“සෙකන්ඩ් වෙන්න එපා” කියන එක සාමාන්‍යයෙන් අපිට ඇහෙන කතන්දරයක්නේ. ඒකෙන් කියන්නේ කිසියම් අවස්ථාවක කිසියම් කෙනෙක් ඉස්සරහා දෙවෙනි වෙන්න එපා කියන එකනේ. මේක හොඳට වගේම නරකටත් ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි අතින් සිද්ධ වෙන මොකක් හරි වැරැද්දකට අපි කෙනෙක්ට සමාවෙන්න කියනවා කියලා. ඒක කිසිසේත්ම සෙකන්ඩ් වීමක් නෙවෙයි. එතකොට අපි හිතමු පෝලිමක අපි ඉන්නකොට කෙනෙක් අපෙන් ඉල්ලා හිටියොත් එයාට මොකක් හරි තදබල හදිසියක් නිසා කලින් අවස්ථාව දෙන්න කියලා, අපි ඒ අවස්ථාව ලබාදුන්නොත් ඒකත් සෙකන්ඩ් වීමක් නෙවෙයි. මේවා ආචාරශීලී බවේ ලක්ෂණ සහ තව කෙනෙක්ට උදවු කරන කෙනෙක්ගේ ලක්ෂණ. ඒ වගේම අල්ලපු ගෙදර එකාට සෙකන්ඩ් නොවෙන්න කියලා ඊට වඩා ලොකුවට ගෙවල් හදන එක වගේ දේවලුත් විකාරයි. අපි කතා කරන්නේ මේ එක දෙයක්වත් ගැන නෙවෙයි. හැබැයි එදිනෙදා ජීවිතේ මුණගැහෙන තවත් සමහර තැන් තියෙනවා අපි කෙනෙක්ට සෙකන්ඩ් වෙන. ඒක සමහර වෙලාවට දන්නෙම නැතුව සිද්ධ වෙන්න පුළුවන්, එහෙමත් නැතිනම් අපිට එතනදී ෆස්ට් වෙන්න තියෙන නොහැකියාව, ධෛර්යයක් නැතිකම නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ එහෙම සෙකන්ඩ් නොවී ඔලුව කෙලින් තියාගෙන ජීවත් විය යුතු අවස්ථා කීපයක් ගැන!
1. කෙල්ල ඉස්සරහා!
සමහර කොල්ලෝ ඉන්නවා, කිසිමාකාරයක පර්සනැලිටි එකක් තියාගෙන නෙවෙයි වැඩ කරන්නේ. උදාහරණයක් විදියට කිවුවොත් කෙල්ලත් එක්ක කොහේ හරි යන්න කතා කරන්නේ කිසිම අයිඩියා එකක් ඔලුවේ තියාගෙන නෙවෙයි. ඔයාට කවදද පුළුවන්, එදාට යමු කියලා පටන් ගන්නේ. ඉන් පස්සේ අපි කොහේද යන්නේ, මොනවද කරන්නේ කියලා අහන්නෙත් කෙල්ලගෙන්. ඔහොම හැම එකම කෙල්ලට ඕන දේ අහල අහලා, අන්තිමට කෙල්ලට එපා වෙනවා උත්තර බැඳලා. ඇත්තටම දෙන්නෙක් එක්ක ඉන්නකොට එක්කෙනෙක්ට ඕන දේ විතරක් කරලා හරියන්නෙ නෑ. හැබැයි මේ විදියට තමන්ට කිසිම චොයිස් එකක් නැති විදියට වැඩ කරනකොට වෙන්නේ නිකම්ම කෙල්ල ඉස්සරහා සෙකන්ඩ් වෙන එක. අන්න ඒක අප්සට්. ඒ නිසා නියම පිරිමියෙක් විදියට, කෙල්ල ඉස්සරහා පාපිස්සක් නොවී තමන්ගේ කැමැත්තත්, එයාගේ කැමැත්තත් දෙකම සලකලා බලලා කටයුතු කරන එක තමයි ක්‍රමේ.
2. කොල්ලා ඉස්සරහා!
සාමාන්‍යයෙන් ඔය ඉස්සර තිබුණු මතය තමයි කොල්ලෙක් ඉන්නේ හම්බුකරන්න, කෙල්ලෙක් ඉන්නේ ගෙදර දොරේ වැඩ පළ කරන්න කියන එක. හැබැයි දැන් වෙනකොට ඔය මතය වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි සමහර ගෑණු ළමයි ඔය යැපුම් මානසිකත්වයේ ඉන්න නිසාම නොදැනුවත්වම තමන්ගේ කොල්ලා ඉස්සරහා සෙකන්ඩ් වෙනවා. හරි, අපි කියමු කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා, බැන්දට පස්සේ කෙල්ල රස්සාවක් කරන්න ඕන නැහැ කියලා තමයි හිතන්නේ. ඒක දෙන්නගේම කැමැත්ත නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි කෙල්ලට අඩු තරමින් තමන්ගේ කුසලතාවයන් වර්ධනය කරගන්න, ඒ කුසලතාවයකට ගැලපෙන යම් දෙයක් වත් කරන්න පුළුවන් කම තියෙන්න ඕන. ඒක ගෙදර ඉඳගෙන කරන දෙයක් වෙන්න පුළුවන්. එළියට බැහැලා කරන්න වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ කොයික වුනත්, ඒ වගේ තමන්ට කියලා කෙල්ලෙක්ට ස්ථාවරයක් හදාගන්න පුළුවන් නම්, කවදාවත් තමන්ගේ කොල්ලා නැතිනම් තමන්ගේ මනුස්සයා ඉස්සරහා සෙකන්ඩ් වෙන්න සිද්ධ වෙන්නෙ නෑ!
3. බස් එකේදී!
බස් එකේ ලොක්කා කවුද? ආන්න ඒකට හරි උත්තරේ දන්නවා නම් බස් එකකදී කාටවත් සෙකන්ඩ් නොවී ඉන්න පුළුවන්. බස් එකක ඇත්තටම ලොක්කෝ නෑ. බස් එකක ඉන්නේ අපිට ගෙවන මුදලට සේවය සපයන උදවිය. හැබැයි බස් එකේ නිසි බලධාරියෙක් ඉන්නවා. ඒ තමයි කොන්දොස්තර උන්නැහේ සහ සමහර වෙලාවට ඩ්‍රයිවර් උන්නැහේ. ඒත් කොන්දොස්තර උන්නැහේ කියන්නේ බස් එකේ ලොක්කා නෙවෙයි. අපිට බස් එකකදී සෙකන්ඩ් නොවී ඉන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ගැටළු සහ ගැටුම් ඇතිවෙන එක වළකින විදියට වැඩ කරන එක. උදාහරණයක් විදියට ගත්තොත් මාරු සල්ලි අතේ තියාගන්න එක. තමන්ගේ බෑග් මළු අනික් අයට කරදරයක් නොවෙන විදියට රැක් එකට දාන එක. අනික් මිනිස්සුන්ටත් ඉඩ දීලා බස් එකේ මැදට යන එක. හැබැයි ඔය දේවල් කරලත් කොන්දොස්තර උන්නැහේ අපිට තග දානවා නං මොකද කරන්න ඕනේ? ගේම ඉල්ලන්න ඕනැද? නැහැ. කෙලින්ම කෝල් එකක් ගන්න ටිකට් එකේ තියෙන බස් අයිතිකාරයගේ නොම්බරේට. කතා කරලා කියන්න සීන් එක. ආන්න එහෙමයි කොන්දොස්තර උන්නැහේ ඉස්සරහා සෙකන්ඩ් නොවී ඉන්නේ!
4. පොලිසිය ඉස්සරහා!
සාමාන්‍යයෙන් කවුරු වුනත් පොලිසියට පොඩි හරි බයක් තියෙනවා. මොකද නීති ක්‍රියාත්මක කරන්නේ පොලිසිය නිසා, අපි අතින් මොකක් හරි වැරැද්දක් වුනොත් අපිව අල්ලගන්න පොලිසියට බලය තියෙන නිසා. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ පොලිසියට ඕනම දෙයක් කරන්න බලය තියෙනවා කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි නොකළ වැරැද්දකට අපිට තග දාන්න පොලිසියට බෑ. බලහත්කාරයෙන් දේවල් කරන්න පොලිසියට බෑ. ශාරීරික හිරිහැර කරන්න පොලිසියට බෑ. ආන්න ඒ නිසා පොලිසිය ඉස්සරහා සෙකන්ඩ් නොවී ඉන්න නම් මනුස්සයෙක් දැනගන්න ඕන රටේ නීතිය සහ තමන්ගේ අයිතිවාසිකම් ගැන. ආන්න එතකොට පොලිසිය අපිට අනවශ්‍ය විදියට බලපෑමක් එල්ල කරනවා නම් කෙලින්ම පොලිසියේ ලොකු තැන් වලට පැමිණීලි කරන්න පුළුවන්. අවශ්‍යනම් එතනින් උඩට උනත් යන්න පුළුවන්!
5. බුලීස්ලා ඉස්සරහා!
අපිට එදිනෙදා ජීවිතේදී මුණගැහෙන එක මිනිස්සු වර්ගයක් තමයි අනික් මිනිස්සුන්ට පාට් දාන, අනික් මිනිස්සුන්ට තග දාන, අනික් මිනිස්සුන්ව පාගන්න උත්සාහ කරන මිනිස්සු. ඔය ඉංගිරිසියෙන් බුලීස් කියන්නේ ආන්න ඒ වගේ මිනිස්සුන්ට. උදාහරණයක් විදියට ගත්තොත් දැකලා තියෙනවද මිනිස්සු බස් එකට නගින්න පෝලිමේ ඉන්නකොට ඔය පෝලිම් කිසි දෙයක් ගණන් නොගෙන ගිහිල්ලා බස් එකට නගින මිනිස්සු? ෆුඩ් සිටි එකේ සල්ලි ගෙවන්න පෝලිමේ ඉන්නකොට දන්නෙ නෑ වගේ පෝලිමෙන් පිට ගිහිල්ලා බඩු ටික අරගෙන යන මිනිස්සු? එතකොට පාරේ යනකොට අනික් වාහන වල ඇඟට අල්ලගෙන පිඹගෙන යන මිනිස්සු? ඒ වගේ මිනිස්සු ඇත්තටම බුලීස්ලා. එහෙම අය ඉස්සරහා සෙකන්ඩ් නොවී ඉන්න කරන්න තියෙන්නේ සරල දෙයයි. එහෙම දෙයක් සිද්ධ වුණු හැටියේ කට පියාගෙන නොඉඳ වහාම ඒකට විරුද්ධ වෙන එක. පෝලිමේ ඉන්නේ නැතුව බස් එකට නගින්න යන මනුස්සයෙක් නම් වහාම ඒකට විරුද්ධව කතා කරන්න. ඒකෙන් පලක් නොවෙනවා නම් වහාම කොන්දොස්තරවරයාගෙන් ඉල්ලා හිටින්න ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. පාරෙදී වාහනේ ඇඟට කපාගෙන කඩාගෙන යන මනුස්සයෙක් දැක්කොත් වාහනේ අංකේ මතක තියාගෙන වහාම ඊලඟට මුණගැහෙන ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන්න. බුලීස්ලා සාමාන්‍යයෙන් තග දාගෙන ආවට බයයි. ඒ නිසා බුලී කෙනෙක් ඉස්සරහා නැගි හිටීම තමයි බුලීස් ලට සෙකන්ඩ් නොවී ඉන්න පුළුවන් හොඳම ක්‍රමය.
6. ෆේස්බුක් එකේදී!
දැන් කාලේ ෆේස්බුක් එකේ නැති මනුස්සයෙක් නැහැනේ. ඒ නිසා තමයි ෆේස්බුක් එකේත් ඇත්ත ලෝකේ වගේම වාද විවාද, ප්‍රශ්න ගැටලු, වලි වගේ හැම ජාතියක්ම තියෙන්නේ. හැබැයි මේ කොයි දේ වුනත් ෆේස්බුක් එකේ වෙන කාටවත් සෙකන්ඩ් නොවී ඉන්න නම් අනුගමනය කරන්න ඕන කිසිම දේකට සහභාගී නොවී පැත්ත ගහලා ඉන්න එක නෙවෙයි. පළවෙනිම දේ තමයි රහසින් පව් කරන්න නොයාම. ඒ කියන්නේ ෆේස්බුක් වෝල් එකේ ධර්ම ටෝක් දෙන ගමන් ඉන්බොක්ස් ගිහින් කෙල්ලන්ට සෙක්ස් කරන්න කතා කරන එක කවදාහරි එළි වෙනවා. ආන්න එතකොට තමන් සෙකන්ඩ් වෙනවා. දෙවෙනි දේ තමයි දන්නා දේ විතරක් කතා කිරීම. ඔය ෆේස්බුක් වාදෙකදී එහෙම නොදන්න දේවල් දන්නවා වගේ කියනකොට, ඒ දේවල් දන්න කවුරුහරි ඇවිත් ඒක පෙන්නලා දෙන්න පුළුවන්. ආන්න එතකොට අපි සෙකන්ඩ් වෙලා. තුන්වෙනුව, දකින දකින හැමදේම ෂෙයාර් කරන්න නොයාම. එතනදී වැරදි කරුණක් ෂෙයාර් වුනොත්, අපිට සෙකන්ඩ් වෙන්න වෙනවා. හතරවෙනුව, දකින දකින හැමදේටම හොම්බ දාන්න නොයා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉඳීම. අපි අනවශ්‍ය තැනක අනවශ්‍ය කතාවකට පැටලුනොත්, අනවශ්‍ය කෙනෙක්ගෙන් බැණුම් අහගන්න වුනොත් අපිට සෙකන්ඩ් වෙන්න වෙනවා.
7. තමන්ගේ දරුවෝ ඉස්සරහා!
තමන්ගේ දරුවෝ ඉස්සරහ සෙකන්ඩ් වෙන්නේ නැහැයි කියන එක ටිකක් සංකීර්ණ කතන්දරයක්. දැන් අපි කියමු තමන්ගේ ළමයා තමන්ට වඩා ඉහළට ඉගෙන ගන්නවා. ආන්න එතකොට ළමයට වඩා සෙකන්ඩ් නොවෙන්න කියලා ළමයව පාගන්න උත්සාහ කරන එක, ළමයගේ දැනුම හෑල්ලු කරන්න උත්සාහ කරන එක හරි දෙයක් නෙවෙයි. ළමයා එකට එක කියාගෙන ආවොත් කණේ පාරක් ගහන එක සෙකන්ඩ් නොවී ඉන්න කියලා කරන හරි දෙයක් නෙවෙයි. දෙමව්පියෝ ඇත්තටම දරුවෝ ඉස්සරහා සෙකන්ඩ් නොවී ඉන්න නම් කරන්න ඕන තමන් ආදර්ශමත් වෙන එක. සරල දෙයක් නේද? ඇත්තටම නෑ. මේක කිසිසේත්ම සරල නෑ. අපිට දරුවෝ හොඳ පුරවැසියෝ විදියට හදාවඩා ගන්න නම්, මුලින්ම අපි හොඳ පුරවැසියෝ වෙන්න වෙනවා. අපි කවුරුත් වැරදි කරනවනේ. ඒත් අපිට දෙමව්පියෝ විදියට දරුවෝ ඉස්සරහා වැරදි කරන්න බෑ. උදාහරණයක් විදියට කිවුවොත්, අපි දරුවෝ ඉස්සරහා තමන්ගේ සහකරුවාට බැණ වදිනවා නම්, දරුවෝ තමන්ගේ අම්මට හරි තාත්තට හරි ගරු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි දරුවෝ ඉස්සරහා කණමදයො වගේ බීගෙන එනවා නම්, දරුවෝ කරදඬු උස්මහත් වෙනකොට රහමෙර පාවිච්චියට ඇබ්බැහි නොවෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ආන්න ඒ නිසා දරුවෝ ඉස්සරහා සෙකන්ඩ් නොවෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන් ආදර්ශවත් වෙන එක!
Leave a Reply