ඔසප් සෞඛ්‍ය ගැන අපි නොදන්න දේවල්

බැලූ බැල්මට ටිකක් කුණුහරපයක් වගේ පේනවද ටොපික් එක? අපේ ලංකාවෙ සමහර දෙනෙක්ටනම් එහෙම හිතෙන්න පුළුවන්. පහුගිය දවස්වල මේ ඔසප් වීමයි සනීපාරක්​ෂක නිෂ්පාදනයි ගැන ඇති වුණ, දේශපාලනයටත් කොණක් ගෑවුණ කතාබහෙන්ම අපි මේ ගැන එළිපිට කතා කරන්න කොයිතරම්නම් බයද කියන එක හොඳටම ප්‍රදර්ශනය උණා. සමහර විවාහක පිරිමි ප්‍රසිද්ධියේම කිව්වා තමන් මුළු ජීවිතේටම ඔසප්වීම ගැන කිසිම දෙයක් දැනගෙන ඉඳල නැති බව. කාන්තාවන් මේ කාරණය ප්‍රසිද්ධියේ කතා කිරීම ගැන අකමැත්තෙන් කතා කළා. හැබැයි ඔසප්වීම සහ ඔසප් සෞඛ්‍ය කියන්නේ බය නැතුව කතා කරන්න ඕන වගේම ගැහැණු පිරිමි භේදයකින් තොරව දැනුවත් වෙන්න ඕන කාරණාවක්. ඉතින් ඔන්න අපි හිතුව අද ඒ ගැන ටිකක් කතා කරන්න 

 

 

1. පළමු ඔසප් වීම 

පළමු ඔසප් වීම නැත්තම් ඔසප් චක්‍රයේ අරම්භය කියන්නෙ මුල්ම වරට ගැහැණු ළමයෙක් මේ ඔසප්වීම කියන අත්දැකීම ලබන අවස්ථාව. ඒ කිව්වෙ අපි හැමෝම දන්න මල්වර වීම නැත්තම් වැඩිවිය පැමිණීම කියන අවස්ථාව. මුල්ම වරට ඩිම්බකෝශ වලින් ඩිම්බයක් නිකුත්වෙලා ඒ ඩිම්බය ශුක්‍රාණුවක් සමඟ මුණ නොගැසීම නිසා ගර්භාශ බිත්තියත් සමඟ ගැලවිලා යෝනිමාර්ගය හරහා පිටවෙන අවස්ථාව. මේක ගර්භාශය හඬාවැටීම කියලත් ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. අර ඔසප් වීම ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න බය වෙන හුඟක් ඈයො ගැහැණු දරුවෙකුගේ මල්වර වීම මුළු ගමටම අඬබෙර ගහල මහ ඉහළින් සමරන්නනම් දෙපාරක් හිතන්නෙ නැහැලු ඔන්න.

 

 

2. ඔසප් චක්‍රය

දැන් කලින් කියපු විදිහට පටන් ගන්න ඔසප් වීම ගැහැණු දරුවෙක් වැඩිහිටි වෙලා මැදිවියට ලංවෙනකන්ම නොකඩවා මාසිකව සිදුවෙනව. අන්න ඒකට තමයි කියන්නේ ඔසප් චක්‍රය කියල.  ඩිම්බයක් නිකුත් වීම ඉඳන් ඔසප් වීම, නැවත අනික් මාසෙ ඩිම්බයක් නිකුත්වීම වෙනකං චක්‍රාකාරව සිද්ධ වෙන නිසා තමයි ඔසප් චක්‍රය කියක හඳුන්වන්නෙ. මේක සිදුවෙන්නෙ කැලැන්ඩර් මාසයට නෙමෙයි. චන්ද්‍ර මාස අනුව. ඒ කියන්නෙ සෑම දින 28කටම වතාවක්. කාන්තාවන්ගේ සරු දින ගණනය කිරිම එහෙම සිදු වෙන්නෙත් මේ ඔසප් චක්‍රයට අනුවයි. කලාතුරකින් දින 28ක් නොවෙන දින 30 – 35 දක්වා වෙන ඔසප් චක්‍රයක් පවතින අයත් ඉන්න පුළුවන්.

 

 

3. ඔසප් සෞඛ්‍ය

ඔසප් සෞඛ්‍ය එහෙම නැත්තම් ඔසප් සනීපාරක්ෂාව විදිහට හැඳින්වෙන්නෙ කාන්තාවන්ට සහ වැඩිහිටි ගැහැණු දරුවන්ට ඔසප් රුධිරය නිසියාකාරව උරාගන්නා ඔසප් සනීපාරක්​ෂක මෙවලම් භාවිතයට ඇති හැකියාව, මුළු ඔසප් කාලය පුරාම අවශ්‍ය අවස්ථාවන්වලදී ඒවා මාරුකිරීම සඳහා පෞද්ගලික ස්ථානයක් තිබීම, පිරිසිඳු කිරීම සඳහා ජලය සහ සබන් වැනි ද්‍රව්‍ය​යක් තිබීම වගේම භාවිතා කරන ල​ද සනීපාරක්ෂ​ක මෙවලම් නිසි පරිදි බැහැර කිරීමට ඇති හැකියාව කියන කාරණා ඔක්කෝගෙම එකතුවට. මේක පොදුවේ ඔසප් සනීපාරක්​ෂක කළමනාකරණය කියලත් හඳුන්වනවා.

 

 

4. ඔසප් සෞඛ්‍ය දිනය

ඔය කලින් කියපු කාරණා ඔක්කොම වෙනුවෙන් වෙන් වුණ ඔසප් සනීපාරක්​ෂක දින​ය යෙදිල තියෙන්නෙ මැයි 28 වෙනිදාට. මේ දිනයේ ප්‍රධානම අරමුණ තමයි යහපත් ඔසප් සනීපාරක්​ෂක කළමානාකරණයක් පිළිබඳව කාන්තාවන් සහ වැඩිහිටි ගැහැණු දරුවන් දැනුවත් කිරීම සහ ඒ තුලින් ඔවුන්ව බලාත්මක කිරීම කියන කාරණායි.

 

 

5. ආර්​තවහරණය

ආර්තවය කියල කියන්නෙත් ඔසප් වීම කියන එකටම කියන තවත් වචනයක්. ආර්තවහරණය කියන්නෙ ආර්තවය අතහැරීම කියන අදහසින්. කාන්තාවක් ඇගේ මැදි වයසට ලංවුනාට පස්සෙ, ආසන්න වශයෙන් අවුරුදු 47 – 51 කාලය තුලදී ඔසප් වීම මුළුමනින්ම නැවතීම. ඒ කියන්නෙ කාන්තාවකගේ ප්‍රජනන දිවියේ අවසානය. එතනින් පස්සෙ ඇයගේ ඩිම්බ කෝශ වලින් ඩිම්බ පිටවීමක් හෝ ඔසප් වීමක් කිසිසේත්ම සිදුවෙන්නෙ නෑ. පිරිමි මුළු ජිවිත කාලය පුරාම සක්‍රියව ප්‍රජනනය කළහැකි ජීවීන් උනාට කාන්තාවන්ගේ ප්‍රජනන ජීවිතය මේ කාලෙන් පස්සේ ඉවර වෙනවා. සාමාන්‍ය ආර්තවහරණය සිදුවන වයස් සීමාව කලින් කියපු 47 – 51 උණත් සමහර කාන්තාවන්ට විවිධ හේතු මත වයස අවුරුදු 41 වගේ කාලෙදි නොමේරූ ආර්තවහරණයක් සිදුවෙන්නත් පුළුවන්.

 

 

6. ආර්​තව දුගීබව

ආර්තව දුගීබව කියල කියන්නෙ කාන්තාවකට හෝ වැඩිහිටි ගැහැණු දරුවෙකුට ඉහත කියපු කිසිම පහසුකමකට ලඟාවීමේ නොහැකියාව. සනීපාරක්​ෂක මෙවලම් නොලැබීම කියන කාරණාව විතරක්ම නෙමෙයි, ඔසප් වේදනාව, ඔසප්වීම සැඟවීමට සිදුවීම සහ කොටින්ම ඔසප් චක්‍රය ගැන දැනුවත් නොවීම කියන කාරණාත් මේ ආර්තව දුගීබව කියන එකට ඇතුලත් වෙනවා. ලංකාවේ අපිටනම් නුහුරු නුපුරුදු උනාට අද වෙද්දී ලෝකයේ ඉහළින්ම කතා කරන මාතෘකාවක් තමයි මේ ආර්තව දුගීබව කියන්නෙ.

 

 

 

7. අපි ඉන්නේ කොතනද?

2018 ලෝක බැංකු වාර්තා වලට අනුව අඩුම වශයෙන් ලෝකයේ කාන්තාවන් මිලියන 500කටවත් මේ පහසුකම් ලැබෙන්නෙ නැහැ. ඉන්දියාවේ සෑම ගැහැණු දරුවන් දෙන්නෙකුගෙන් එක්කෙනෙකුත්, ටැන්සානියාවේ සහ උගන්ඩාවේ සෑම ගැහැණු දරුවන් හතර දෙනෙකුගෙන් එක්කෙනෙකුත් තමන්ගෙ පළමු ඔසප් වීමට කලින් ඒ ගැන දැනුවත් නැහැ.  උගන්ඩාවේ ගැහැණු දරුවන් දෙන්නෙකුගෙන් එක් අයෙක් ඔසප් වීම නිසා මාසෙකට දවස් තුනක් පාසල් යන්නෙ නැහැ. බංග්ලාදේශයේ තත්ත්වය තවත් දරුණුයි. ඔවුන්ගේ සමහර ගුරුවරියන් පවා ඔසප්වීම නිසා පාසල් එන්නේ නැහැ. ඉතින් සංඛ්‍යාලේඛන වල නැති උනත් ලංකාවේ තත්ත්වය මීට වඩා ලොකු වෙනසක් නැහැ. නාගරිකව අපිට මේක සාමාන්‍ය කාරණයක් උණත් ග්‍රාමීයව තාමත් ආර්තව දුගී බවින් පෙලෙන කාන්තාවන් ඕන තරම්. ඒ වගේම තාමත් අපි ඔසප් වීම හංගාගෙන කතා කරන ජාතියක් කියන එක රහසක් නෙමෙයි.

දේශපාලන වේදිකාව හරහා හරි මේ මාතෘකාව කරලියට ආපු එක හොඳ කාරණාවක්. ඉතින් නුදුරු අනාගතයේදීවත් මේ කරුණු ගැන අවධානය යොමුවෙලා මේ ආර්තව දුගීබවෙන් අපේ කාන්තාවන් මුදවන්න හැකියාව ලැබෙනවනම් ඒක කවුරු ක​ළත් බොහෝම හොඳ වැඩක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *