අද වෙනකොට නිළියක් වෙනවයි කියන එක හරිම පහසු දෙයක් වෙලා තියෙනවා. නමුත් සිංහල සිනමාවේ ආරම්භක අවධියේ නම් ඒක එතරම් පහසු දෙයක් වුණේ නෑ. විශේෂයෙන්ම ඒ කාලේ කාන්තාවන්ට රංගනයට පිවිසීම නුසුදුසු දෙයක් විදිහටයි සැලකුණේ. මේ මතය වෙනස් කරන්න මුල් වුණේ රුක්මණී දේවිය. ඇය කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රඟපෑමත් එක්ක සමාජය යම්තාක් දුරකට නිළියන් කෙරෙහි සාධනීය විදිහට බලන්න ගත්තා. හැබැයි ඒ සීයට සීයක් ම නෙමෙයි.
අද අපි කතා කරන්න යන්නේ ඒ කාලේ සිනමාවේ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න සමත් වෙච්ච පෙම්වතියගේ චරිතය රඟපාපු කීපදෙනෙක් ගැන. මේ ලැයිස්තුවට අපි රුක්මණී දේවියගේ නම නම් ඇතුළත් කරන්නේ නැහැ. ඒ ඇය සිංහල සිනමාවේ පෙම්වතියට එහා ගිහිල්ලා නිළි රැජිනක් වුණු නිසා.
අපෙන් සමුගත් සිංහල සිනමාවේ පෙම්වතුන් ගැන මේ ලින්ක් එක ක්ලික් කර කියවන්න!
1. සන්ධ්‍යා කුමාරි
එතෙක් මෙතෙක් ලාංකීය සිනමාවේ බිහි වුණු ලස්සනම නිළිය විදිහට සැලකෙන්නේ සන්ධ්‍යා කුමාරි. ඇය සමාන වුනේ ලංකාවෙ නිළියකටත් වඩා හින්දි නිළියකට. ඇය මුලින්ම සිනමාවේ චරිතයක් නිරූපණය කරන්නේ “අදට වැඩිය හෙට හොඳයි” චිත්‍රපටයේයි. නමුත් ඇයට සිනමාවට පිවිසෙන්න මුලින්ම අත හිත දෙන්නේ සිරිසේන විමලවීර මහත්මයා. ඒ “රොඩී කෙල්ල” චිත්‍රපටියෙන්. නමුත් ඒ චිත්‍රපටිය නිෂ්පාදනය නිම වෙන්නේ නැහැ. එතුමාම තමයි උප්පැන්න සහතිකයේ මේරි ඉවෝන් පෙරේරා විදිහට තිබුණු ඇගේ නම සිනමාවට ගැළපෙන විදිහට සන්ධ්‍යා කුමාරි බවට පත් කරන්නේ. රොඩී කෙල්ල චිත්‍රපටයේ රඟපෑම අහිමිවුණු සන්ධ්‍යා ඊළඟට රඟපාන්නේ “සැපත සොයා” චිත්‍රපටයේ .නමුත් ඒ චිත්‍රපටිය විකාශය වෙන්නේ ඊට වසර ගණනාවකට පස්සේ. ඒ වෙනකොට අපි කලින් කිව්වා වගේ “අදට වැඩිය හෙට හොඳයි” වගේ ඇය රඟපාපු චිත්‍රපටි ගණනාවක් විකාශය වෙලා ඉවරයි.
2. විජිත මල්ලිකා
විජිත මල්ලිකාව සිනමාවට හඳුන්වලා දෙන්නේ එතුමියගේ පවුලේ හිතවතෙක් වුණු හියුගෝ මාස්ටර් විසින්. එතුමා උප්පැන්න සහතිකේ විජිතා ද සිල්වා කියලා තිබ්බ ඇගේ නම විජිත මල්ලිකා කරනවා. ඇය සිනමාවට පිවිසෙන්නේ “සූරයා” චිත්‍රපටයෙන්. නමුත් ඒ සුළු චරිතයකින්. “වීර විජය” චිත්‍රපටයෙන් ඇය හා හා පුරා කියලා පෙම්වතියගේ චරිතය රඟපානවා. නමුත් “සුවිනීත ලාලනී” චිත්‍රපටයෙන් තමයි ඇගේ නියම දක්ෂතා ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න ලැබෙන්නේ. ඩබ්ලිව්. ඒ සිල්වාගේ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු “හඳපාන” චිත්‍රපටියේ කුසුමාගේ චරිතය රඟපාන්නෙත් ඇයයි. ඒ චරිතයට තමන් අතිශයින් ඇලුම්කරන බව ඇය පසුකලක ප්‍රකාශ කළා. “ස්වීප් ටිකට්, රෑන ගිරව්, සුහද සොහොයුරෝ” ඇය රඟපාපු චිත්‍රපට අතරින් කීපයක් පමණයි
3. ෆ්ලොරීඩා ජයලත්
සිංහල සිනමාවේ පළවෙනි නිළි සුපිරි තරුව විදිහට ෆ්ලොරිඩා ජයලත් හඳුන්වන්න පුළුවන්. ඒ සුජාතා චිත්‍රපටයේ රඟපෑමෙන් එක රැයෙන් ඇය ජනප්‍රිය වීම නිසා. (ඒ චිත්‍රපටයේ ඇගේ පෙම්වතාගේ චරිතය රඟපෑ ප්‍රේම්ජයන්ත් ගැනත් අපි මීට පෙර ලිපියකින් සඳහන් කළා). මේ නිසාම ලතා මංගේෂ්කාර් පසුබිම් ගායනයෙන් සහය වුණු ලංකාවේ එකම නිළිය බවට පත් වෙන්නත් ඇයට හැකියාව ලැබුණා. ඉන්පසුව “සැඩ සුළං,පිරිමියෙක් නිසා, සුදු දුව” වැනි චිත්‍රපටවල ඇය රඟපෑවා. ඒ වගේම ෆ්ලොරීඩා ජයලත් සිංහල සිනමාවට තවත් වාර්තාවක් එකතු කළා. ඒ “ස්වීප් ටිකට්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂකවරිය බවට පත් වෙමින්.
4. රීටා රත්නායක
රීටා රත්නායක සිනමාවට පිවිසෙන්නේ උප ප්‍රධාන චරිතයකින්. ඒ “කැලෑහඳ” චිත්‍රපටයේ ඩේසි අත්තනායකගේ චරිතය රඟපාමින්. ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ “වරද කාගෙද” චිත්‍රපටයෙන්. “රදල පිළිරුව, සුකුමලී, සුනීතා, සුන්දර බිරිඳ, දරුවා කාගේද, වෙන ස්වර්ගයක් කුමටද” ඉන් පසුව ඇය රඟපෑ චිත්‍රපට අතරින් කීපයක්. ඉන්දියාවේ තිරගත වුණු දේව්දාස් චිත්‍රපටියේ අනුකරණයක් වුණු “රම්‍යලතා” චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ප්‍රභාවතීගේ (මුල් චිත්‍රපටයේ පාරෝගේ චරිතය) රඟපෑවේද ඇයයි.
5. සුජාතා විජේසේකර
සුජාතා විජේසේකර රඟපාන්නේ චිත්‍රපටි තුනක විතරයි. ඇගේ පළවෙනි රඟපෑම සිද්ධ කරන්නේ “රම්‍යලතා” චිත්‍රපටයේ ප්‍රභාවතීගේ යෙහෙළියක් විදිහට. මේ චිත්‍රපටයේම තවත් සුළු චරිතයක් රඟපාන බොනිෆස් ප්‍රනාන්දුට සහ සුජාතා විජේසේකරට, සිරිමලී චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්න අවස්ථාව ලැබෙනවා. “ආකාසෙ ආවාසෙ සූර්යයා නැගේ” කියමින් ඔවුන් දෙදෙනා සහභාගි වූ ඒ ගීත දර්ශනය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
“පිරිමියෙකු නිසා” තමයි ඇගේ තුන්වැනි සහ අවසාන චිත්‍රපටය. මේ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට අලුත් පෙම්වතෙක් හඳුන්වලා දෙනවා. ඒ තමයි ගාමිණී ෆොන්සේකා. මේ නිසා සුජාතා විජේසේකර ගාමිණී ෆොන්සේකාගේ පළවෙනි සිනමා පෙම්වතිය බවට පත් වෙන්න සමත් වෙනවා.
6. රෝහිණී ජයකොඩි
රෝහිණී ජයකොඩි සිංහල සිනමාවේ තමන්ගෙ නම තියෙන්නේ, “අහංකාර ස්ත්‍රී” චිත්‍රපටියෙන්. මේ චිත්‍රපටය තුළ ඇය කුරිරු කාන්තාවකගේ චරිතය නිරූපණය කරනවා. “සුරතලී, සූරසේන, වැදිබිම” ඇය ඉන් පසුව රඟපාපු චිත්‍රපටි වනවා.
ඇය “හැංගි හොරා” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ලංකාවේ දෙවන චිත්‍රපටි අධ්‍යක්ෂකවරිය බවට පත් වුණා. පසු කලෙක ඇය “චණ්ඩි සිරියා” නමින්ද චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒ වගේම රෝහිණී ජයකොඩි ඇගේ දියණිය වුණු වීණා ජයකොඩිවත් සිංහල සිනමාවට හඳුන්වා දුන්නා.
7. ශාන්ති ලේඛා
මේ ලැයිස්තුවට ශාන්ති ලේඛාව අපි එකතු කරන්නේ විශේෂ හේතුවක් උඩ. ඇය සිනමාවට එකතු වෙන්නේ සුජාතා චිත්‍රපටය හරහා. ඒ උප ප්‍රධාන චරිතයක් රඟපාමින්. නමුත් ඇය බිකිනියකින් සැරසී ඩොමී ජයවර්ධන සමඟ සුජාතා චිත්‍රපටියේ “පෙම් රැල්ල නැගී” ගීතයට සිදු කළ රංගනය සිංහල සිනමාවට අලුත් ආරම්භයක් ලබා දෙන්න සමත් වුණා. ඊට පස්සේ ඇයට චිත්‍රපටි ගලා එන්න පටන් ගත්තා. නමුත් පස්සේ කාලෙකදි නම් ඇය සිංහල සිනමාවේ අම්මගේ චරිතයට කොටු වුණා. ඒ අතරින් ගම්පෙරළිය චිත්‍රපටයේ මාතර හාමිනේ ගේ චරිතය සුවිශේෂීයි.
එහෙම නම් වෙනදා වගේ ම ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply