ලංකාවේ ඇතිවුණු ශාස්ත්‍රීය වාද

අද Lifie අපි කතා කරන්න යන්නේ මෙච්චර කල් අපි කතා නොකරපු අලුත්ම මාතෘකාවක් ගැන. ඒ තමයි ලංකාවේ ඇතිවුණු ශාස්ත්‍රීය වාද විවාද ගැන. සමහර ශාස්ත්‍රිය වාද විවාද ගැන සයිබරය හරහා පළමු වරට මේ ලිපිය හරහා ඔබට කියවන්න  ලැබෙයි කියලා අපි හිතනවා. මේ ආටි​කල් එකට ලැබෙන ප්‍රතිචාර මත අපි මේ වාද විවාද ගැන ඉදිරියේදී වඩා විස්තරාත්මකව ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපි මේ ශාස්ත්‍රීය වාද විවාද වලට ලංකාවෙ ඇතිවුණු ප්‍රසිද්ධතම ශාස්ත්‍රීය වාදයක් වන ‘සව්සත්දම්වාදය’ ඇතුළත් කරන්නේ නෑ. මොකද ඒ වාදය ගැන බොහෝ දෙනෙක් දන්න නිසා. නමුත් ඔබෙන් ඉල්ලීමක් ලැබෙනවා නම් ඒ ගැන වෙනම ආටිකල් එකක් ලියන්න අපි කැමතියි.

 

1. කව්මිණිකඬොල වාදය

මාතර යුගයේ ලියැවුණු කව්මිණිකඬොල රචනා කරලා තියෙන්නේ පත්තායමේ ලේකම් කියන පඬිවරයා. ඔහු ගජමන් ​නෝනාගේ මාමා විදිහටත් සැලකෙනවා. මේ කෘතිය සංස්කරණය කරලා දොඩන්දූවේ ධර්මසේන කියන පඬිවරයා ප්‍රකාශයට පත් කරනවා. මේ වෙනකොට ලංකාව සම්ප්‍රදායක් තිබිලා තියෙනවා, ඒ තමයි යම් කෙනෙක් පොතක් නිකුත් කළාම ඒ පොතේ දෝෂ ගැන තවත් කෙනෙක් කතා කරන්න පටන් ගන්න එක. ඒ කාලේ ඉඳන්ම ලංකාවේ කට්ටිය අඩුලුහුඩුකම් හොයන්න දක්ෂ කියන එක ආපහු කියන්න ඕන නෑනේ ඉතින්. ධර්මසේන පඬිවරයාගේ මේ පොත ගැන මුලින්ම දෝෂදර්ශනයට ලක් කරලා තිබ්බේ ඩබ්ලිව්. සමරසේකර පඬිතුමා. මේ ලිපිවලට පිළිතුරු ලියන්න දොඩන්දූවේ ධර්මසේන පඬිවරයා වෙනුවට වැලිපටන්විල දීපංකර හාමුදුරුවෝ පෙරට ආවා. උන්වහන්සේ ‘සිහල සමය’ පුවත්පත හරහා සමරසේකර මහත්මයා ගෙනාපු තර්ක බිඳ හෙලන්න කටයුතු කළා. මේ විවාදය ඉතාමත් ශික්ෂණයකින් යුතුව පැවතුණු විවාදයක් විදිහට සලකන්න පුළුවන්.

 

2. කුකවි වාදය

කුකවි වාදය කියන්නෙත් ලංකාව ඇතුළේ ඉතා ආන්දෝලනයකට ලක්වුණු විවාදයක්. මේ වාදයට මුලපුරන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයා. ඒ කාලේ පැවතුණු ‘ස්වදේශීය මිත්‍රයා’ නැමති පුවත්පතට එතුමා “සිංහල කාව්‍ය ශාස්ත්‍රය” නමින් ලිපි මාලාවක් පළ කරනවා. මේ මේ ලිපි මාලාවේ දී ඔහු කාව්‍යශේඛර ගැන කියද්දී සඳහන් කරනවා තොටගමුවේ රාහුල හාමුදුරුවෝ බොහෝ සංස්කෘත කාව්‍ය වලින් අදහස් ලබාගෙන තියෙනවා කියලා. ඒ වගේම ඔහු සංස්කෘත ශ්ලෝකයක් උපුටා දක්වමින් සඳහන් කරනවා ඒ ශ්ලෝකයට අනුව නම් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට ගැලපෙන්නෙ කවි කියන නම නෙමෙයි කුකවි කියන නම කියලා.

කුමාරතුංග මුනිදාස මහත්මයාගේ මේ සඳහනත් එක්ක කැ​ළඹුමක් රට තුළ ඇතිවෙනවා කුමාරතුංග මුනිදාස මහත්මයාට එරෙහිව අවි අමෝරාගෙන විවිධ උගතුන් ලිපි පළ කරනවා. අවසානයේදී මේ ගැන විනිශ්චයක් කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයේදී රැස්වීමක් කැඳවනවා. මේ රැස්වීමේ මූලාසනය ගන්නේ ශ්‍රීමත් ඩී. බී ජයතිලක මහතා. අවසානයේදී කුමාරතුංග මහත්මයා කියන්නේ තමන් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ව කුකවියෙක් ලෙස හැඳින්වූයේ නැති බවත්, තමන් කළේ ශ්ලෝක පාඨයක් උපුටා දැක්වීමක් පමණක්​ය කියලාත් තමයි.

 

3. පාරුපන වාදය

පාරුපානය කියන්නේ භික්ෂූන් වහන්සේලා සිවුරු පොරවන ආකාරයට. ලංකාවේ භික්ෂූන් වහන්සේලා සිවුර පොරවන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි උර දෙකම වැසෙන ආකාරයට සිවුරු පෙරවීම සහ එක උරයක් පමණක් වැසෙන ආකාරයට සිවුරු පෙරවීම. එක උරයක් වැසීම සියම් නිකායේ භික්ෂූන් වහන්සේලා අතර පැවත එන සම්ප්‍රදායක් වන අතර  උර දෙකම වැසීම අමරපුර නිකායේ සහ රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේලා අතර ඇති සම්ප්‍රදායයි.

නමුත් හික්කඩුවේ සුමංගල හිමියන් සියම් නිකායේ එතෙක් පැවතුණු ඒ කාලේ එක් උරයක් පමණක් වැසීමේ සම්ප්‍රදාය ධර්ම විනයට අනුව වැරදි බවත් පවසමින් උර දෙකම වැසීමේ සම්ප්‍රදාය සියම් නිකාය තුළ ආරම්භ කළා. උන්වහන්සේගේ මෙම තීරණයට එරෙහිව රත්මලානේ ධර්මාරාම හිමියන් විවේචනයක් එල්ල කිරීමත් සමගම මේ ගැන බොහෝ වාද විවාද ඇතිවුණා. අවසානයේදී සියම් නිකාය තුළ හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාව පමණක් දෙවුරම වැසීමේ සම්ප්‍රදායය ආරම්භ කළා.

 

4. වාසී වාදය

වාසී නමින් හැඳින්වෙන්නේ අට පිරිකරට අයිති දැලිපිහියට. නමුත් රාමඤ්ඤ නිකාය ආරම්භයේ දී එම නිකායේ භික්ෂූන් වහන්සේලා දැලිපිහිය කියලා එතෙක් පිළිඅරගෙන තිබ්බ කුඩාවෑය වෙනුවට කරකැත්ත භාවිතා කරමින් එසේ කිරීම නිවැරැදි බව ප්‍රකාශ කළා. රාමඤ්ඤ නිකායේ මෙම පිළිගැනීමත් සමඟම අමරපුර සහ සියම් නිකායවලට එතෙක් තමන් රැකගෙන ආ සම්ප්‍රදාය පිළිබඳව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුණා මේ නිසා එම නිකාය දෙකම එවකට විවාදයට සමත්කම් දැක්වූ භික්ෂූන්වහන්සේ නමක් වුණු බැදිගම රතනපාල හිමියන්ට මේ සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කළා. ඒ අනුව ප්‍රසිද්ධ විවාදයක් වලස්මුල්ලේදී පැවැත්වුණා. ඒ සඳහා රාමඤ්ඤ නිකාය පාර්ශවයෙන් මාතර ඤාණින්දසභ ස්වාමීන් වහන්සේත් සියම් සහ අමරපුර පාර්ශ්වය වෙනුවෙන් බැදිගම රතනපාල ස්වාමීන් වහන්සේත් සහභාගි වුණා. එහිදී ඒ විවාදයෙන් බැදිගම රතනපාල ස්වාමීන් වහන්සේ ජයග්‍රහණය කළත් රාමඤ්ඤ නිකාය තම මතය වෙනස් කළේ නැහැ.

 

5. බංකු වදය

මෙම වාදය ඇති මුල්වරට ඇතිවී තිබෙන්නේ මොරටුවේ මේධානන්ද හිමියන් සහ  පානදුරේ කවිරාජ පඬිවරයා අතර. මේ සඳහා මූල බීජය වී තිබෙන්නේ බංකු මත හිඳ ධර්මය හා ධර්ම දේශනාවල ඇහුම්කන් දීම සුදුසුද නුසුදුසුද යන ප්‍රශ්නය. මුලින් මේ පඬිවරු දෙදෙනා අතර පමණක් පැවැත්වුණු මෙම වාදය අවසානයේදී මුළු රටේම වාදයක් බවට පත් වුණා. බංකු මත හිඳගෙන ධර්මය ඇසීම වැරදි බව කියන්න එවකට සිටි ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා දේවානන්ද උප සංඝරාජ ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙරට එද්දි ගිහි පඬිවරයෙකු වුණු ලක්මිණි පහන් කතු තුමා ඒ මතයට සහයෝගය පළ කළා.  ඒ වගේම බංකු මත හිඳගෙන බණ ඇසීමෙන් අගෞරවයක් සිදු නොවන බවට හික්කඩුවේ සුමංගල, රත්මලානේ ධර්මාරාම වැනි භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා. මේ වාදයත් නිසි සමථයකට එළඹුනේ නැහැ.

 

6. ජානකීහරණ වාදය

ජානකීහරණය කියන්නේ අපේ රටේ රජ කෙනෙක්, ඒ කිව්වේ කුමාරදාස රජතුමා රචනා කරපු සංස්කෘත මහා කාව්‍යයක්. මේ කාව්‍ය ඉන්දියාවේ පඬිවරු අතර ඉතාමත් ගෞරවයට පත්වුණු මහා කාව්‍යයක්. නමුත් කාලයත් එක්ක මේ මහා කාව්‍ය නැතිවෙලා, එහි අර්ථ විස්තර කරන්න ලියපු සන්න කොටස විතරක් ඉතුරු වෙලා තිබ්බා. රත්මලානේ ධර්මාරාම හාමුදුරුවෝ මේ සන්නය ඇසුරෙන් ජානකීහරණය නැවතත් ප්‍රතිනිර්මාණය කළා. මේක ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියක්. නමුත් රත්මලානේ ධර්මාරාම හාමුදුරුවෝ විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රධානත්වය දරපු නිසා උන්වහන්සේගේ උත්සාහයට නිසි ගෞරවය ඇතැම් පාර්ශවවලින් ලැබුණේ නැහැ. විද්‍යෝදය පිරිවෙනෙන් ප්‍රකාශයට පත් වුණේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ මුල්වරට ජානකීහරණය ශ්ලෝක කීපයක් සකස් කරලා තියෙනවා කියලා. මේ ගැන විවාදයක් පුවත්පත් මගින් ඇතිවුණත් කෙටි කාලයකින් මේ විවාදය සංසිඳුණා.

 

7. සුගත් වියත් වාදය

අටුවාටීකා වල හැටියට බුදුරජාණන් ​වහන්සේගේ ශරීර ප්‍රමාණය රියන් දොළසක්. ​රශ්මි මාලාව සමග රියන් දහ අටක්. මේ මතය අද වෙනකොට පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. නමුත් රජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය සාමාන්‍ය මිනිසෙකුගේ ශරීර ප්‍රමාණයට සමාන බව ලංකාවේ මුලින්ම ප්‍රකාශ කළේ අලුත් කුරුවේ සිද්ධත්ථ නම් හිමි නමක්. උන්වහන්සේ පවසා සිටියේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය රියන් හතක් සහ අඟල් තුනක් බව. නමුත් අන්ධ භක්තියෙන් යුතු එවකට සිටි පිරිස් උන්වහන්සේට එරෙහිව අවි අමෝරාගෙන උන්වහන්සේව විවේචනය කරමින් විවිධ පත්‍රිකා සහ ලිපි ලිවීමට පටන් ගත්තා. නමුත් අද වෙනකොට නම් බුදුරජාණන් වහන්සේගේ ශරීර ස්වභාවය සාමාන්‍ය මිනිසෙකුගේ ශරීර ස්වභාවයමයි කියලා නොපිළිගන්න බෞද්ධයෙක් නම් නැතුව ඇති.

 

එහෙමනම් අපි මේ ආටිකල් එක ලියන්න පටන් ගනිද්දි කිව්වා වගේම, ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත සව්සත්දම් වාදය පිළිබඳව වගේම මේ වාදවිවාද ගැනත් සවිස්තරාත්මක ආටිකල් කීපයක් ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් තීරුවේ පළ කරන ගමන්ම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *