අපි හැමෝම මහන්සි වෙලා වැඩ කරන උදවියනේ. හැබැයි ඉතින් වැඩ කරනවා කියලා එක දිගටම වැඩ කරන්නත් බැහැනේ. ඒක ඵලදායී වෙන්නෙත් නෑ. වඩාත් සුදුසු ක්රමය වෙන්නේ අර පොමොදෝරෝ ටෙක්නික් එකට විනාඩි විසිපහක් වැඩ කරලා, විනාඩි පහක් බ්රේක් එකක් අරගෙන ආයෙත් විනාඩි විසිපහක් වැඩ කරන එක. හැබැයි ඕක තුන් හතර පාරක් කළාට පස්සේ පැය බාගෙක විතර බ්රේක් එකක් ගන්න ඕන. ඔය බ්රේක් ගන්නවා කියන්නේ ඉන්න පුටුවෙම වාඩි වෙලා ෆේස්බුක් යන එක නෙවෙයි හැබැයි, පොඩ්ඩක් ඇවිදලා කරලා, අත පයේ හිරි ඇරලා එන එක. හැබැයි ඔය අතරේ පොඩි ගේම් එකක් එහෙම ගහන්නත් බැරිද? ඇත්තටම ඒක බැරිකමක් නෑ. ඒත් පුටුවෙම ඉන්න ඔට්ටු නෑ හරිද!
දැන් ඔහොම පුංචි බ්රේක් එකක් ගත්තු වෙලාවක PUBG ගහන්න බැහැනේ. ඒකට පැය බාගයක් විතර යයි. ඔය තියෙන අනික් නවීන ගේම්ස් වල තියෙන අවුලත් ඒකම තමයි. අඩු තරමේ එක මිෂන් එකක්වත් පොඩි වෙලාවකින් ගහන්න බෑ. එහෙමනං විනාඩි පහකට දහයකට ගහන්න ඔය පරණ තාලේ පොඩි පොඩි ගේම් ෆෝන් එකට දාගන්න ඕන. එව්වා වලත් ලොකු ආතල් එකක් නැහැනේ. ආන්න ඒ නිසා අපි හිතුවා, අලුත් පහේ, පොඩි බ්රේක් එකකින් ගහන්න පුළුවන් ගේම්ස් ටිකක් ලිස්ට් එකකට ගන්න. මේවා ස්මාට්ෆෝන් එකේ නැතිනම් අදම දාගත්තත් පාඩු නෑ!
1. Last day on earth
ලෝකේ විනාස වෙලා, ලෝකේ සොම්බිලා පිරිලා. ඒ අතරේ ඉතුරු වුණු මිනිස්සු ටිකක් ඉන්නවා. අපිත් එයින් එක මනුස්සයෙක්. දැන් ඉතින් බිංදුවේ ඉඳලම දේවල් හදාගන්න ඕන, ඒ අතරේ සොම්බින්ගෙන් බේරෙන්නත් ඕන. මෙතනදී අපිට දර, පන්, ගල්, යකඩ ගන්න පුලුවන් යපස් වගේ සම්පත් හම්බුවෙනවා. ඒ වගේම ඔය කැඩුණු මැෂින් කෑලි, පරණ ගැජට් වගේ අනං මනං එහෙමත් හම්බුවෙනවා. හැබැයි ඉතින් ඕවා එකතු කරලා එක එක දේවල් හදාගෙන, සොම්බිලා මරාගෙන, අලුත් තැන් හොයාගෙන වැඩේ ගෙනියන්නයි තියෙන්නේ. මේකේ තියෙන හොඳම දේ තමයි, දර කොටන් ටිකක් පලාගෙන එන්න කැලේකට ගිහිල්ලා, දර කපාගෙන, කැලේ ඉන්න සොම්බිලාටත් ෂොට් එක දීලා, අනං මනං වෙන වෙන දේවලුත් හොයාගෙන ගෙදර එන්න පුළුවන් විනාඩි පහක් දහයක් ඇතුලතදී. ඒ වගේම ඔෆිස් එකේ පොඩි බ්රේක් එකක් ගත්තු වෙලාවක ගිහින් දර ටික ලී වෙන්න මෝලට දාලා, කෑම ලිපේ තියලා, මස් වේලෙන්න දාලා, හම් වේලෙන්න දාලා, කැරට් ටිකක් පැළ වෙන්න දාලා විනාඩි පහෙන් එන්නත් පුළුවන්!
2. Angry Birds 2
මේක නම් ස්මාට්ෆෝන් එකක් තියෙන මනුස්සයෙක් නොදැනගන්න විදියක් නෑ. විශේෂයෙන්ම තව වැඩිදියුණු වෙලා ආපු ඇන්ග්රි බර්ඩ්ස් 2 එක තවත් ආතල්. කොටින්ම කරන්න තියෙන්නේ මෙහෙමයි. ඌරො ටිකක් ඉන්නවා. එක එක ආරක්ෂක බලකොටු හදාගෙන, එව්වා ඇතුළට වෙලා තමයි උන් ඉන්නේ. හැබැයි අපිටත් ඉන්නවා සුපිරි බුලට් වගේ කුරුල්ලෝ ටිකක්. උන්ට එක එක විදියේ පවර්ස් තියෙනවා. ඉතින් මේ කුරුල්ලෝ දම්මලා, ඌරන්ගේ බලකොටු වලට පහර දීලා ඌරොන්ට ෂොට් එක දෙන්න තමයි තියෙන්නේ. විශේෂම දේ තමයි, මේකේ එක මිෂන් එකක් විනාඩි තුනෙන් හතරෙන් ඉවර කරන්න පුළුවන්!
3. Plants vs. Zombies 1
මේකත් අපි පණ යනකල් කම්පියුටරෙත් ගහලා, ඒත් මදි වෙලා ෆෝන් එකෙත් ගහන ගේම් එකක්. මේකෙත් ඉන්නවා සොම්බිලා. එක එක විදියේ ලෙවල් වල, එක එක විදියට එන සොම්බියෝ. සමහරුන්ව ඉවර කරන එක ගේමක් නෑ. හැබැයි සමහර සොම්බියෝ හරි බලවත් වගේම අන්තිම භයානකයි. මේ ගේම් එකේ අපි තමයි පිස්සු ඩේව් ගේ චරිතේ කරන්නේ. ඩේව් විදියට අපිට කරන්න තියෙන්නේ ඔය සොම්බින්ට ගේම දෙන පැළ ටිකක් හිටෝලා බලාගන්න එක. ඔය පැළ වලට එක එක විදියේ පවර්ස් තියෙනවා. ඒ පවර්ස් වලින් සොම්බින්ට ගේම දෙන්න පුළුවන්. මේ එක මිෂන් එකකටත් විනාඩි පහකට දහයකට වඩා යන්නෙ නෑ!
මේකේ දෙවෙනි ගේම් එක වඩාත් සංකීර්ණයි. සමහර වෙලාවට විනාඩි පහෙන් දහයෙන් ඉවර කරන්නත් බැරි වෙන්න පුළුවන්. සමහරු තාමත් දෙවෙනි එකට වඩා පළවෙනි එකට කැමතියි! (Plants vs. Zombies 2)
4. Sonic Dash 2
එන්ඩ්ලස් රනර් කියලා කියන ජාතියේ ගේම්ස් දන්නවනේ. ඒකේ ගේම් එක පටන් ගත්තු වෙලේ ඉඳලා අපේ කැරැක්ටර් එක දුවනවා, දුවනවා ඉවරයක් නෑ. අපිට තියෙන්නේ පොර දුවන්නේ කොහේද, හැරෙන්නේ කොහේද, උඩ පනින්නේ කොහේද වගේ දේවල් තීරණය කරලා ලකුණු ලබාගන්න. මේ සොනික් ඩෑෂ් ගේම් එකේ අපේ ප්රධාන චරිතේ තමයි කවුරුත් ආදරේ කරන සොනික්. අපිට තියෙන්නේ ඉස්සරහ තියෙන බාධක වමට දකුණට පැන පැන මග ඇරගෙන, සමහර එව්වා උඩින් පැනගෙන, යටින් රිංගගෙන දුවගෙන යන්න තමයි. විනාඩි පහක් දහයක් යනකොට එක දිවිල්ලක් ඉවර කරලා ආයෙමත් වැඩ කරන්න යන්න පුළුවන්!
5. Super Tank Rumble
මෙන්න මේකත් පොඩි බ්රේක් එකකදී ගහන්න පුළුවන්, සුපිරිම ආතල් එකක් ගේන මොබයිල් ගේම් එකක්. කරන්න තියෙන්නේ මෙහෙමයි. එක එක යාන්ත්රික කෑලි බෑලි එකතු කරලා, ඒකට එක එක විදියේ තුවක්කු, බෝම්බ විදින වගේ ආයුධ හයි කරලා යුද්ධ ටැංකියක් හදන්න තියෙන්නේ. හැබැයි මේක අර හුරුපුරුදු විදියේ යුද්ධ ටැංකියක් වෙන්න ඕන නෑ. තමන්ට ඕනම විදියකට මේක හදන්න පුළුවන්. හැබැයි ඕක හදනකොට හිතන්න ඕන දේ තමයි උපරිම ආරක්ෂාව සහ උපරිම බලය අතර කොහොමද බැලන්ස් එක තියාගන්නේ කියන එක. දැන් ඔෆිස් එකේ වැඩ වලින් බ්රේක් එකක් ගන්න අස්සේ ඔය ටැංකි හදන්න බෑ. ඒක ගෙදරදී හදාගන්න ඕන. හැබැයි දැන් ඔය අපි හදාගත්තු ටැංකි දම්මලා තව ප්රතිවාදීන්ගේ ටැංකි එක්ක සටන් කරන එක බ්රේක් එකකදී කරන්න පුළුවන්. මෙතනදී ටැංකිය ප්රබල වෙනවා වගේම, තමන්ගේ උපක්රමශීලීත්වයත් ඕන සටනක් දිනන්න. විනාඩි පහේ බ්රේක් එකේදී මෙහෙම ෆයිට් දෙකක් තුනක්ම ඉවර කරගන්න පුළුවන්!
6. Score! Hero
ෆුට්බෝල් වලට කැමති නංගිලාට මල්ලිලාට මෙන්න නියම ගේම් එක! විනාඩි පහක් ඇතුළත ගේම් එක ඉවර කරගන්න පුළුවන්. ඉතාම හොඳ ග්රැෆික් සහ විනෝදාත්මක, පහසු ක්රීඩා කිරීමේ ආකාරයක් එක්ක එන මේ ගේම් එකේ කරන්න තියෙන දේ සරලයි. තමන්ගේ ටීම් එකත් එක්ක එකතු වෙලා ෆුට්බෝල් මැච් එක දිනන්න තමයි තියෙන්නේ. හැබැයි අර සම්පූර්ණ මැච් එකක කාලය මේකට යන්නෙ නෑ. හැබැයි මැච් එක දිනන්නයි තියෙන්නේ කියලා සරලව කිව්වට, ඒක එහෙම ලේසිත් නෑ. මොකද ප්රතිවාදීන්ගෙන් බේරිලා, විවිධ උපාය ක්රම, උපක්රම අනුගමනය කරලා තමයි දිනුම ලබාගන්න වෙන්නේ. විශේෂයෙන්ම ඔෆිස් එකේ ස්ට්රෙස් පිට ඉඳලා බ්රේක් එකක් ගන්න වෙලාවකට සෙල්ලම් කරන්න මේක මරු!
7. Deer Hunter 2018
ඔව්, ගේම් එකේ නමේ තියෙනවනේ මොකක් සම්බන්ධ ගේම් එකක්ද කියලා. හැබැයි ඔය සත්ව අවිහිංසාවාදියෙක්ට නම් අපි මේ ගේම් එක රෙකමන්ඩ් කරන්නෙ නෑ. මොකද මේකේ තියෙන්නේ දඩයක්කාරයෙක්ගේ රෝල් එක අරගෙන, සත්තුන්ව වෙඩි තියලා හරි දුන්නෙන් විදලා හරි මරන්න. මෙතනදී අපිට එක එක විදියේ භූ විෂමතාවයන් තියෙන දඩබිම් ලබාදෙනවා. එක දඩබිමකින් අනෙක් දඩබිමට යන්න නම්, ඒ ඒ දඩබිමේ තියෙන අභියෝගයන් සම්පූර්ණ කරන්න ඕන. එතකොට මේකේ මරන්න තියෙන්නේ මුවෝ විතරක් නෙවෙයි. ලොකු කුඩා දඩයම් සත්තු සහ කොටි, වලස්සු, වෘකයෝ වගේ බොහොම භයානක සත්තුත් මරන්න තියෙනවා. ඒ වගේ සත්තු ඇත්තටම ඇවිත් අපිව දඩයම් කරන්න කලින් අපි උන්ව දඩයම් කරන්න ඕන. ඒ ඒ සත්තුන්ව දඩයම් කරන්න හොඳ තුවක්කු එහෙමත් ලබාගන්න ඕන. හැබැයි එක දඩයම් මෙහෙයුමක් විනාඩි පහක් යන්නත් කලින් ඉවර කරන්න පුළුවන්. ආන්න ඒ නිසා මේක බ්රේක් එකකදී ගහන්න මරු ගේම් එකක්.
හැබැයි එකක්. විනාඩි පහෙන් ගහන ගේම් එකක් ඕන නම් පැය ගාණක් වුනත් ගහතැහැකි. ඒකට කියන්නේ ඇබ්බැහි වෙනවා කියලා. ආන්න එව්වා ඔට්ටු නෑ, හරිද! විනාඩි පහයි නං විනාඩි පහයි. ඊට පස්සේ ගේම් එක වහලා දාලා ආයෙත් වැඩ කරන්න පටන් ගන්ඩ ඕන!!
Leave a Reply