ජනාධිපතිවරණයත් අහවරයි ඕන්. දැන් අපේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා පත් කරගෙන ඉවරයි. නමුත් මැතිවරණයට කලින් සිද්ධ වුණ කතාබස් කොහොම නම් අමතක කරන්න ද නේද? පොඩ්ඩක් ඒ ගැන මතකය අවදි කරගමු. ඒ දවස්වල බුකියේ උඩට පහළට යද්දී දැකපු දේවල් මෙහෙමයි.
1. 17වෙනිදාට මූණ බලන්න ඕනි
මේ මැතිවරණයේ දී ගොඩක් නිර්පාක්ෂික කට්ටිය බුකියේ දකින්න ලැබුණා. එයාලා ඇත්තෙන් ම එහෙම ද නැද්ද කියන්න අපි දන්නේ නෑ. නමුත් එහෙම කට්ටිය හැම නිතරම කියපු දෙයක් තමයි ප්‍රසිද්ධියේ තමන්ගේ දේශපාලන මතවාදය වෙනුවෙන් පෙනී සිටින අයගේ මූණක් බැලීම ගැන. ඒ කියන්නේ ඔච්චර කඩේ යන්න එපා කියලයි. හැබැයි ඉතින් මේ දේවල් කියපු උදවිය කොයි තරම් දුරකට පිරිසිදු ද කියන්න අපි දන්නේ නෑ.
2. අපි හම්බ කරොත්, අපි කනවා
හැම මැතිවරණයක දී ම ඇහෙන මේ කතාව ජනාධිපතිවරණය කියලා අමුතුවෙන් නෑහී තිබුණේ නෑ. ඡන්දේ දාන්න බෑ කලකිරිලා කියලා කිව්ව උදවිය තමන්ගේ නිදහසට කාරණය විදියට කිව්වේ මේකයි. හම්බ කරොත් නම් කනවා තමයි. හැබැයි ඒ හම්බ කිරිල්ල තීරණය කරන්නේ ජීවත් වෙන රටේ දේශපාලන අධිකාරය නිසා. අන්න ඒ නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ වගකීමෙන් පිට පනින්න නම් බෑ.
3. ආදරණීයම චරිතය, මැකෝ
ලාංකේය මැතිවරණ ඉතිහාසයේ ඡන්දේ ඉල්ලන්නේ නැතුව ම ජනතාවගේ හදවත දිනා ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි මහින්ද දේශප්‍රිය මහතා. අන්තිමේ කොහොමින් හරි කට්ටිය නැවතුණේ අනේ ඔබතුමා ඡන්දේ ඉල්ලන්නකෝ කියන ලෙවල් එකේ. මේ වගේ ආදරයක් ඔහුට හිමි වෙන්න හේතුව රාජ්‍ය සේවකයෙකු වශයෙන් සෘජු තීරණ ගන්න තියෙන හැකියාවයි. මේ ජනාධිපතිවරණයත් සමඟ එතුමා විශ්‍රාම ගන්න සැරසෙනවා. ගොඩක් දෙනා දුකෙන් ඉන්නේ ඉතින්.
4. ඇඟිල්ලේ ෆොටෝ එපා
තවත් අයෙක් මොන ම විදියකින් හරි සතුටු වෙනවා බලන්න බැරි නිසා එයාලාව පාලනය කිරීමේ අමුතු ආශාවකින් පෙළෙන අපේ හැටියට ගැලපෙන ම උදාහරණයක් තමයි මේ ඇඟිල්ලේ කතාව. ඡන්දේ දාන්න දවසකට විතර කලින් තමයි ‘දැන් ඉතින් මේකේ ඇඟිලි දදා වැළලෙන්න එපා’ වගේ කතන්දර උඩට ආවේ. ෆේස්බුක් සංස්කෘතික සංගමය විසින් එහෙම රීති පැනෙව්වට ඒවා නොතකා පාට කරපු ඇඟිලි වැහිවැහැලා තිබ්බා.
5. ඡන්ද පොළේ දී කියවෙන නම
බුකියේ තියන නම් ගොඩක් උප්පැන්නේ තියන නම් නෙවේ. හදාගත්තු නම්. ඒ වුණාට ඡන්ද පොළට ගියාම වැඩේ දෙල් වෙනවා. ගොඩක් දෙනෙක්ට ඇහෙන්න නම හයියෙන් කියනවා. ඒ නම එතකොට බුකි නම වගේ හයිෆයි වෙන්නෑ මොකක් හරි ඩොටේ නමක්. ඉතින් මේ ගැනත් ලොකු කතාවක් බුකියේ ඇති වුණා. සාමාන්‍යයෙන් මේ ඇබැද්දියට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ගෑල්ලමයින්ට කියලයි බුකි බලකාය සඳහන් කරලා තිබුණේ.
6. සුරපුරය
අපේක්ෂකයන් දෙන්නා ම එක එක ඡන්ද පොරොන්දු ඉදිරිපත් කරා. ඒ අතරින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීම ගැන ගොඩක් කතා වුණා. ඉතින් මේ දේවල් අහලා චූන් වුණ අපේ බුකි ප්‍රජාව ජනාධිපති විදියට පත් වෙන පුද්ගලයා මැජික්කාරයෙක් කියලා හිතලා ‘දැන් හෙට ඉඳන් අපේ රට සුරපුරයක් වෙනවද’ වගේ කතන්දර කියන්න පටන් ගත්තා.
7. මැතිවරණ විකාශය
හැම පාර ම වගේ චැනල්වලින් දෙන සජීව මැතිවරණ ප්‍රකාශ එක්ක සම්බන්ධ වන දෙයක් තමයි චිත්‍රපටි. ඕක සම්පූර්ණයෙන් ම බලන්න නම් දවසක් විතර යනවනේ. මේ ගැනත් ගොඩක් මීම් එහෙම හැදිලා තිබුණා. මැතිවරණ ප්‍රතිඵල අස්සේ චිත්‍රපටි බලනවා නම් නවත්තපු තැන ලියාගන්න ඕනි. නැත්තම් අමතක වෙනවා. ඒ වගේමයි පවුලේ හැමෝම එක්ක ගත කරන ඡන්ද නයිට මතකවලින් පිරුණ අත්දැකීමක්.
Leave a Reply