සීතල දෙසැම්බර් ජනවාරියේ හිම බලන්න යන්න ලාබ තැන්

“ඔව්,ශීත කාලය පැමි​ණේවි.තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි”… මේ චි​ංගීස් අයිත්මාතව් ගේ ගුරු ගීතයේ එන වදනක්. මෙතැනදි වසන්ත කියන්නේ නිතර පනින වසන්ත සේනානායක නෙමෙයි. සීතල හිම ආගන්තුක අපිට සීතල රටකට ගිහින් ඒ අත්දැකීම ගන්න එකත් එක්තරා වසන්ත අත්දැකීමක් වෙනවා. සීතලට යුරෝපෙට ​ඇමරිකාවට යන්න පුළුවන් නම් හො​ඳයි. ජනවාරි දෙසැම්බර් සීතල නැති වුනත් එහේ හිම  තියෙන කාලෙට ඔසී නිවුසීලන්ඩ් යන්න පුළුවන්නම් ඒත් හො​ඳයි. ඒත් ඔය දෙකම වීසා කේස් වැඩි, ගුවන් වියදම් වැඩි ගමන්. ඒ නිසා අපි ල​ඟපාත තියෙන අපිට ආසන්න සුන්දර වින්ටර් ඩෙස්ටිනේශන් ටිකක් ගැන ලාවට අයිඩියා එකක් ගන්න බලමු.

 

1. Fairy Meadows

ෆේරි මෙඩෝව් කියන්නේ පාකිස්ථාන හිමාලයේ තියෙන ලස්සන ම පළාතක්. මේ පළාතට ගියාම පාකිස්ථානයේ තියෙන ලස්සනම කන්දක් වෙන ලෝකයේ උසම කඳු අතර 9 වෙනි තැන ඉන්න නන්දා පරබත් කියන සුන්දර කන්ද ​පේනවා. මේ සුන්දර පළාතට පාකිස්ථානයේ ගිල්ගිට් කියන පළාත හරහා පිවිසෙන්නට පුළුවන්. ගිල්ගිට් වලට ​ඉස්ලාමාබාද් වල ඉ​ඳලා රාත්තිරියේ යන බස් සේවාවක් තියෙනවා. ගිල්ගිට් ඉ​ඳලත් ගමන නම් මාර අවදානමක් තියෙන්නේ. යාන්තම් තිය​න කඳු දාර දිගේ ඉදිරියට ඇදෙන පොඩි ජීප් සෙමෙන් සෙමෙන් සුන්දර ෆේරි මෙඩෝ වෙත සංචාරකයින් රැගෙන යනවා. මේ ෆේරි මෙඩෝ වල ඉ​ඳන් වටපිට ඇවිදලා බලන්න ​ට්‍රකින් එකකුත් දාත හැකි අවශ්‍ය නම්. හීතල කාලේ මේ දිහාට යනවා නම් වින්ටර් ඇඳුම් පැළඳුම් අරන් යන එක කෝකටත් හො​ඳ වේවි.

 

2. පොකරා

නේපාලයේ පොකරා කියන්නේ සාක්කුව ගැන හිතන, කඳුවලට ආස සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්. පොකරා වල විල් තෙරේ බෝට්ටු පැදීම, කඳු මතින් ඇදී යන හෙලිකොප්ටර සවාරි, කඳු නැගීම්, දිය ඇලි හරහා ගමන් කිරීම්, වෝටර් රාෆ්ටින්, බයිසිකල් පැදීම් ඇතුලු සංචාරක ඇක්ටිවිටිස් ගොඩක් තියෙනවා. පොකරා වලට නේපාලයේ කත්මන්දු වල ඉ​ඳලා වගේම ඉන්දියාවට ගිහින් ඉන්දියාවෙන් ගොරක්පූර් ගිහින් ඒ පැත්තෙනුත් එන්න පුළුවන්. සීතල නැති කාලෙටත් පොකරා වලට ඈත අන්නපූර්ණා කඳු උඩ තියෙන සුදෝ සුදු හිම පේනවා. ඉතින් සීතල කාලෙට බොහොම පහ​ළ තැන්වලත් හිම ගොඩවල් පිරිලා තියෙනවා. වින්ටර් එකේදි පොකරා වල පහ​ළම විල් අසබඩ කලාපෙත් නුවර එළියට වඩා සීතල වෙනවා. ඉන්දියාවෙන් පොකරා ගියොත් එන ගමන් ලුම්බිණිය සහ කුසිනාරාවත් දැක බලාගෙන එන්න පුළුවන් කම තියෙනවා.

 

3. ඉන්දියාවේ ඇසෑම්

ඉන්දියාව කිව්ව ගමන් සමහරුන්ට ඈයියා… ජරාව කියලා හිතෙනවා. ඒත් ඇසෑම් කියන්නේ ඉන්දියාවේ තියෙන පිරිසිදුම පළාතක්. බංගලිදේශයට උඩින් චීනෙට පහළින් තියෙන ඇසෑමය ශීත කාලයට බොහොම ගති පළාතක්. ඇසෑමයේ රයිනෝසිරස්, හිපපොටේමස් ආදී සතුන් වනෝද්‍යාන වල ඉන්නවා. ඒ වගේම සුන්දර තෙත් කලාපීය කොළපාට පසුබිමක් තියෙන පළාතක් තමයි ඇසෑම් කියන්නේ. මේ ශීත කාලයට ඇසෑමයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 දක්වා පහ​ළට එනවා. කඳු උඩ හිම වගේම සමහර කාලවලට නගර වලත් ලාවට හිම තියෙනවා. ඇසෑමයේ කසිරංගා ජාතික වනෝද්‍යානය, ලස්සන දිය ඇලි බලාගන්න පුළුවන්. ඒ වගේම සංස්කෘතික උත්සව ග​ණනාවක් ශීත කාලයට පැවැත්වෙනවා.

 

4. කසොල්

ඉන්දියාවේ මනාලි කියන්නේ වින්ටර් එකට ජනප්‍රිය පළාතක්. මනාලි වගේම දැන් කසොල් පළාතත් සංචාරකයින් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. මනාලි වලට දිල්ලි ඉ​ඳලා එක රැයකින් ලඟාවෙන්​න පුළුවන්. මනාලි ඉ​ඳලා කසොල් වලට පැය කිහිපයකින් ලඟාවෙන්න පුළුවන්. කසොල් කියන්නේ සුන්දර පළාතක්. ඇවිදින්න වගේම වෙනත් කඳුකර සිරි අසිරි වි​ඳගන්නත් කසොල් පළාත සුදුසුයි. එතන ඉ​ඳලා කල්ගා සහ කීර්ගන්ගා කියන පළාත් වලටත් දැන් දැන් සංචාරකයෝ ඇදෙනවා. ඒ පැතිව​ලත් ශීත කාලයට කඳු උඩ වගේම පහ​ළ හරියෙත් බොහොම සුන්දර විදිහට හිම ඇතිරිලා තියෙනවා.

 

5. නගර්කොට් නේපාල්

නගර්කොට් මැප් එකේ නේපාලේ කත්මන්දු වලට ලඟින් පෙන්නුවාට කත්මන්දු ඉ​ඳන් බස් එකක යන්න පැය අටක් විතර ගන්නවා. නගර්කොට් කියන්නේ ඉස්සර නම් ගමක්. ඒත් දැන් නම් සංචාරකයෝ දාහකට හමාරකට වුනත් සැප ගන්න පුළුවන් හො​ඳ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වෙලා තියෙනවා. නේපාලයට ගුවනින් ආවොත් බහින්න වෙන්නේ කත්මන්දු වල. කත්මන්දු වල ඉ​ඳලා සීතල කාලේ නගර්කොට් ගියොත් තනි ඉලක්කමේ සෙල්සියස් වල තියෙන සීතල අපිට වි​ඳගන්නට පුළුවන්. නගර් කොට් වල බෑවුම් වල තියෙන සුන්දර හෝටල වලට වෙලා කඳු පාර ඈත නිල්ල දිහා බලාගෙන ඉන්න එක ඇස්වලට සනීපයක්. ඒ වගේ වෙලාවක මොනාහරි පානයක් අරගෙන හෝ නැතිව ඒ අවස්ථාව විවේකෙන් විඳින්න පුළුවන් නම් මැක්සා. ඒ වගේම සංචාරක පළාතක් නිසා කඳු නැගීම්, බන්ජී ජම්පින් වගේ කඳුකර ක්‍රියාකාරකමුත් නගර්කොට් වලදි ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

 

6. චීනයෙන් ටිබැට් රටට

තිබ්බතය එහෙම නැතිනම් ටිබෙට් කියන්නේ ලංකාවෙ අපි වැඩිපුර යන පැත්තක් නෙමෙයි. ඒත් හරිහැටි වීසා හදාගත්තොත් ටිබෙට් යන්න මහ වියදමක් යන්නෙත් නැහැ. ලෝකේ උසම කෝච්චි පාර වැටෙන්නේ චීනයේ සිනින් ඉ​ඳලා ටිබෙට් වල ලාසා වලට. ඒකේ ගමනත් ශීත කාලයට කදිමයි. ටිබෙට් වල ලාසා අගනුවර නම් උෂ්ණත්වය සෙල්සියස් 10ක් වගේ තමයි ශීතල කාලයට තියෙන්නේ. ඒත් කඳුකර පළාත්වල ඊ​ට වඩා අඩු වෙනවා. ශීතල කාලෙට ටිබැට් රටට යන සංචාරකයින් සාපේක්​ෂව අඩුයි. ඒ නිසා ඒ කාලෙට ටිටෙබ් ගියොත් ලංකාවේ අපිට සමීප බෞද්ධ වෙහෙර විහාරස්ථාන ආදියත් බලාකියාගෙන ලාබෙට චාරිකාවක් දාන්න චාන්ස් එක ලැබෙනවා.

 

7. පමිර් හයිවේ තජිකිස්ථානය

තජිකිස්ථානය, කිර්ගිස්ථානය, තුරිකිමෙනිස්ථානය, ඇෆ්ඝනිස්ථානය වගේ රටවල තිබෙන සීතල මූද ආසන්නව තියෙන රටවල තියෙන සීතලට වඩා වෙනස්. මොකද ඒ පළාත් වල තියෙන්නේ වියලි සීතලක්. ඒ රටවල ශීත කාලයට වාතේ තියෙන ජලවාෂ්​ප අඩුයි. ඒ නිසා ඒ රටවල් වලට යුරෝපයේ ශීත රටවල ඉ​ඳලා යන සංචාරකයෝ කියන්​නේ වින්ටරේදි මධ්‍යම ආසියාවේ රටවල් ටිකක් උණුසුම් කියලා. මේ පමිර් හයිවේ එකත් අපි කලින් දවසක කතාකරපු කරකොරම් හයිවේ එක වගේම උසම මහාමාර්ගයක්. මේ මහාමාර්ගයේ යද්දි පාකිස්ථානය. චීනය සහ ඇෆ්ඝනිස්ථානයේ ගම්බද පළාතුත් සියැසින් බලාගන්න ලැබෙනවා. සීතල කාලේට කිලෝමීටර 1250ක් දිග මේ හයිවේ එකේ ගමන සීතල නොවූ අත්දැකීම් ගොඩක් ගේන ගමනක් කියලා තමයි ඒ පාරේ ගිය සංචාරකයින් කියන්නේ.

 

සුන්දර අත්දැකීම් ලේසියෙන් ලැබෙන්​නෙ නැහැ. සරල ලෙසම ඉන්දියාවේ මනාලි වලට ශීත කාලෙදි ගියත් එතැනදි ගුවන් ටිකට්, වීසා, ශීත ඇඳුම් ආදිය ගැන සිතලා බලලා ප්ලෑන් කරලා යන්නට ඕනා. ඉතින් වින්ටරයට දරු මල්ලෝ එක්ක හරි නැතිනම් හො​ඳම බාගේ එක්ක හරි (බෙටර් හාෆ්) ඔයා හිම අල්ලන්න යන්න ඉන්නවා නම් හිම තියෙන, සීතල තියෙන, සුන්දර පළාත් කීපයක් අපි ඉහත දීලා තියෙනවා. ඉතින් ඒ තැන්වලට ඔයාලට යන්න පුළුවන් වුනොත් අපිත් එක්කත් ඒ අත්දැකීම් බෙදාගන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *