කිරි පැණි වගේ ඉඳලා නයයි මුගටියයි වගේ වුණු අපේ රටේ දේශපාලන චරි​ත

දේශපාලනය කියන්නේ මහා අමුතුම සෙල්ලමක්. අද මිතුරන් හෙට සතුරන් බවට පත්වෙලා අද සතුරන් හෙට මිතුරන් බවට පත්වෙනවා. ලෝකෙ කොහේ බැලුවත් දේශපාලනයත් ඔහොමයි. ඉතින් අපි අද හිතුවා ලංකාවේ දේශපාලනයේ අතිශය සමීපව ඉඳලා පස්සේ කාලේ එකිනෙකාට දැඩිව වෛර කරන සතුරන් බවට පත්වුණු කීප දෙනෙක් ගැන කතා කරන්න.

 

1. චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ එස්. බී දිසානායක

 

චන්ද්‍රිකා සහ එස්.බී කියන්නේ ගහට පොත්ත වගේ හිටපු දෙන්නෙක්. එස්.බී කියන විදිහට මංගල සමරවීර එක්ක එකතුවෙලා, එයා තමයි චන්ද්‍රිකාව එංගලන්තයේ ඉඳන් ගෙන්නගෙන ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කැමති කරවගන්නේ. ඒ වගේම පස්සේ කාලෙක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියපු විදිහට ඔහු මහලේකම් ධූරයට ඉදිරිපත් වෙද්දී  චන්ද්‍රිකා, එස්. බීට එම ධුරය ලැබිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳන් ඡන්දය මෙහෙයවීම නිසා සිරිසේන මහත්මයාට නිදහස් පක්ෂයේ ලේකම් ධූරය අහිමි වෙලා යනවා. ඔහු පස්සේ ලේකම් ධූරයට පත් වෙන්නේ එස්. බී එක්සත් ජාතික පක්ෂයට එකතු වුණාට පස්සේ.

නමුත් වසර කිහිපයක් ඇතුළත එස්. බී සහ චන්ද්‍රිකා දැඩි සතුරන් බවට පත්වෙනවා. මේකට හේතු වෙන්නේ චන්ද්‍රිකා රජය පෙරලන්න එස්. බී ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වීම. මේත් එක්කම එස්. බී දැඩි වාග් ප්‍රහාර චන්ද්‍රිකාට එල්ල කරනවා. පස්සෙ කාලෙක එස්. බී කියන විදිහට ඔහුව සිරගත කිරීමේ දැඩි උවමනාව තිබිලා තියෙන්නෙත් චන්ද්‍රිකාට.

 

2. ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳන් හඳුනාගෙන හිටපු මේ දෙන්නා යුද හමුදාවේදී හොඳ මිත්‍රයන් බවට පත් වනවා. මේ නිසාම ගෝඨාභය තමන් ආරක්ෂක ලේකම් බවට පත්වුණාම මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා එවකට විශ්‍රාම යන්න ආසන්න​ව හිටපු සරත් ෆොන්සේකාව හමුදාපති කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා කියන සුසංයෝගය නිසා යුද්ධ ජයග්‍රහණය අපි ලබාගත්තා කියන කාරණේ අවිවාදිතයි.

නමුත් මේ සම්බන්ධතාවය කණපිට හැරෙන්නේ සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් එක්ක. මේ විරසකය කොයිතරම් වැඩි වෙනවාද කියනවා නම් සරත් ෆොන්සේකාට එරෙහිව යුද අධිකරණයක චෝදනා පවා ගොනු වෙනවා. මේ නිසා ඔහුට හිර බත් කන්නත් සිද්ධ වෙනවා.

 

3. මහින්ද රාජපක්ෂ සහ මර්වින් සිල්වා 

මර්වින් සිල්වා කියන විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව ඔහු හඳුනන්නේ කුඩා කාලයේ ඉඳන්ම. එතුමාගේ පළවෙනි පාර්ලිමේන්තු මැතිවරණ​යේ ඉඳන් සෙවනැල්ලක් වගේ ඔහු ගාව හිටියයි කියලා මර්වින් සිල්වා මහත්මයා කියනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූර කාලය තුළ මර්වින් සිල්වා මහතා දැඩි හිතෛෂි ස්වභාවයෙන් ඔහු ගාවින්ම සිටිනවා. නමුත් දෙවැනි ධුර කාලය අවසන් වන අවධියේදී ඔවුන් දෙදෙනා අතර යම් යම් දුරස්වීම් සිද්ධ වෙනවා. මේ දේවල් හේතු කොටගෙන පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ වේදිකාව මතට මර්වින් සිල්වා ගොඩ වෙනවා.

 

4. පාඨලී චම්පික රණවක සහ උදය ප්‍රභාත් ගම්මන්පිල 

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, සිහළ උරුමය ඊට පස්සේ ජාතික හෙළ උරුමය හරහා පාඨලී චම්පික රණවකගේ දේශපාලන ගමනෙදි ඔහු ලඟින්ම හිටපු සහෝදරයෙක් වගේ කෙනෙක් හිටියා. ඒ තමයි උදය ප්‍රභාත් ගම්මන්පිල. චම්පික රණවක පරිසර අමාත්‍යවරයා විදිහට පත් වෙද්දී ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට පත් කර ගන්නේ උදය ප්‍රභාත් ගම්මන්පිලව. ඉන් පසුව බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙකු බවට පත් වෙන්නත් උදය ප්‍රභාත් ගම්මන්පිලට හැකියාව ලැබෙනවා. 2015 ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වීමට තීරණය කිරීමේ මුල් අවස්ථාවේදී උදය ප්‍රභාත් ගම්මන්පිල ඒ මතය සමග මුලින් හිටියත් පසුව ඔහු මහින්ද රාජපක්ෂ පිලට එකතු වෙනවා. ඉන්පසුව ඔහුගේ දැඩි දෝෂදර්ශනයට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ලක්වෙනවා.

 

5. රනිල් වික්‍රමසිංහ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු 

කරූ ජයසූරිය, රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ කරනවා. මේ කැරැල්ලට විරුද්ධව එක්සත් ජාතික පාක්ෂිකයන් සංවිධානය කිරීමේ දැවැන්ත ක්‍රියාවලිය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා ආරම්භ කරනවා. සරල භාෂාවෙන් කියනවා නම් ඔහු රනිල්ව රකිනවා. එක වතාවක් එක මන්ත්‍රීවරයෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියට මල්වඩමක් ගෙනාවම ජොන්ස්ටන් ප්‍රනාන්දු මල් වඩමට පහරදීලා අදාළ මන්ත්‍රීවරයාට පහර දීමට පවා උත්සාහ කරනවා. නමුත් මේ විදිහට රනිල්ව ආරක්ෂා කරපු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊට වසර කීපයකට පස්සෙ මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු බවට පත් වෙනවා. ඇතැම් අවස්ථාවකදී රනිල්ව විවේචනය කරද්දී ඔහුගේ මුවින් අසභ්‍ය වචන පිට වුණු ආකාරය දේශපාලන සංවාදවලදී අපිට දකින්නට ලැබුණා.

 

6. රෝසි සේනානායක සහ දයාසිරි ජයසේකර 

රෝසි සේනානායක සහ දයාසිරි ජයසේකර කියන දෙදෙනාම මන්ත්‍රීවරුන් විදිහට වගේම කලාකරුවන් විදිහටත් අපේ රටේ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වුණු අය. මේ නිසාම ඔවුන් දෙදෙනා එකිනෙකාට ඉතා සමීප වෙනවා. දෙදෙනාම දෙදෙනාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා. දයාසිරි ජයසේකර  සහභාගි වුණු එක් ගුවන් විදුලි වැඩසටහනකට අනුව ඔවුන් දෙදෙනා අතර සාමාන්‍ය සම්බන්ධතාවයකට වඩා එහා ගිය සමීප සම්බන්ධතාවක් තිබුණු බවට ඉඟි පළ වුණා. නමුත් තමන් එක්සත් ජාතික පක්ෂ​ය හැර යාමත් සමඟම මෙම සම්බන්ධතාවය බිඳ වැටුණු බවත්, මේ නිසා රෝසි සේනානායක මහත්මිය තමන්ට එරෙහිව දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් බවත් ඔහු ප්‍රකාශ කරලා තිබ්බා.

 

7. මෛත්‍රීපාල සිරිසේන සහ කිරාන් අතපත්තු 

කිරාන් අතපත්තු කියන නම එතරම් ඔබට හුරු පුරුදු නැතුව ඇති. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වුණු 2015 ජනාධිපතිවරණ සටන ඔබට මතක නම් ඒ  නම ඔබට අමතක වෙන්න විදියක් නෑ. සිරිසේන ජනාධිපතිවරයා කියපු විදිහට ඔහු ජනාධිපතිවරණය දා රාත්‍රියේ කාටවත් නොදන්වා තමන්ගේ පවුල සමග නැවතුනේ කිරාන් අතපත්තු මහතාගේ නිවසේ. කිරාන් අතපත්තු පසු කාලයක හෙළි කරලා තියෙන විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයෙක්ව සිටි සමයේදී පටන් මැතිවරණවලට ඔහු උදව් පදව් කරලා තියෙනවා. නමුත් මීට වසරකට වගේ කලින් ඔහු පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ එතරම් සමීපයෙන් හිටපු තමන්ට වත් අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව මුණ ගැහෙන්න බැහැ සහ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු බවට පත්වෙලා තියෙනවා කියලා. ඔහු වක්‍රාකාරයෙන් කිව්වෙ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කළගුණ නොදත් පුද්ගලයෙක් කියලා.

 

මේ ලිපිය කිය​වද්දී ඔබටත් මේ වගේ සතුරන් බවට පත් වුණු මිතුරන් ලැයිස්තුවක් මතක් වෙන්නැති. ඒ වගේ අය ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් අපිට කියන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *