ලංකාවේ කණ්ඩායම් සංගීතය ආරම්භ වෙන්නෙ 50 දශකයේ අග හරියේදී කියල කිව්වොත් වඩා නිවැරදියි. එහෙම මුල් බැහැගෙන 1960-1970 කියන දශකයේදී ඉතා විශාල ජනප්‍රියත්වයකට පාත්‍ර වෙනවා. කොයි හැටි උනත්, පොප් සංගීතය මූලික කරගෙන කණ්ඩායම් සංගීතය බිහි උනාට මුලින්ම කැලිප්සෝ කියන ශානරය ඔස්සේ තමයි ජනතාව අතරට යන්නෙ. කැලිප්සෝ කියනකොටම අපිට මතක් වෙන දේ තමයි ගිටාරය කියන්නේ. ඉතින් මේ කණ්ඩායම් සංගීතය ලංකාවේ මුල් බැහැ ගන්නෙම ගිටාරය කියන සංගීත භාණ්ඩයට ලංකික තරුණයන්ගේ තියෙන කැමැත්ත එක්කයි. ඉතින් ලංකාවේ කණ්ඩායම් සංගීතයේ මුල්ම පුරුක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් ‘La Ceylonians’ සංගීත කණ්ඩායමේ නිර්මාතෘ නොයෙල් බ්‍රයන් රණසිංහ සහ ‘Los Cabelleros’ සංගීත කණ්ඩායමේ නිර්මාතෘ නෙවිල් ප්‍රනාන්දු කියන දෙන්නා. එතනින් පටන් ගත්තු කණ්ඩායම් සංගීත කලාව අද වෙනකොට තියෙන තැන සම්බන්ධයෙන් එක එක අයට එක එක මත තියෙනවා. කොහොම උනත් එදා මෙදා තුර ලංකික සංගීත කණ්ඩායම් කලාවේ ප්රගමනයට දායක වෙච්ච සංගීත කණ්ඩායම් හතක් ගැනයි අද කතා කරන්න යන්නෙ.
1. ලොස් කැබලෙරොස් (Los Cabelleros)
මේ සංගීත කණ්ඩායම විශේෂ වෙන්න හේතු දෙකක් කියන්න පුළුවන්. එකක් ලංකාවේ කණ්ඩායම් සංගීත ඉතිහාසයේ මුලින්ම ආරම්භ වෙච්ච කණ්ඩායම් දෙකෙන් එකක් වීම. අනෙක් හේතුව තමයි කණ්ඩායම් සංගීතය සහිත සිංහල ගීයක් ගැයූ ප්‍රථම කණ්ඩායම නම් ‘ලොස් කැබලෙරොස්‘ වීම. එහෙම ගයන කාලේ සී. ටී ප්‍රනාන්දු ගෙ ‘මගෙ සුදු මාමේ, නෑ බෑ නොකියා රා පොඩියක් දී මා සනසන්නේ‘ කියන සින්දුව. පස්සේ කාලෙකදී ජනප්‍රිය නිලියක් වෙච්ච රුක්මණී දේවිත් මේ සංගීත කණ්ඩායම එක්ක එකතු වෙනවා. මේ සංගීත කණ්ඩායමේ ඉතාම ජනප්‍රිය ගීතයක් විදිහට කළුදිය දහර චිත්‍රපටයට ගායනා කරපු ‘මාස්ටර් සර්’ කියන ගීතය රසිකයෝ අතරේ ගොඩක්ම ජනප්‍රිය උනා. නෙවිල් ප්‍රනාන්දු කොයිතරම් දක්ෂයෙක්ද කියන කාරණාව මොනවට පැහැදිලි වෙන කාරණාවකුත් මේ එක්කම කියන්නම්. ඒ දවස් වල සී. ටී ප්‍රනාන්දු ගායනා කරපු ජනප්‍රිය සින්දුවක් තිබුණා. ඒ ‘පුන් සඳ හිනැහෙන්නේ – වන මල් පිබිදෙන්නේ’ කියන ගීතය. නෙවිල් ප්‍රනාන්දුට ඕන උනා ඒ ගීතයේම විරිතට, අදහසට, මාත්‍රා ගානට සමාන අලුත් ගීතයක් නිර්මාණය කරන්න. අන්න ඒ විදිහට නිර්මාණය උණු ගීතය තමයි ‘මල්බර හිමිදිරියේ – කොයිබද සමනොලියේ’ කියන ගීතය. ඉතින් එහෙම දෙයක් කරන්න තරම් දක්ෂයෙක් තමයි නෙවිල් ප්‍රනාන්දු කියන්නේ.
2. ද මූන් ස්ටෝන් (The Moon Stone)
කණ්ඩායම් සංගීතය කිව්වම අමතක කරන්නම බැරි නමක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ. ඒ තරමටම කණ්ඩායම් සංගීතයේ උන්නතියට ක්ලැරන්ස් ගෙන් වෙච්ච සේවය විශාලයි. ඒ වගේම ක්ලැරන්ස් මූලික වෙලා පටන් ගත්ත මුල්ම සංගීත කණ්ඩායම තමයි මේ. ඒකට ක්ලැරන්ස් එක්ක එකතු වෙනවා කවුරුත් දාන්න ඇනස්ලි මාලේවන, මොන්ටි වත්තලදෙණිය සහ ධම්මික විජේසිරි. පස්සේ කාලෙක තව කිහිප දෙනෙකුත් එකතු වෙනවා. ඒ වෙද්දී කැලිප්සෝ කණ්ඩායම් විදිහට සාමාන්‍ය ගිටාර් භාවිතා කරපු ආර වෙනස් කරලා ඉලෙක්ට්‍රොනික ගිටාරය කණ්ඩායම් සංගීත කලාවට එකතු කරගන්න ක්ලැරන්ස් සමත් වෙනවා. අපි කවුරුත් දන්න සුදු මැණිකේ, මංගෝ නැන්දා, ගොන් වස්සා, දිල්හානි වගේ ගීත ගොඩක් මේ සංගීත කණ්ඩායම අතින් නිර්මාණය වෙනවා.
3. සන්ෆ්ලවර්ස් (Sun Flowers)
1983 අවුරුද්දේ අග හරියේදී නීල් වර්ණකුලසූරියගෙ නායකත්වයෙන් පටන් ගත්තු සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමත් ලංකික කණ්ඩායම් සංගීත ක්ෂේත්රයට ලොකු සේවයක් කළා වගේම අදටත් කරමින් ඉන්නවා. ආරංචි හැටියට මේ නම දාල තියෙන්නේ ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා විසින්. ක්ෂේත්රයේ ප්‍රවීණයින් විදිහට අදටත් පිළිගන්න අයිවෝ ද මෙල්, අර්නි පීරිස්, මහින්ද සිල්වා, අතුල අධිකාරී වගේ අයත් මේ සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන්. වේග රිද්මයෙන් සමාජයේ තියෙන නොයෙකුත් ප්‍රශ්න ගැන කතාකරන එක සන්ෆ්ලවර්ස් කණ්ඩායමේ විශේෂත්වයක්. ‘ඔරුවේ නැගලා කිසි බයක් නෑ හිතේ’, ‘එළාර දුටු ගැමුණු යුද්ධය තේමාවුණු’, ‘දිනන දාට කොල්ලෝ’ වගේ ගීත ඒකට හොඳ උදාහරණ. කොයි හැටි වෙතත් මේ වෙද්දී සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම නීල් වර්ණකුලසූරිය විසින් විකුණලා කියල තමයි ආරංචි වෙන්නෙ.
4. ජිප්සීස් (Gypsies)
ජිප්සීස් සංගීත කණ්ඩායම පටන් ගන්නේ 1970 දශකයේ එහි වර්තමාන නායක සුනිල් පෙරේරා ගෙ නායකත්වයෙන්. තමන්ගේ පවුලේම උදවිය එක්ක පටන් ගත්තු මේ සංගීත කණ්ඩායම වෙනස්ම ආරකින් තමයි තමන්ගේ ඉදිරිපත් කිරීම් කරන්නේ. මුලින්ම බටහිර ගීත ගායනයෙන් පටන් ගත්තත් 1973 දී තමන්ගේම කියල සිංහල සින්දු ඇතුලත් කැසට් පටයක් වෙළෙඳපොලට ඉදිරිපත් කරනවා. හාස්‍ය මතුකරන ගමන් සමාජයට යම් පණිවිඩයක් දෙන ලක්ෂණය බොහෝ විට මේ සංගීත කණ්ඩායමේ සින්දු වල දකින්නට ලැබෙන ලක්ෂණයක්. ‘ලිඳ ළඟ සංගමය’, ‘නෝනේ මගේ සුදු නෝනේ’, ‘කුරුමිට්ටෝ’ වගේ සින්දු ඒකට හොඳ උදාහරණ. 1989 Band Of The Year සහ 1990 Show Biz Personality කියන සම්මාන වලටත් පාත්‍ර වීම සංගීත කණ්ඩායමේ ජනප්‍රියත්වයට හොඳ උදාහරණ.
5. මේරියන්ස් (Merians)
1988 අවුරුද්දේ තමයි මේ සංගීත කණ්ඩායම ආරම්භ කරන්නේ. ඒ නලින් පෙරේරාගේ නායකත්වයෙන්. එහෙම පටන් අරන් ඊළඟ අවුරුද්දෙම මේරියන්ස් ලගේ පළවෙනි ඇල්බම් එක, ඒ කියන්නේ සංගීත නාදේ 1 කියන කැසට් එක එලියට දානවා. කාලයත් එක්ක වෙනස් වෙලා 2006 දී මේගොල්ලෝ ‘Unplugged’ ක්‍රමය ලංකාවේ සංගීත කලාවට අඳුන්නල දෙනවා. අද උනත් ඉතාම ලස්සනට ඕනෑම සිංදුවකට බැක් කරන්න පුළුවන් ගතිය නිසා ලොකු ප්‍රේක්ෂක පිරිසක් මේ සංගීත කණ්ඩායම වටේ එකතු වෙලා ඉන්නවා.
6. වායෝ (Wayo)
සනිධප සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය සනිධප බෑන්ඩ් එක එහෙම්ම තියෙද්දී වායෝ කියන සංගීත කණ්ඩායම ආරම්භ කරනවා 2012 අවුරුද්දේ. ඒ ‘Unplugged’ කියන සංකල්පයට එළිමහන් වේදිකාව එළිය කරන්න. ලොකු ඉතිහාසයක් නැති උනාට මේ වෙද්දී සැහෙන ජනප්‍රියත්වයක් අත්පත් කරගෙන ඉන්න සංගීත කණ්ඩායමක් තමයි වායෝ කියන්නේ. මුලින්ම ‘අපි කවුරුද’ කියන ගීතයෙන් තමයි ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ.
7. ෆ්ලෑෂ්බැක් (Flashback)
කටුනේරිය ප්‍රදේශය මූලික කරගෙන 1990 අවුරුද්දේ තමයි වැඩ පටන් ගන්නේ. වර්තමාන නායක රොෂාන් ප්‍රනාන්දු ම තමයි එදත් මූලිකත්වය ගන්නේ වැඩේට. එළිමහන් වේදිකාවට නියමෙට ගැලපෙන්න මේගොල්ලෝ බැක් කරනවා. මුල් කාලේ ඉඳල අද වෙනකොට බෑන්ඩ් එක හරහා දක්ෂයෝ ගොඩක් එලියට අරං තියෙනවා. දැනටත් ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් තුන ඇතුලේ වැජඹෙන සංගීත කණ්ඩායමක් විදිහට සලකන්න පුළුවන්. පොඩිම තැනින් පටන් අරන් ඉතා හොඳ ගමනක් ආපු, ඒ වගේම ඉතා හොඳ විනයක් පවත්වාගෙන යන සංගීත කණ්ඩායමක් විදිහට සලකන්න පුළුවන්.
.
Leave a Reply