රට හදන තැන ගුටි කෙළි – ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇතිවුණු සටන් සහ ගැටුම්!

ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ හරිම ආදර්ශවත් තැනක්නේ ඉතින්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැදියාව කොච්චරද කියනවා නම්, ගොඩක් අවස්ථාවල මහජන ගැලරියේ ඉන්න පාසල් දරුවන් ඉවත් කරන්නත් කතානායකවරුන්ට සිද්ධ වුණ අවස්ථා බොහොමයි. ඒ සභාව ඇතුළේ උණුසුම් තත්ත්ව ඇතිවීම නිසා. සමහර අවස්ථාවලදී උණුසුම් කතාබහ උණුසුම් ගුටිකෙළි බවට පරිවර්තනය වුණු අවස්ථා තියෙනවා. Lifie මේ සටහන ඒ වගේ ගුටිකෙළි සිද්ධ වුණු අවස්ථා කීපයක් ගැන. 

 

1. පිලිප්, රොබට් සොහොයුරෝ සහ පොන්නම්බලම් 

රාජ්‍ය මන්ත්‍රණ සභා කාලේ ජී. ජී පොන්නම්බලම් සහ පිලිප් ගුණවර්ධන මහතා අතර උණුසුම් විවාදයක් ඇතිවුණා. ඒ ලංකාවට නිදහස ලබාදීම ප්‍රමාද කළ යුතුයි කියලා පොන්නම්බලම් යටත් විජිත භාර ලේකම් වරයාට යවපු සන්දේශයක් ගැන. ඒ අවස්ථාවේ දී පිලිප් ගුණවර්ධන මහත්මයා පොන්නම්බලම්ට මේ කළ දේට තැලිය යුතුයි කියලා ප්‍රකාශයක් කළා.

තේ විවේකයේදී පිලිප්ව මු​ණගැහුණු පොන්නම්බලම්, “පුළුවන්නම් ගහලා බලමු” කියලා අභියෝගයක් කළා. ඒ අවස්ථාවේදී පොන්නම්බලම් පහර කෑමට ලක් වුණත් අනෙක් මන්ත්‍රීවරුන් මැදිහත් වෙලා මේ ගැටුම සංසි​ඳෙව්වා.

මේ ගැටුම ගැන ඒ  අවස්ථාවේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ආපු පිලිප් ගුණවර්ධනගේ සොහොයුරා වූ රොබට් ගුණවර්ධනට දැනගන්න ලැබුණා. ඔහු නැවතත් පොන්නම්බලම්ට අභියෝග කළා. මන්ත්‍රණ සභාව අවසන් වීමෙන් පස්සේ රොබට් සහ පොන්නම්බලම් අතර නැවතත් ගැටුමක් ඇතිවුණා. මන්ත්‍රණ සභාවට පිටින් ආපු පුද්ගලයෙක් (එතකොට රොබට් ගුණවර්ධන මන්ත්‍රීවරයෙක් නෙමෙයි) පොන්නම්බලම් ට පහර දෙනවා කියලා ආරංචි වුණු ජෝන් කොතලාවල මේ ගැටුමට මැදිහත් වෙලා, රොබට්ට පහර දෙන්න පටන් ගත්තා.

අවසානයේ දී මේ ගැටුම සංසිඳවන්න කටයුතු කළේ ඩී. එස් සේනානායකයි.

මේ ලංකාවේ ව්‍යවස්ථාදායකය තුළ ඇති වුණු පළවෙනි ගුටි කෙළිය විදිහට ඉතිහාසගත වෙනවා.

 

2. සර් නොකීම නිසා සර් ජෝන් ගෙන් ගුටි කෑ මන්ත්‍රීවරයා 

1956 වර්ෂයේ මහ මැතිවරණය ලංකාවේ තීරණාත්මක මැතිවරණයක්. නවක මුහුණු ගණනාවක් මේ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ආවා. එවකට තැපැල් ඇමතිවරයා වෙලා හිටපු කලීල්ව පරාජය කරලා මැද කොළඹ මන්ත්‍රීවරයා විදියට පත්වෙන්න වෘත්තියෙන් තැපැල් පියුන් කෙනෙක් වුණු එම්. එස් තේමිස් සමත් වුණා. දවසක් මේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කොරිඩෝවක් දිගේ එද්දි හිටපු අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලව හමු වුණා. මේ මන්ත්‍රීවරයා “හලෝ ජෝන්!” කියලා එතුමාව ඇමතුවා. තමන්ට තමන්ගේ නමින් විතරක් ආමන්ත්‍රණය කරපු මේ පඟරනැට්ටා කවුද කියලා අහපු ජෝන් කොතලාවල, තේමිස්ව බිත්තියකට හේත්තු කරලා පහර දුන්නා.

 

3. ඩඩ්ලිට වැරදිලා ඇහුණු දේ

බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වුණු විවාදයක් අවස්ථාවකදී මෛත්‍රීපාල සේනානායක කතාවක් පවත්වමින් හිටියා. ඒ අවස්ථාවේ දී ඔහු “Who?” කියලා කරපු සඳහන ඩඩ්ලි සේනානායකට ඇහෙන්නේ “You” කියලා. බණ්ඩාරනායක ඝාතනයට වරදකරු තමන්ය කියලා මෛත්‍රිපාල සේනානායක ප්‍රකාශ කළා කියලා හිතපු ඩඩ්ලි සේනානායක දැඩි ලෙස කෝපයට පත්වෙලා, ඔහුට පහර දෙන්න උත්සාහ කළා. නමුත් අවට සිටි මන්ත්‍රීවරුන් ඩඩ්ලි සේනානායකට සිදුවුණු දේ පැහැදිලි කරලා ඔහුව වැළැක්වූවා. තමන්ට සිදුවුණු වැරැද්​ද තේරුම් ගත්ත ඩඩ්ලි සේනානායක, ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේනට වගේම පාර්ලිමේන්තුවටත් තමන්ගේ කණගාටුව ප්‍රකාශ කළා.

 

4. කරුණාරත්න කුලය නිසා අකාරුණික බවට පත් කර ගැනීම 

අශෝක කරුණාරත්න මුලින්ම මැති සබයට පත්වෙන්නේ පත්කරපු මන්ත්‍රී කෙනෙක් විදිහට. ඒකට එක හේතුවක් වුණේ එතුමා පහත් යයි සම්මත කුලයක ට අයත් කෙනෙක් වීම. මේ නිසා ඒ කුලයේ අයගේ නියෝජනය වෙනුවෙන් එතුමාව මුල් අවස්ථාවේ පාර්ලිමේන්තුවට පත් කරලා තිබ්බා. නමුත් ඉන් පසුව එතුමා​ට තමන්ගේ ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වුණා. එක්තරා අවස්ථාවක දී එතුමා කතාවක් පවත්වමින් සිටියදී වලපනේ මන්ත්‍රීවරයාව සිටි ටී. එම්. බී හේරත්,  කරුණාරත්නගේ කුලය ගැන සම්බන්ධ කරමින් යම් උපහාසයක් එල්ල කරා. පාර්ලිමේන්තු​ව අවසන් වන තුරු ඉවසීමෙන් බලා හිටපු කරුණාරත්න, හේරත්ට එළව එළවා පහර දුන්නා.

 

5. එකම පැත්තේ වලිය 

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ඉතිහාස​යේ බොහෝ අවස්ථාවල ගැටුම් ඇති වෙලා තියෙන්නේ විපක්ෂය සහ ආණ්ඩු පක්ෂ අතර. නමුත් එක්තරා අවස්ථාවක ආණ්ඩු පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර පොඩි ගුටිබැට හුවමාරුවක් සිද්ධ වුණා. ඒ ඩබ්ලිව්. පී. ජේ ආරියදාස සහ එස්. කේ. කේ සූරියාරච්චි මන්ත්‍රීවරුන් දෙදෙනා අතරේ. ඒ දෙදෙනාම ඒ පාර්ලිමේන්තු කාලය තුළ ම අමාත්‍ය තනතුරු දරපු දෙදෙනෙක්. (වාමාංශික මන්ත්‍රීවරු රජයෙන් ඉවත් වීමත් සමග). ඒ අවස්ථාවේදී මින් එක් මන්ත්‍රීවරයෙක් බීමතින් සිටි බවටත් පුවත්පත් වාර්තා පළ වුණා. මේ ගැටුමට හේතුව වාර්තා නොවන නිසා, පෞද්ගලික ආරවුලක් මීට හේතු වෙන්න ඇති කියලා අනුමාන කරන්න පුළුවන්. කොහොම හරි මේ ගැටුම බේරන්න ගිය ශීවා ඔබේසේකර මහත්මියටත් පහරවල් කීපයක් වැදුන කියලා සඳහන් වෙනවා.

 

6. වාසු සහ ලොකු​​ගේ 

අද වෙනකොට වාසුදේව නානායක්කාර සහ ගාමිණී ලොකුගේ නියෝජනය කරන්නේ එකම දේශපාලන පක්ෂය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. නමුත් 1980 ගණන්වල වාසුදේව නානායක්කාර සහ ගාමිණි ලොකුගේ හිටියේ දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක. ඒ කාලේ වි​පක්ෂයේ හිටපු වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කඩාකප්පල් කරන්න සෙංකෝලය රැගෙන දුවන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේදී ඊට මැදිහත් වුණු ගාමිණී ලොකුගේ වාසුදේවව බිම දාගෙන පහර දුන්නා. ටික වෙලාවකින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් විපක්ෂයේ මන්ත්‍රීවරුන්​ට එළව එළවා පහර දෙන්න පටන් ගත්තා.

අද වෙන කොට එදා සෙංකෝලය උස්සගෙන යන්න උත්සාහ කරපු වාසුදේව නානායක්කාරගේ නම කතානායක තනතුරටත් යෝජනා කරල තියනවා. කාලය මැව් වෙනසක අරුමේ තමයි ඉතින්.

 

7. මර්වින් සිල්වාගේ වීරවික්‍රම 

ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට ගිය භික්ෂූන් වහන්සේලා එක්සත් ජනතා නිදහස් සන්ධානයට කතානායක ධූරය හිමිවීම වැළැක්වීමට ක්‍රියා කිරීම ගැන එම පක්ෂයේ මන්ත්‍රීවරු දැඩි කෝපයෙන් පසුවුණා. ඒ අතරතුර ජාතික හෙළ උරුමයේ භික්ෂුන් වහන්සේ නමක් ඉල්ලා අස්වීමෙන් ඇතිවුණු පුරප්පාඩුවට අක්මීමන දයාරතන හිමියන් දිවුරුම් දීමට නියමිතව සිටියා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ දිවුරුම් දීමට පැමිණි මාර්ගය හරස් කර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් උන්වහන්සේට සහ කොලොන්නාවේ සුමංගල හිමියන්ට පහර දෙනු ලැබුවා. ඒ සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළේ මර්වින් සිල්වා. මේ නිසා ඇති වූ තුවාල හේතුවෙන් කොලොන්නාවේ සහ අක්මීමන හිමිවරුන්ට ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදු වුණා.

 

මේ ගුටි කෙළි වලට අමතරව ඉතා මෑතකදී, ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ අවසාන භාගයේදීත් පාර්ලිමේන්තුව තුළ දින කීපයක් ගුටිකෙලි ඇති වුණා. ඒ ගැන හැමෝටම වගේ මතක නිසා අපි ඒ ගැන නම් සඳහන් කරන්න යන්නේ නෑ. එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *