දරුවන් උස්මහත් වෙනකොට ඒ අය වෙනුවෙන් උපන් දා සිට ඔබ විඳි දුක් කරදරවලින් ඔබ ඈත් වෙනවා කියලා හිතන්න පුළුවන්. ඒත් සමහරවිට දරුවාට ඔබව ඕනිම කාලෙත් ඒක වෙන්න පුළුවන්. අවුරුදු විසි ගණන් කියන්නේ හරිම සංක්‍රාන්ති කාලයක්. ඔළුවට සෑහෙන දේවල් එනවා. දරුවන් ගැන හරි පරිස්සමින් ඉන්න ඕනි. මේ ඒ දරුවන් ඔබට නොකියනා දේවල්.
1. රැකියාව ගැන ඇති බිය
අම්මගෙන් තාත්තගෙන් කාලා ඇඳලා හිටි කාලේ ඉවර වේගෙන එන බවත්, දැන් තමන් හම්බ කරලා අම්මට තාත්තට සලකන්න ඕනි කාලේ බවත් මේ ඔළුවලට එනවා. රැකියාවක් හොයාගන්න එක මානසික වදයක් ලංකාවේ නම්. උගත් බුද්ධිමත් අයට සරිලන රැකියා වෙළඳපොළක් සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ දේවල් ගැන ඔබට නොකිව්වට ළමයි හිතනවා. මෙහෙම දිගින් දිගට ම හිතන්න ගියාම ඒවා විශාදය වගේ රෝගී තත්ත්වයන් දක්වා දිවෙන්න පුළුවන්. ඒ නිසා ළමයි ලොකුයි කියලා අතාරින්නැතුව වෘත්තීය ජීවිතේටත් සහයෝගයක් දෙන්න ඕනි. එකට එකතු වෙලා පවුලක් විදියට අපට මේක කරන්න හැකි බව ඔවුන්ට දනවන්න ඕනි.
2. විවාහය
සමහරවිට ඔවුන්ට විවාහ වීමේ කිසිම අවශ්‍යතාවක් නැති වෙන්න පුළුවන්. ඒත් ලංකාවේ අපිට තනිව ස්වාධීනව ජීවත් වීමේ ඉඩ අඩුයි. අපි බැඳීම්වලින් බැඳිලා. හැමදේට ම වඩා තමන් තනිකඩව හිටියොත් සමාජයෙන් දෙමව්පියන්ට කතා අහගන්න සිද්ධ වෙයි කියන අහිංසක බය ඔවුන්ට තියෙනවා. නෑදෑ හමුවීමක වුණත් අනෙක් අය තමන්ගේ ළමයගේ විවාහය සම්බන්ධයෙන් කතා කරනකොට ඔවුන්ගේ හැඟීම් ගැන හොඳ අවධානයක් දෙන්න. ඒ වගේ ම විවාහ වීමේ ආසාවකින් ඉන්න අයත් ඉන්නවා. ඒත් හරිහමන් ප්‍රේමයක් නැති. සමවයස් යාළුවන් ආදරය ලබනකොට ඔවුන්ට තනිකමක් දැනෙන්න පුළුවන්. මේ දේවල් අම්මලා එක්ක කියන්න සමහර දරුවෝ ලැජ්ජයි.
3. තනිකම
මේ කියන්නේ ප්‍රේමය නොලබා ලබන තනිකම ම නෙවෙයි. අවුරුදු විසි ගණන් කියන්නේ මිනිස්සුන්ගේ තියෙන කැත ස්වරූපය අවබෝධ කරවන කාලේ. ඔබේ දරුවා ඇහේ මූණේ තියාගෙන විශ්වාස කරපු යාළුවෝ ඔහුව අතෑරලා දාලා යන තැන් තියනවා. මහා ලොකු විදියට ඔවුන් එතකොට අසරණ වෙනවා. තවදුරටත් අපි ළමයි නෙවෙයි කියලා ඉවසා වදාරන් ඉන්න උත්සාහ කරත් හිත යටින් ඒ දේ ගැන නොහිතා ඉන්න ඔවුන්ට බැරි වෙනවා. මේ මානසික කඩා වැටීම සහ තනිකම හැම දේට ම බලපාන්න පුළුවන්. කවදාවත් ඒ තනිකම ඔබලාගෙන් හංගන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා.
4. අනිද්‍රාව
එහෙමත් නැත්නම් නිදාගන්න බැරිකම. විවිධාකාරයේ හේතු නිසා රෑට දරුවට නින්ද නොයන්න පුළුවන්. ඒක ඔහුට සෑහෙන ලොකු මානසික වදයක්. රෑ එළි වෙනකන් නින්දට යන්නැති ඔබේ පුතා හෝ දුවගෙන් ඒ ගැන ඇහුවම මොකක් හරි වැඩක් කරන බව කියන්න පුළුවන්. නමුත් ඇත්තට ම ඔවුන් කරනවා ඇත්තේ රෑ එළි වෙනකන් ම කාමරේ සිවිලිමේ කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන ඉන්න එක. මේ සඳහා විවිධ ප්‍රතිකාර පවා තියනවා. ළමුන් සමඟ සමීප වීම ම එක්තරා ප්‍රතිකාරයක්.
5. අන්තරාවර්තී බව
දන්න සිංහලෙන් කිව්වොතින් ඉන්ට්‍රොවර්ට් කෙනෙක් වීම. ඉස්සර යාළුවො දුසිම් ගණන් හිටපු, ඕනෑ ම දේකට බය නැතිව ඉදිරිපත් වුණ ඔබේ දුව පුතා දැන් කාමරෙන් එළියට බහින්නේ නෑ. ඒ මේ අන්තරාවර්තී බව නිසා. ලෝකයේ තියෙන සත්‍ය තත්ත්වයන් වයසත් එක්ක ඔවුන් තේරුම් ගනිද්දී මේ කුලෑටි ස්වාභාවය ඇති වෙනවා. ලෝකයත් එක්ක එකට මුහු වෙන එක එතකොට ඔවුන්ට පේන්න යන්නේ එක්තරා වේදනාවක් විදියට. සමහරු මේක ළමයින්ගේ බකපණ්ඩිතකම හැටියට වැරදියට දකිනවා. නමුත් ඔහුට ඇයට කියාගන්න බැරි දෙයක් ඒක.
6. විශ්වාසයන් කඩවීමේ පසුතැවීම
අපි ආදරය සහ අවධානය දෙන්නේ පොඩි ළමයින්ට විතරයි. ක්‍රමයෙන් ලොකු වෙද්දී අපිට අමතක වෙනවා මේ ලොකු වෙන්නෙත් කාලයක් පොඩි උන් වෙලා හිටපු අය නේද කියලා. සමහරුන්ගේ ජීවිතවල මුළු ජීවිත කාලෙම ඒ ළමයා ජීවත් වෙනවා. ඒ නිසා ආගන්තුකයන්ගෙන් පවා ආදරයක්, මනුස්සකමක්, මිත්‍රශීලී ගතියක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඔය විසි ගණන්වල දී ඒක එහෙම නෑ කියලා හිතුණම ඒ පසුතැවිල්ල හරි භයානක වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මිනිස්සුන්ගේ හොඳ කෙරෙහි විතරක් විශ්වාස කරපු දරුවෙක් කැම්පස් ගිහින් මිනිස්සුන්ගේ තියෙන කුහකකම් දැකලා හිත නරක් කරගන්නවා වගේ.
7. ජීවිතය තොර කරගැනීම පිළිබඳ ආසාව
විෂාදය වගේ දේවල් ඇත්තට ම තියන ලෙඩ තමයි. ඒවා සුව කළ හැකියි. හැබැයි ඉන්ටර්නෙට් කල්චර් එකක දුවන ඔබේ දුවට පුතාට නිතර දෙවේලේ පේන්නේ මේ වයසට වෙන දේවල් උත්කර්ෂයට නගන දේවල් විතරයි. උදාහරණයක් විදියට ඉන්ටර්නෙට් එකේ සියදිවි නැසුම ගැන ආසා හිතෙන විදියේ මීම්ස් තියෙන්න පුළුවන්. එතකොට එහෙම හැඟීමක් ඇබ්බැහියක් වෙනවා. එතනින් ඔහුව ඇයව මුදවාගන්න අමාරු වෙනවා. මරණයට වුණත් වීරත්වයක් තිබිය යුතු බව ළමුන්ට පොඩි කාලේ ඉඳන් කියා දෙන්න ඕනි ඒකයි. ජීවිතයෙන් පලා යෑම ජයග්‍රහණයක් සැනසිල්ලක් නෙවෙයි කියලා එයාලා නැත්තන් දැනගන්නෑ.
Leave a Reply