙනවා. ඒ අයට ඒ දෙකෙන් කෝක වුනත් කමක් නෑ. හැබැයි පෑන් සෙක්ෂුවල් කෙනෙක්ට අනික් කෙනාගේ ලිංගිකත්වය අදාළ වෙන්නෙම නෑ. එයා ට්‍රාන්ස් සෙක්ෂුවල් කෙනෙක් වුනත් පෑන් ලට අවුලක් නෑ.

 

7. Demi-Sexual

දැන් අපි ගොඩක් අය කියන්න කැමති දෙයක්නේ අපිට සෙක්ෂුවලි ෆීල් වෙන්නේ අපිට පණට ආදරේ කරන කෙනෙක් තමයි කියලා. හැබැයි ඉතින් ඒක සියේට සීයක්ම ඇත්තක් නෙවෙයි කියලත් අපිම දන්නවා. ඒ කියන්නේ අපි ගොඩක් දෙනෙක්ට යම් කිසි මානසික සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා කෙනෙක් එක්ක සෙක්ස් කරන්න. ඒත් ඊට වඩා දෙයක් නැහැයි කියලා අපිට අපි සමහර වෙලාවට ශාරීරිකව ආකර්ෂණය වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන්න බැරි කමක් නෑ. ඒක වැරැද්දක් නෙවෙයි, මනුස්ස සතාගේ හැටි එහෙම තමයි. හැබැයි ඩෙමි සෙක්ෂුවල් කියලා හඳුන්වන ලිංගික නැඹුරුතාවය තියෙන අයට එහෙම බෑ. ඒ අයට ඉතාමත් ගැඹුරු මානසික සම්බන්ධතාවයකින් තොරව කිසිසේත්ම ලිංගික සම්බන්ධයකට යන්න බෑ. 

 

8. Asexual

කිසිම කෙනෙක් එක්ක කිසිමාකාරයක ලිංගික හෝ රොමාන්තික ආකර්ෂණයක් නැති අය ඉන්න පුලුවන්ද? අපොයි ඉන්නවා. ආන්න ඒ අයට තමයි කියන්නේ අසෙක්ෂුවල් කියලා. මේකෙන් හැබැයි කියන්නේ ඔය ප්ලැටොනික් සම්බන්ධතා තියෙන අය ගැන නෙවෙයි. ඇතුළාන්තයෙන්ම කිසිම කෙනෙක් ගැන ලිංගික හෝ රොමාන්තික ආකර්ෂණයක් පහළ වෙන්නේ නැති අය ගැන. මෙතනින් එහාට පොඩි ආකර්ෂණයන් ඇතිවෙන්න පුලුවන් අයත් ඉන්නවා. ආන්න ඒ Asexual සහ Sexual කියන එක අතර මැද්දේ ඉන්න අයව හඳුන්වනවා Gray Asexual කියලා.

 

9. Polyamorous

මේක ලිංගික නැඹුරුතාවයක් විදියටම ගන්න බැරි වුනත්, අපි මේකත් ලිස්ට් එකට ගන්නව. පොලිමොරස් කියන එක එන්නේ පොලිගොමි කියන එකෙන්. ඒ කියන්නේ බහු-පුරුෂ හෝ බහු-ස්ත්‍රී කියන එකෙන්. ඒ නිර්වචනයේ විදියට පොලිමොරස් නැඹුරුතාවය තියෙන කෙනෙක් තෘප්තිමත් වෙන්නේ සහකරුවන් හෝ සහකාරියන් කිහිප දෙනෙක් එක්ක පවත්වන ශාරීරික හෝ/හා මානසික සම්බන්ධතා වලින්. මෙතනදී මේ අය බයි-සෙක්ෂුවල්, ගේ, ලෙස්බියන් හෝ හෙටරෝසෙක්ෂුවල් වෙන්නත්, එහෙම නැතිනම් වෙනත් ඕනෑම නැඹුරුතාවයකට අයත් වෙන්නත් පුලුවන්. හැබැයි මේ කියන්නේ අර වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි හොරෙන් කොටු පනින අය ගැන නෙවෙයි. පොලිමොරස් අයගේ සහකරුවන් සහ සහකාරියන් වුනත් මේ ගැන විවෘතයි.

 

10. Sapio-Sexual

මෙන්න මේක දැන් කාලේ ඔය කෙල්ලන්ව කොල්ලන්ව අල්ලගන්න වගේම තමන් හරි වෙනස් කියලා පෙන්නගන්නත් ගොඩක් දෙනෙක් වැරදියට පාවිච්චි කරන වචනයක්. හැබැයි මේක ඇත්තටම ජීව විද්‍යාත්මක ලිංගික නැඹුරුතාවයක් කියලා කියන්න සාධකත් නැහැ. කොටින්ම කියනවා නම්, සේපියෝසෙක්ෂුවල් කියලා අදහස් කරන්නේ බුද්ධියට සහ ඥාණවන්ත බවට ලිංගිකව ආකර්ෂණය වෙන කෙනෙක් කියන එක. තවත් සරල කරනවා නම් බුද්ධිමත් ගැහැණුන් හෝ බුද්ධිමත් පිරිමින් එක්ක ශාරීරිකව හෝ මානසිකව බැඳෙන අයව හඳුන්වන වචනයක්. මෙතනදීත් එන ප්‍රශ්නය තමයි, කොයි තරම් ඉන්ටරෙස්ටින්, ඉන්ටෙලිජන්ට් මනුස්සයෙක් එක්ක වුනත් මානසිකව හෝ විශේෂයෙන්ම ශාරීරිකව බැඳෙනකොට එතන පෙනුම හෝ ගතිගුණ හෝ වෙනත් දේවල් -ඒ කියන්නේ බුද්ධිය ඇරෙන්න වෙනත් දේවල්- බලපාන්නේ නැද්ද කියන එක. ඉතින් අපි ඒකට උත්තර දෙන්න යන්නෙ නෑ. හැබැයි කවුරුහරි ‘මම සේපියෝසෙක්ෂුවල්’ කියලා කිවුවොත් එයා ඔය වචනේ නිකම්ම කියලා දානවද නැතිනම් තේරුමක් එක්ක කියනවද කියලා දැනගන්නත් අපි වචනේ තේරුම දැනගෙන ඉන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *