ලාංකීය ටෙලි නාට්‍ය කලාවට සුභවාදී බලාපොරොත්තු ගෙන ​ආ මෑත කාලී නිර්මාණ 7ක්

පහුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවේ විශාල කතාබහක් නිර්මාණය කළ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වුණා. ඉන්දියානු සහ කොරියානු සිල්ලර ටෙලි කතා වලට හිර වෙලා තිබ්බ අපේ ලාංකිකයන්ගේ ඔලු ඒවායින් ටිකක් හරි මුදවමින් කලාවේ අලුත් සංකල්ප, මානුෂීය හැඟීම්වල වටිනාකම සහ ජීවිතය දිහා වෙනස් විදිහට බලන්න ඒවා තුළින් ඉගැන්නුවා කිව්වොත් වැරැද්දක් නෑ. ඇත්තම කලාව තුළින් වෙන්න ඕනෙත් ඒ දේයි. විශේෂයෙන්ම  සමාජජාලා මාධ්‍ය අවකාශය ඇතුලේ මෙම නිර්මාණ අතිශය කතා බහට හා අතිශය ප්‍රසාදයට පත් වුණා. මෙම සුවිශේෂී නිර්මාණ තුළින් ලබා ගත් පන්නරය නිසා මේ වෙනකොට ලංකාවේ වෙනස් රසයක නිර්මාණ අවකාශයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ වගේම සිංහල ටෙලි නාට්‍ය කලාව ගැන සුභවාදී බලාපොරොත්තු තියාගන්න අපිට පුළුවන් වුණ එකත් ලොකු දෙයක්. මේ ඒ වගේ සාර්ථක වුණු නිර්මා​ණ 7ක්.

 

1. කූඹියෝ

 කූඹියෝ කියන්නේ 2017 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ට තිළිණ වුණු අපරාධ ත්‍රාසජනක තේමාවක් රැගත් රූපවාහිනී කතා මාලාවක් (crime thriller drama television series). එය ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද්දක්. එහිදී තුමිඳු දොඩන්තැන්න ජෙහාන් විදිහටත්, කළණ ගුණසේකර ප්‍රියන්ත විදිහටත්, යුරේනි නොශිකා හිරුණි විදිහටත් අති සාර්ථක රංගන පරාසයක නියැලෙ​නවා. 2017 ඔක්තෝම්බර් වන විට කූඹියෝ IMDb දත්ත ගබඩාවේ ඉහළම ශ්‍රේණිවල අපරාධ රූපවාහිනී කතා මාලාව බවට පත් වුණේ ලකුණු 9.9 / 10 ක් ලබා ගනිමින්. කූඹියෝ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය සම්මානය දිනාගත් අතර තුමිඳු දොඩන්තැන්න රයිගම් ටෙලීස් 2018 වෙතින් වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා.

 

2. සහෝදරයා

සහෝදරයා කියන්නේ සම්මානලාභී ටෙලි නාට්‍ය පිටපත් රචක නාමල් ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් 2017 වර්ෂයේදීම ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට හිමි වුණ තවත් විශිෂ්ට නිර්මාණයක්. රොෂාන් රවින්ද්‍ර, චාන්දනී සෙනෙවිරත්න, තුමිඳු දොඩන්තැන්න, කලනි දොඩන්තැන්න, ධර්මප්‍රිය ඩයස්, උදයන්ති කුලතුංග සහ ජගත් මනුවර්ණ මෙහි ඉතාම සාර්ථක රංගනයක නියැලෙනවා. කැමරාව ධම්මික රත්නායක විසින් සහ තිර රචනය නාමල් ජයසිංහ විසින්මයි. “මේකෙ සහෝදරයො කියලා කියන්නෙ සමාන හදවත් ඇති සමාන මිතුරන් දෙදෙනෙකුට. ඒක එක බඩවැල කඩාගෙන ආවට වඩා, ‘සහෘද’ කියන අදහස ඇතුළෙ තමයි අර්ථ ගැන්වෙන්නෙ. මෙහි සිටින සහෘදයො දෙන්නා එක සමාන දෙන්නෙක් නෙමෙයි. පංතිමය වශයෙන්, ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන් හාත්පස වෙනස් දෙන්නෙක්. නමුත් ඒ දෙදෙනා එක්තරා අදහසක් වෙනුවෙන්, අරමුණක් වෙනුවෙන් සමාන හදවත් ඇති අය” මෙහෙම කියලා තිබ්බේ නාමල් ජයසිංහ විසින්. විශේෂයෙන්ම මෙහි එන රෝමාන්තික රූප රාමු, වර්ණ සංයෝජන සහ කසුන් කල්හාරගේ විශිෂ්ට සංගීත ඛණ්ඩ නිසා සම්මානනීය ටෙලි නාට්‍යයක් බවට පත් වුණා. 

 

3. බොහීමියානුවා

ශ්‍රී ලාංකේය ටෙලි නිර්මාණ කලාව ඇතුලේ බොහොමයක් රසවත් තිර පිටපත් නිර්මාණය කළ කලාකරුවෙක් විදියට නාමල් ජයසිංහ හඳුන්වාදෙන්න පුළුවන්. අප්පච්චි, රතු අහස, ජීවිතේට ඉඩ දෙන්න, අහසින් වැටුනා වගේ බොහොමයක් වෙනස් ටෙලි නිර්මාණ ලියැවෙන්නේ නාමල් අතින්. බොහීමියානුවා කියන්නේත් එහිම දිගුවක්. අතිශය සුන්දර ආදර කතාවක් සමඟ අද කාලේ මිනිසුන් තුළින් ඉපදෙන්න අවශ්‍ය සමාජ ආදරය ගැන ඔබට කියා දෙන හරිම සංවේදී කතාවක් මේ සඳහා වස්තු බීජය වී තිබෙනවා. භාගේශ්‍රී ෆොන්සේකාගේ මනරම් සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් මෙම ටෙලි නාට්‍යය නිර්මාණය වී තිබෙනවා.

 

4. තාත්තා 

මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය ලෙස ඇගයීමට පත්වූ “තාත්තා” ටෙලිනාට්‍ය​ය වෙනුවෙන් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, හොඳම තිර රචනයට හිමි සම්මානයත් හිමිකර ගත්තේ ලලිත් රත්නායක විසිනුයි. ඔහු “තෙත් සහ වියළි, අරුංගල්, one way” සහ “තාත්තා” ටෙලිනාට්‍යයත් “විෂම භාග” චිත්‍රපටයේත් අධ්‍යක්ෂකවරයායි. 

පසුගිය සුමති සම්මාන 2019 උළෙලේ දී හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික), හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම සහාය නිළිය – යශෝධා රසඳුනි, හොඳම සහාය නළුවා – දසුන් පතිරණ “තාත්තා” වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. විශේෂයෙන්ම සුවිශේෂී රංගනයක නියැලුණු හේමසිරි ලියනගේ මහතාගේ අද්විතීය රංගන ප්‍රතිභාව මේ සඳහා විශාල ආලෝකයක් වුණු බව අවිවාදිතයි. ‘තාත්තා’ ටෙලි නාට්‍යයට පසුබිම් වන්නේ පියෙකු සහ පුතෙකු අතර සෙනෙහස පිළිබඳ කතාවක්. සිරකරුවෙකු පිළිබඳ සාමාන්‍ය සමාජයේ පවතින ජනප්‍රි​ය ආකෘතිය​ට (stereotype) ප්‍රබ​ල ලෙස අභියෝග කිරීමට ද ‘තාත්තා’ ටෙලි නාට්‍යය සමත් වෙනවා.  

 

5. සුදු ඇඳගෙන කළු ඇවිදින්

සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයක් වන මෙහි අමරපාල ලෙස ලක්ෂ්මන් මෙන්ඩිස්, ස්වර්ණා ලෙස චන්දනී සෙනෙවිරත්න, විල්සන් ලෙස ආනන්ද කුමාර උන්නැහේ, සුබා ලෙස උමයංගනා වික්‍රමසිංහ, රූපසිංහ ලෙස නිරෝෂන් විජේසිංහ සහ අයෝමා ලෙස මිෂෙල් දිල්හාරා සුවිශේෂී රංගන කෞෂල්‍යයක් දක්වනවා. ධෛර්‍ය, මානව දයාව සහ සහජීවනය මිනිසුන්ගේ ජීවිත ආලෝකමත් කරනවා. නාගරික දරිද්‍ර පරිසරයක ජීවත් වීමට නොහැකිව තම අක්මුල් සොයා ජීවිතයෙන් පලා යන මවක් හා දියණියකගෙ ජීවන අරගලය මෙම ටෙලි නාට්‍යයේ කතා තේමාවයි. ඇත්තටම අපි හැමෝම සුදු කළු සම්මිශ්‍රණයක්. අප මොකක් හරි යටපත් කරගෙන තමයි ඉන්නේ. එක්කෝ සුදු. නැත්නම් කළු. එහෙම නෙවේ නම් මේ දෙකටම මැද. මේක ඇතුළේ අපිට අපිවම පෙන්වනවා. අපේ ජීවිතයේ ස්වභාවය පෙන්වනවා. මෙවර සුමති සම්මා උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍ය වුණෙත් මෙයයි. 

 

6. ගොලු තාත්තා

ලංකාවේ පර්යේෂණාත්මක ටෙලි රූපමය කතාවක්‌ වන ගොලු තාත්තාඔක්‌ෂාන් විඡේරත්නගේ නිර්මාණයක්. ගුණාත්මක භාවයෙන් තොරව හුදු ලාභ පරමාර්ථය උදෙසාම නාට්‍ය නිර්මාණ බිහිවෙන කාලවකවානුවක්‌ තුළ අපිට අලුතින් හිතන්නට, අපේ හදවතට තට්‌ටු කරලා බලන්නට උගන්නපු නාට්‍යයක් ලෙස මෙය හඳුන්වාදෙන්න පුළුවන්. මෙරට අති දක්ෂ රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින රංගනවේදියෙක් වන මහේන්ද්‍ර පෙරේරා මෙහි තාත්තාගේ චරිතය අතිශය දක්ෂ ලෙස රඟපාමින් හොඳම නළුවා සම්මානයට ද පාත්‍ර වුණා.  ඊට අමතරව සිග්නීස් සම්මාන උළෙලේදී හොඳම කැමරාකරණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම වේශ නිරූපණය හා වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය යන සම්මාන වලින් පිදුම් ලැබීමට ගොලු තාත්තා සමත් වුණා. 

 

7. දස්කොන්

දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර, ශ්‍රී ලාංකික රූපවාහිනී කලාව නව ආරයකට ගෙන යමින් රූපවාහිනී ප්‍රේක්ෂකයාට සිනමාත්මක අත්දැකීමක් ලබා දුන් කතාමාලාවක්. රොෂාන් රවීන්ද්‍ර විසින් මෙයට තේමා වූ දස්කොන් චරිතය නිරූපණය කළ අතර, පූජා උමාශංකර් සහ අඛිල ධනුද්ධර මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළා. ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද මෙම ඓතිහාසික මාලා නාට්‍යයට පාදක වී ඇත්තේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වල්ලභ රැජින වූ ප්‍රමිලා දේවිය සහ අමාත්‍ය දස්කොන් අතර ඇතිවූ ජනප්‍රවාදගත ප්‍රේම සම්බන්ධතාවයයි. හොඳම නැගී එන ටෙලිනාට්‍ය නළුවා, හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය, හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක, හොඳම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය, හොඳම මාලා නාට්‍යය, හොඳම ටෙලිනාට්‍ය කැමරාකරු, හොඳම ටෙලිනාට්‍ය සංස්කාරක, හොඳම ටෙලිනාට්‍ය අංගරචනය, හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය, හොඳම ටෙලිනාට්‍ය පිටපත, හොඳම රූපවාහිනී පද මාලා, හොඳම ටෙලිනාට්‍ය ගායිකාව ආදී සම්මාන රැසක සාඩම්බර අයිතිකරු වීමට දස්කොන් ට හැකි වුණා. 

 

තිනෙති නානායක්කා​ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *