ටොයිලට් එකට යනකොටත් මැනර්ස් ඕනද? ඔව්, ඒවලට තමයි ටොයිලට් එටිකට් කියන්නේ!

ලොකු, පොඩි, ඉගෙන ගත්, ඉගෙන නොගත්, සල්ලි තියෙන, දුප්පත් ඕනම කෙනෙක්ට ශරීර කෘත්‍යය කරන්න සිද්ධ වෙනවනේ. ඒක ශාරීරික අවශ්‍යතාවයක්. ඉතින් ඕන ඔය ශාරීරික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න එක නිකම්ම බල්ලො පූසෝ වගේ අහුවෙන තැනක කරන්නෙ නැහැනේ මිනිස්සු වුනහම. මිනිස්සුන්ට ඒ වෙනුවෙන් වැසිකිලි, කැසිකිලි තියෙනවා. හැබැයි ඉතින් එහෙම පිළිවෙලක් ඇතුව ශරීර කෘත්‍යය කරන්න තියෙන තැනක වුනත් තමන්ට ඕන ඕන විදියට ඔහේ ඒ වැඩේ කරගෙන එන එක හරියන්නෙත් නෑ. ඒකටත් ඔය ආචාර විධි, ඒ කියන්නේ මැනර්ස් තියෙනවා. ආන්න ඒ ටොයිලට් එකේ තියෙන්න ඕන මැනර්ස් ගොඩක් අය දන්නෙත් නෑ. විශේෂයෙන්ම ගෙදරක වුනත් ගැහැණු පිරිමි දෙපිරිසම අතින් පාවිච්චි වෙන ටොයිලට් එකක් නම් මේ යම් යම් මැනර්ස් විශේෂයෙන්ම පිළිපැදීම අවශ්‍යයි. ඉතින් මේ කියන්න යන්නේ ඒ ටොයිලට් එටිකට්, එහෙම නැතිනම් ටොයිලට් එකේ පිළිපදින්න ඕන මැනර්ස් ගැන තමයි!

 

1. පුරුෂයිනි, මෙසේ සුළු දිය පහ කරනු!

ගැහැණු පිරිමි දෙපාර්ශවයම පාවිච්චි කරන ටොයිලට් එකකදී මතුවෙන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි පිරිමි මූත්‍රා කරන්න ගිහින් ටොයිලට් සීට් එක උස්සන්නේ නැතුව ඒ වැඩේ කළහම, ටොයිලට් සීට් එකෙත් මූත්‍රා තැවරෙනවා. ඉන් පස්සේ කාන්තාවක් ටොයිලට් එකට ගියහම මොකෝ වෙන්නේ? කාන්තාවක් මූත්‍රා කරන්නේ ටොයිලට් සීට් එකේ වාඩි වෙලානේ. ඉතින් කොහොමද අර මූත්‍රා තැවරිලා තියෙන ටොයිලට් සීට් එකේ වාඩිවෙන්නේ? ආන්න ප්‍රශ්නේ. ඒ නිසා පිරිමි කළ යුතු දේ තමයි ටොයිලට් සීට් එක උස්සලා මූත්‍රා කරලා, වැඩේ ඉවර වුනාට පස්සේ ටොයිලට් සීට් එක තිබ්බ විදියට පහත දාලා එන එක.

 

2. ටොයිලට් එක කැත නොකරනු!

ටොයිලට් එක කියන්නේ අපේ බහිශ්‍රාවී ද්‍රව්‍ය පිට කරන තැනක් තමයි. ඒ නිසාම ඒක ගොඩක් දෙනෙක්ට කැතයි, හිරිකිතයි. හැබැයි ඒ බහිශ්‍රාවී ද්‍රව්‍ය පිට කිරීම කියන එක අපිට අප්‍රසන්න නිසාම තමයි, ඒක සිද්ධ කරන තැන වෙන ටොයිලට් එක බොහොම පිරිසිදුවට අපි තියාගත යුත්තේ. ආන්න ඒ නිසා ටොයිලට් ගියහම අනවශ්‍ය විදියට බිම වතුර හලන එක, අපිරිසිදු කරන එක නරක පුරුද්දක්. ඒ වගේම ඔය ටොයිලට් බිත්ති වල අනං මනං අඳින එක වගේ දේවලුත් හරීම කැතයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

 

3. කයිය නවත්වා ගනු!

ඔෆිස් එකේ ටොයිලට් එකට යනකොට අපි කියමු අපේ බෙස්ට් ෆ්‍රෙඩාත් එතන කියලා. එතකොට අපි “හාල්ලෝ මචං” ගාලා ගිහින් කයිය පටන් ගන්නෙ නෑ. ටොයිලට් එක කියන්නේ කයිය ගහන තැනක් නෙවෙයි. ඔය නිකම් හලෝ එකක්, ඔලුව වැනිල්ලක් කමක් නෑ. හැබැයි ටොයිලට් එකේ ඉන්න මිනිස්සුන්ව කයියට සෙට් කරගන්න යන්නත් එපා, ටොයිලට් එකේ ඉන්න අනික් අයට ඇණයක් වෙන විදියට දෙන්නෙක් සෙට් වෙලා කයිය ගහන්න යන්නත් එපා. ටොයිලට් එකට ගියා නං, වැඩේ කරගත්තා නං, පිරිසිදු වෙලා වහාම පිටතට එන්න.

අනික් කාරණාව ටොයිලට් එකට ෆෝන් අරගෙන ගිහින් කතා කරන්නත් එපා. ඒක කැතයි. ගොඩක් අයගේ ෆෝන් එක ටොයිලට් එකට වැටෙන්නෙත් ඔන්න ඕක නිසා තමයි.

 

4. නිසි ලෙස පවිත්‍ර කරනු!

ටොයිලට් එකට ගිහින් මළපහ කිරීම හෝ මූත්‍රා කිරීම කරනකොට සමහර වෙලාවකට ටොයිලට් සීට් එකේ හරි, කොමෝඩ් එකේ උඩ කොටසේ හරි ඔය අනං මනං තැවරෙන්න පුළුවන්. එව්වා ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දේවල්නේ. හැබැයි ඉතින් තමන් අතින් එහෙම දෙයක් වුනොත්, ඒක පිරිසිදු කරලා එන එක තමයි කළ යුතු කාරණය. ඒක යම් විදියකින් තමන්ට පිරිසිදු කරගන්න අසීරු එකක් නම්, තමන් පාවිච්චි කරන්නේ පොදු හෝ කාර්‍යාල වැසිකිලියක් නම් අදාළ පිරිසිදු කරන්නන්ට හරි නඩත්තු කරන්නන්ට හරි වහාම දන්වන එක තමයි යුතු දෙය.

මේ කාරණය අදාළ වෙනවා ඔය සින්ක් එක එහෙම පාවිච්චි කරනකොටත්. සින්ක් එකේ තැන් තැන් වල කොණ්ඩ කෑලි හලලා, වෙන වෙන අනං මනං හලලා අපවිත්‍ර වෙන එක ඕන කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි වෙනත් කෙනෙක් සින්ක් එක පාවිච්චි කරන්න කලින් තමන් ඒක පිරිසිදු කිරීම අනිවාර්‍යයි.

 

5. නිවැරදිව ෆ්ලෂ් කරනු!

ඔය ෆ්ලෂ් සීන් එක ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් වෙන දෙයක්. දැන් අපි මළපහ කළහම ඔව්වා ගඳයි තමයි. මොකෝ අපි උදේට සෙන්ට් බීලා දවස පටන් ගන්නෙ නැහැනේ. හැබැයි ඉතින් එහෙමයි කියලා අපි ටොයිලට් එකට ගිහින් ආවහම පළාතම ගඳයි නං ලොකු ප්‍රශ්නයක්. අපිටත් අප්සෙට්. ආන්න ඒ නිසා ඒකට හොඳ ක්‍රමයක් තමයි එක පාරක් ෆ්ලෂ් කරලා මදිනම්, ආයෙමත් ටැංකිය පිරෙනකල් ඉඳලා දෙවෙනි පාරටත් ෆ්ලෂ් කරන එක. අනික් එක දැන් ඔය සමහරු කියන දෙයක් තමයි ෆ්ලෂ් කරන්න කලින් කොමෝඩ් එකේ උඩ පියනත් වහලා ෆ්ලෂ් කරන්න කියලා. කොහොම හරි හරියට ෆ්ලෂ් කරන්න තමයි ඕන. 

අනික ඔය අලුත් අලුත් ඇමරිකන් කොමෝඩ් වල එක එක විදියේ ෆ්ලෂ් එනවා. ඉතින් හුරුපුරුදු ෆ්ලෂ් එකක් නෙවෙයි නම් තියෙන්නේ ඒක ඇදලා, මිරිකලා, තල්ලු කරලා කඩලා දාන්නෙ නැතුව පොඩ්ඩක් බලන්න මොකද්ද යාන්ත්‍රණය කියලා. අනික ෆ්ලෂ් එක බැරිවෙලාවත් කැඩිලා නම් ෂේප් එකේ එන්නෙ නැතුව ඒක අදාළ කෙනෙක්ට දැනුම් දෙන්නත් ඕන.

 

6. හැම කෙහෙල්මලම කොමෝඩ් එකට නොදානු!

දැන් කොමෝඩ් එකටනේ අපේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය දාන්නේ. ආන්න ඒ නිසා සමහරු ඉන්නවා හැම කුණු ගොඩම ගෙනැල්ලා අත අරිනවා කොමෝඩ් එක ඇතුළට. විශේෂයෙන්ම ජනප්‍රිය දේ තමයි පාවිච්චි කරපු කොන්ඩෝම් ටොයිලට් එකේ කොමෝඩ් එකට අත අරින එක. ආන්න ඒක තදින්ම නොකළ යුතුයි. බොහොම ලේසියෙන් ටොයිලට් එකේ බට සිස්ටම් හිර වෙලා ජංජාලයක් වෙන දෙයක් තමයි ඒක. අනික මූණ පිහිදන්න හෝ ඒ වගේ දේකට පාවිච්චි කරන ටිෂූස් එහෙම වුනත් කොමෝඩ් එකට අත අරින එකත් අනුමත කරන්න බෑ!

 

7. හරියට පිරිසිදු වෙනු!

ඔව්, සමහරුන්ට මේකත් කියලා දෙන්න වෙනවා. දැන් ලංකාවේ නම් ගොඩක් වෙලාවට අපි ටොයිලට් පේපර්ස් නෙවෙයිනේ පාවිච්චි කරන්නේ. අපි කරන්නේ වතුර දාලා, සබන් දාලා හොඳට පස්ස පැත්ත හෝදගන්න එක. හැබැයි ඉතින් ඔය ඔක්කොම කළාට පස්සේ අත් දෙකත් හොඳට සබන් දාලා හෝදාගන්න එක අනිවාර්‍ය්‍යයි. මොකද ඔය බැක්ටීරියා, විෂබීජ ටොයිලට් එකේ ඉඳලා එළියට ගෙනියන එක පුළුවන් තරම් අවම කරගන්න එක කළ යුතුම දෙයක්. අන්න ඒ නිසා ටොයිලට් යන වැඩේ කරගත්තට පස්සේ කම්මැලි කමට වතුර ටිකක් අතේ ගාගෙන එළියට එන්න එපා. හොඳින් විෂබීජ නාශක සබන් දාලා අත් හෝදාගන්න!

 

තව දෙයක් කියන්න ඕන. අපි මේ විශේෂයෙන්ම කතා කරලා තියෙන්නේ ඇමරිකන් ටොයිලට් ගැන තමයි. හැබැයි අනික් ටොයිලට් සම්බන්ධයෙන් වුනත් මේ ආටිකල් එකේ තියෙන කරුණු කාරණා ගලපගන්න පුළුවන්!