වායු දූෂණ රකුසා මගහරින්නට මේ උපදෙස් පිළිපදිමු!

වායු දූෂ​ණය කියන්නේ අද වෙද්දි ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව වගේම චීනයෙත් ප්‍රධාන නගර කිහිපයකටම බලපාන ලොකු ප්‍රශ්​නයක් වෙලා තියෙනවා. කාර්මීකරණය වගේම වගා සහ කැලෑ ගිනි තැබීමත් මේ වායු දූෂ​ණයට හේතු වෙලා තියෙනවා. සුමාත්‍රා දූපතේ මහ කැලෑ ගිනි තියනකොට ඒ යාබද මැලේසියාවට සිංගප්පූරුවටත් දූෂිත වාතය එනවා. ඒ වගේම වගාවන් වල පිදුරු ගිනිලෑම නිසා ආපු ඉන්දියාවේ දුමක් කොළඹටත් සුළඟින් ගහගෙන ඇවිල්ලා තිබුනා. ඒ නිසා අපිත් අපේ හුස්ම ගන්න වාතය ගැන ටිකක් කල්පනා කරන්න කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ.

 

1. අනුන්ගේ වාහනේ වැඩට යමු

වාහන දුමින් වායු දූෂ​ණයට තියෙන දායකත්වය සුළු පටු නැහැ. ලංකාවේ පොදු ප්‍රවාහනය ටිකක් අජපල් තමයි. ඒත් අපිට අඩුගානේ වායු දූෂණය වැඩියි කියලා තියෙන දවස් වල හරි කෝච්චියේ බස් එකේ හෝ නැතිනම් ස්ටාෆ් සර්විස් බස් එකක හරි වැඩට යන්න පුළුවන් නම් එමගින් අපේ කාර් එකේ, බයික් එකේ දුම වායු දූෂ​ණයට එකතුවෙන එක ටිකක් වැළකෙනවා. පරිසර හිතකාමී පැත්තෙන් ගත්තාම හො​ඳම විසඳුම තමයි විදුලි දුම්රිය. අපේ රටේ නම් තවම විදුලි දුම්රිය නැහැ. යුරෝපා රටවල ජනතාව විදුලි දුම්රියෙන් වැඩට ගිහින් එතැන ඉ​ඳලා බයිසිකලයෙන් සේවා ස්ථානයට යන්නට හුරු වෙලා තියෙනවා. පදින බයිසිකල් පාවිච්චිය ටිකක් මහන්සි වැඩක් වුනත් ඒ තුලින් ඒ ගොල්ලන්ට නගරයේ වායුව පිරිසිදුව තියාගන්නට පුළුවන් වෙලා තියෙනවා. 

 

2. කුණු පුච්චන්න එපා!

කාලෙන් කාලෙට එ​න ඩෙංගු උවදුරත් එක්ක අපිට වත්ත පිටිය ටිකක් පිරිසිදු​වට තියාගන්න වෙනවා. එතැනදි කරන සුලබ දෙයක් තමයි කුණු ටික එකතු කරලා ගොඩගහලා පුච්චන එක. ඉන්නේ නාගරික වටපිටාවක නම් කුණු පුච්චන එකත් වායු දූෂ​ණයට හේතු වෙනවා. ඉන්දියාවේ මේ කාලේ පන්ජාබයේ තිරිඟු හේන් ගිනි තියනවා. ඒ ගින්දර දුමත් දිල්ලිය සහ අවට නගර වල අධික සැර දුම් තත්ත්වයට බලපාලා තියෙනවා.

 

3. ගිනි දැල්වීම් අවම කරමු

ගිනි දල්වන වෙලාවන් ගොඩක් තියෙනවා. බාබකියු දානකොට ගිනි තියනවා, කෑම්පින් කරන කොට ගිනි තියෙනවා ඒ වගේම උත්සව අවස්ථාවල රතිඤ්ඤා මල් වෙඩි ආදිය මගිනුත් දුම සහ ගිනි වැඩිපුර නිර්මාණය වෙනවා. එක රතිඤ්ඤා කරලකින් එන්නේ පොඩි දුමක් වුනත් මේ පහුගිය දවස්වල ඡන්ද උණුසුමට පිළිස්සුනු රතිඤ්ඤා සුව​ඳ පැය ගා​ණක් යනකල් පාරේ තිබුනා ඔයාලට මතක ඇති. ඉතින් හැකි හැම වෙලාවෙම දුම් තත්ත්වය පාලනයට අපිට දායක වෙන්න පුළුවන් නම් හො​ඳයි.

 

4. වායු පිරිසිදුකාරකයක් පාවිච්චි කිරීම

නිවස තුල අපි ඉන්න පොඩි අවකාශයේ වාතය පිරිසිදු කරගන්න දැන් එයා පියුරිෆයර්ස් ඇවිල්ලා තියෙනවා. විදුලියෙන් වැඩ කරන මේ එයා පියුරිෆයර් හරහා වාතයේ තියෙන ටිකක් ලොකු දූවිලි අංශු සහ අහිතකර කුඩා දුම් කොටස් වාතයෙන් ඉවත් කරනවා. මේ තුලින් අපිට නිවසෙන් එලියේදි ලොකු වැඩක් ගන්න අමාරුයි. ඒත් කාර්යාලයේ අපි නිතරම ඉන්න තැන. ගෙදරදි වැඩිපුරම වාඩිවෙලා ඉන්න තැන වාතය පිරිසිදු කරගන්න මේ එයා පියුරිෆයර්ස් පාවිච්චි කරන්න පුළුවනි.

 

5. දූෂ​ණය වැඩි දිනවල එලියේ වැඩ අඩු කිරීම

වායු දූෂ​ණය වැඩිවෙනකොට අපිට මාධ්‍ය වලින් දැනගන්නට ලැබෙනවා. එහෙම ගොඩක්ම සවුත්තු දවස්වල එලියේ කරන ක්‍රීඩා ආදිය වගේම එලියට පහලියට බැහැලා යන්න වෙන අවස්ථා අඩු කරගන්නවා නම් ඒක ගොඩක් හො​ඳයි. මොකද අපේ කොළඹ වාතය දවස් ග​ණන් දිල්ලියේ වගේ අපිරිසිදු වෙලා හිටින අවස්ථා බොහොම අඩුයි. ඒ නිසා වාතය අපිරිසිදු වෙලාවට වැඩිපුර එළිය​ට බහින්නේ නැතුව ටිකක් එකලාසයක් වෙනකල් බලා ඉන්න එක කෝකටත් හො​ඳයි.

 

6. මුඛවාඩම් භාවිතය

මුඛවාඩම් නම් හැම සුපර්මාකට් එකකම තියෙනවා. ඒ වගේම වාතයේ තියෙන අහිතකර දේවල් අපේ හුස්මට එකතු වෙන එක නවත්වන ටිකක් සුපිරි තත්වයේ මුඛවාඩමුත් දැන් තියෙනවා. ව්‍යායාම කරන්න එලියට යන්න පුරුදු වුන කෙනෙක්ට වායු දූෂ​ණය ටිකක් වැඩි දවස්වලට හරි මුඛවාඩමක් පාවිච්චි කරන්නට හැකියි. ඒ වගේම ආඝ්‍රා​ණය කරන දුමට වඩාත් සංවේදී වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ටත් වායුව පැහැදිලි නැති දවස්වලට මුඛවාඩම් පළ​ඳවන එකෙනුත් වායු දුෂ​ණයෙන් ටිකක් ගැලවෙන්නට අපිට හැකි වෙනවා.

 

7. ප්‍රධාන වීදි වලින් සහ ට්‍රැෆික් වලින් ඈත්වීම

කොළඹ නම් ට්‍රැෆික් හිටින්නේ මොන වෙලාවටද? ඒ මොන වගේ පාරවලද කියන එක අපි හො​ඳටම දන්නවා. ඉතින් වායු දූෂ​ණය වැඩි දවසට ඒ පාරවල් සහ වාහන වැඩිම වෙලාවල් මග ඇරලා යන එකත් කරන්න පුළුවන් නම් හො​ඳ දෙයක්. ටිකක් වේලාසන නැගිටලා වැඩට එන්න නම් පුළුවන්. ඒත් අපි හැමෝටම වැඩ ඇරිලා ගෙදර යන වෙලාවට නම් පාරවල් මග අරින්න ටිකක් අමාරුයි. කොහොම වුනත් ටිකක් කල්පනා කරලා ට්‍රැෆික් සහ සිටි ඒරියා එක වායු දූෂ​ණය වැඩි දවස්වලටවත් මගෑර ගන්න පුළුවන්නම් වටිනවා.

 

මේ වායු දූෂණය නවත්වන එක අපිට විතරක් කරන්න බැහැ. ඒත් ගිනි දැල්වීම් අඩු කිරීම, කුණු ආදිය පිළිස්සීම් අඩු කිරීම වගේ දේවල් නම් අපිටත් කරන්න පුළුවන් ​දේවල්. ලෝකේ දියුණු නගර වල දැන් බයිසිකල් භාවිතය වැඩි කිරීම, පොදු ප්‍රවාහනය දියුණු කිරීම, කර්මාන්ත ආදියෙන් සිදුවන වායු දූෂ​ණය අවම කිරීම වගේ දේවල් ගැන කතාබහ ඇතිවෙලා තියෙනවා. අපිත් දියුණුවීම හුදෙක් ඉදිකිරීම් දෙසට​ම යොමු නොකර මේ පරිසර දූෂණය, වායු දූෂණ​ය ගැනත් දැන්ම හිටන්ම හිතන්නට ඕනා. එතකොට අපිට අනාගතයේ යම් සංවර්ධනයක් ලංකාවේ වුනොත් චීනයේ හෝ ඉන්දියාවේ වගේ නගරයේදී  නිදහසේ හුස්ම ගන්න බැරිවෙන අවුලක් එන එකක් නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *