මිනිස්සු බිත්තරෙන් ඉපදුනා නම් පත්තරවල දකින්න ලැබෙන කතාන්දර

මනුස්ස පැටවු මෙලොව බිහිවෙන්නේ මවට බොහොම වේදනාකාරී විදිහකට. ඒ නිසාම දැන් සිසේරියන් සැත්කම් ක්‍රමයට දරුවන් එලියට ගැනීමත් වැඩිවෙලා. ඇත්තටම මිනිස්සුත් බිත්තරයෙන් බිහි වුනානම් ​කොහොමට තියෙයිද? අපි මේ ගැන පර්යේෂ​ණ කරන්න නම් ගියේ නැහැ. ඒත් බිත්තරයෙන් බිහි වුනොත් අපේ නිවුස් චැනල් වල නිවුස් ​වල මොනා කියයිද කියලා අපි පොඩි සටහනක් යොදන්න ඕනි කියලා හිතුවා. මේ තියෙන්නේ බිත්තරෙන් බිහි වුනානම් අපේ නිවුස් චැනල් වල යන්න පුළුවන් සිදුවීම් කිහිපයක්. 

 

1. බිත්තර රැකීම පසෙකලා බොන්න ගිහින් 

බිත්තරයක් රැකීමට පැවරුණු බේබදු සැමියෙක් බිත්තර රැකීම පසෙකලා කසිප්පු බොන්න ගිහින් කියලා වාර්තා වෙලා තියෙනවා. බිරිය වැඩට යන නිසා සැමියා බිත්තරය රකින්න බාර අරගෙන තියෙනවා. ඉන් පස්සේ යාලුවෙක්ගෙන් කෝල් එකක් ඇවිත් සැමියාට බොන්න එන්න කියලා. බිත්තරය රකින්න තියනවා කිව්වත් විනාඩියකට එන්න කියලා තමයි යාලුවෝ කියලා තියෙන්නේ. ඒත් එයාට බොන්න ගියාම බිත්තරේ අමතක වෙලා. බිත්තරේ රැකීම අමතක කරලා බීලා ගෙදර ආපු සැමියාට ආයෙ බිත්තරය රකින්න මතක් වෙද්දි බිරිය රැක්කෙ නැති බිත්තරයත් අරන් පොලිසියටත් ගිහින්. 

 

2. බිත්තර බෙදාගන්න බැරිව තවත් ගැටුමක් අරණායකින් 

අරණායක පළාතේ බිත්තරයකට ලොකු රණ්ඩුවක් ගිහින්. බිත්තරය දැම්ම ගෑණු කෙනා නෙමෙයි බිත්තරය රැකලා තියෙන්නේ. බිත්තරය දැම්ම අම්මාට වෙනත් වැඩක් තිබුන නිසා වෙනත් කාන්තාවකට බිත්තරය රකින්න පවරලා. දැන් බිත්තරය රකින්න නියම වුණු කාන්තාව මාස කිහිපයක් බිත්තරය රැක්ක නිසා දැම්මේ කවුරු වුනත් බිත්තරය රැක්ක නිසා මගේ කියලා අයිතිවාසිකම් කියන්නට අරගෙන. මාරුවෙන් මාරුවට බිත්තරය රකින්න නියමවෙන විට බිත්තරය හිමි කාන්තාවගේ සැමියා සමග අනියම් සම්බන්ධතාවයකුත් මේ බිත්තරය රකින කාන්තාව ගෙනගියා කියලා තමයි වැඩිදුරටත් ආරංචි වෙන්නේ. 

 

3. බිත්තර සෙල්ෆි සංස්කෘතියට තර්ජනයක් 

බිත්තරය මනුස්ස ගෑණියගෙන්  එලියට එන අවස්ථාවේ බිත්තර සෙල්ෆි ගැනීම ගැන පූජ්‍ය අංකොටුවේ ජෝසෆ් හිමියන් සිය කණගාටුව ප​ළකරලා තියෙනවා. වසර 2500ක් තිස්සේ කාටත් හොර රහසේ බිත්තර දැම්ම තැන ලෝකයටම පෙන්න පෙන්නා සෙල්ෆි ගන්න තත්ත්වයට අද සමාජය පත්වෙලා කියලා උන් වහන්සේ කියලා තියෙනවා. මේ අතර බිත්තර සෙල්ෆි ගන්නට යෑමෙන් බිත්තරයට හානි වුන අවස්ථාවනුත් පසුගිය කාලේ වාර්තා වුනා. බිත්තර සෙල්ෆි ගැනීමේ වරදක් නැතත්, එයින් බිත්තරයට හානියක් සිදු නොවෙන්න වගබලාගන්න ඕනි කියලා බිත්තර ගැබ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශයක් නිකුත් කරලා තිබුනා. 

 

4. බිත්තර දාන්නත් ගෙනියන්නත් දැන් පොදු ප්‍රවාහනයේදී පුළුවන්

මෙතෙක් කල් බිත්තර දාන කාන්තාවන් සහ බිත්තර එහෙ මෙහෙ ගෙනයන අයට කාර් රියක් තිබෙන්නට ඕනි වුනා. කාර් එකක් නැත්නම් බිත්තර දාන එක ගැන හිතන්න බැහැ කියලා යෞවන ව​යසේ ගෑණු ළමයි අතරත් මතයක් තියෙනවා. දැන් පොදු ප්‍රවහන බස් රියවල බිත්තර දාන්න වගේම බිත්තර ගෙනියන්නත් අවස්ථාව කාන්තාවන්ට ලබා දීලා තියෙනවා. ළ​ඟදී මැතිවරණ පොරොන්දුවක් දුන්න අලුත් ජනාධිපති අපේක්ෂක තුමෙක් බිත්තර රැගෙන යන සෑම කාන්තාවකටම ඒ ස​ඳහා මල්ලක් නොමිලේම සපයන්න තීරණය කරලා තියෙනවා. 

 

5. බිත්තරයක් කැඩීමෙන් පුංචි යුද්ධයක් 

බිත්තරයක් කැඩී නව දරුවෙක් බිහිවීම කියන්නේ අසිරිමත් සිදුවීමක්. ඒත් පරම්පරාවෙන්ම සුදු පැහැති සම ඇති දෙමාපිය යුවලකට නිවසේ මෙහෙකරුගේ කළුවන් පැහැය ගත් අපූරු බිත්තර කැඩීමක් පිළිබ​ඳ වාර්තා වෙලා තියෙනවා. ඒ බිත්තරය රැකීමට මෙහෙකරුද උනන්දුවෙන් දායක වී ඇති නිසා මෙහෙකරුගේ සමේ පැහැය බිත්තරය තුල සිටි මනුෂ්‍ය දරුවාට එන්නට ඇති බව වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් බිත්තරය අයිති මව කියා තිබුනා. කෙසේ වෙතත් බිත්තරය කැඩුන දිනයේ නිවෙස තුල ඇතිවූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් නිවසේ මෙහෙකරු බිත්තර කටුද රැගෙන පලාගොස් තිබෙනවා. 

 

6. මනුෂ්‍ය බිත්තර ජාවාරමක් හෙළිවේ 

මෙරට මනුෂ්‍ය බිත්තර තොගයක් හොර රහසේම වෙනත් රටකට යැවීමට උත්සාහ කිරීමේ ජාවාරමක් හෙළි වී තිබේ. බිත්තරයක් රුපියල් ලක්​ෂ හතරහමාර බැගින් මිලදී ගෙන ඇති අතර ඒවා නැවත මිලියන ග​ණනින් අලවි කිරීමට ජාවාරම්කරුවෝ උත්සාහ කර තියෙනවා. බිත්තර ජාවාරම ස​ඳහා ගැහැණුන් සහ පිරිමින් පොළඹවාගැනීම කලක පටන් සිදුවූ සිදුවීමක් වන අතර ජාත්‍යන්තර බිත්තර ජාවාරම් ගැන විදෙස් තොරතුරු ඔස්සේ මනුස්ස බිත්තර ජාවාරමේ කොළඹ සම්බන්ධය සොයාගන්නට පොලිසිය සමත් වී තියෙනවා. 

 

7. නැකතට බිත්තරය කැඩීම ජෝති​ෂයට අනුකූලද?

බිත්තරයෙන් එලියට එන වෙලාව අනුව නැකැත් ආදිය සැකසීම සිදු වෙනවා. ඒ නිසා කලින් බිත්තරය කැඩීම හෝ නැකතට බිත්තර කැඩීම දැන් රටේ ලොකු තැන් වල පවා සිද්දවෙන දෙයක්. නිසි පරිදි ස්වාභාවිකව බිත්තරය නොකැඩී එලෙස කලින් බිත්තර කැඩීම ජෝති​ෂයට අනුකූල වුවත් බිත්තරයේ සිටින දරුවාට එයින් හානි වෙන්නට පුළුවන් බව සමස්ථ ලංකා බිත්තර වෛද්‍ය සංගමය අදහස් ප්‍රකා​ශ කරලා තියෙනවා. ඒත් ජෝතිෂකරුවන් නම් ඒ ගැන තවමත් අදහසක් ප්‍රකාශකර නැති අතර ඊළ​ඟ සෙනසුරු මාරුවෙන් පසු ඔවුන් ඒ බිත්තර ගැන සිය අදහස කියන්නට බලාපොරොත්තු වෙන බව කියලා තියෙනවා. 

 

බිත්තරයෙන් මිනිස්සු බිහි වුනානම් හො​ඳයිද නරකයිද කියන එක විද්‍යාඥයින්ගේ වැඩක්. ඒත් සාමාන්‍ය මනුස්ස දරුවෙකු බිහිවෙද්දි තියෙන ඇතැම් දේවල් බිත්තරයෙන් බිහිවුනා කියලා නැතිවෙන එකක් නැහැ. උදාහරණ විදිහට අපි නැකැත් බැලීම, කේන්දර හැදීම ආදිය බිත්​තර තිබුන නම් ඒකාලෙදිත් මේ විදිහටම තියේවි. කොහොම වුනත් බරපතල ප්‍රශ්​න ගොඩක ඉන්න වෙලාවක මේ වගේ බුද්ධිමත් දේවල් හිතා බලන එකත් මොළයට හො​ඳ ව්‍යායාමයක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *