සම්බන්ධතාවයකදි තෑගි බෝග බෙදාගැනීමෙන් සම්බන්ධතාවයේ ශක්තිය වැඩිවෙනවා. ඒ වගේම තෑගි බෝග හුවමාරුවෙන් දෙදෙනා අතර විශ්වාසය ගොඩනැගෙනවා. තෑග්ගක් දෙනකොට එයා කැමති දේවල්, එයා ආසම වෙයි කියලා හිතෙන දෙයක් ටිකක් වැඩිපුර ගාණක් දීල අරන් දුන්නත් පාඩුවක් නැහැ. ඉතින් අද කාලේ විසිතුරු බඩු සාප්පුවකට ගියොත් විවිධාකාරයේ තෑගි බෝග තියෙනවා. ඒත් කාලේ වෙනස් තාලේ අලුත් මේ කාලේ අපිව මතක හිටින දෙයක් දෙන්න පුළුවන් නම් වටිනවා නේද? ඒ වගේම ප්‍රයෝජනවත් දෙයක් දුන්නොත් අපි වියදම් කරන මුදලටත් හොඳ සාධාරණයක් ඉටු වේවි!
1. හෙඩ්සෙට්
හෙඩ්සෙට් නම් පෙටා වල රුපියල් සීයටත් තියෙනවා. හෙඩ් සෙට් කියන්නේ ඇස් දෙකෙන් බලලා ‘ආ මේක හෙඩ් සෙට් එකක්’ කියලා ගන්න ඕනි උපකරණයකට වඩා කණින් සද්දේ අහලා ගන්න වටින බඩුවක්. ඉතින් පරණ හෙඩ් සෙට් එකකින් නිතර සිංදු අහන ගර්ල්ට හොඳ අලුත් හෙඩ් සෙට් එකක් දෙන්න පුළුවන් නම් හොඳ කූල් එකේ සිංදුවක් අහන හැම වෙලාවකම ඔයාව එයාට මතක් වෙයි. අලි එක්ස්ප්‍රස්, ඊබේවල එහෙමත් හොඳ වර්ගවල හෙඩ්සෙට් ඩොලර් බර ගණනට පවා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රුපියල් දෙතුන් දාහටත් යම් මට්ටමක හොඳ හෙඩ්සෙට් මිලදීගන්න හැකියාව තියෙනවා.
2. ටීවී බොක්ස් එකක්
නිතරම ෆිල්ම් හෝ වීඩියෝ බලන කෙනෙක්ට නම් ටීවි බොක්ස් එකක් හොඳටම වටිනවා. නිකං තියෙන ටීවි එක ස්මාට් කරගන්නත් ටීවි බොක්ස් එක වටිනවා. ටීවි බොක්ස් සාමාන්‍යයෙන් රුපියල් තුන්හාරදහේ ඉඳලා තියෙනවා. එම් අයි ලගේ මී ටීවි බොක්ස් එක ටීවි බොක්ස් අතර ජනප්‍රිය නාමයක්. සාමාන්‍ය ටීවී එකකට මේ ටීවී බොක්ස් එක සම්බන්ධ කරගත්තාම යූ ටියුබ් වගේම නෙට්ෆ්ලික්ස් ඇමසන් වගේ අඩවි හරහාත් ෆිල්ම් සහ ටෙලි සීරීස් බලන්න පුළුවන්. අඩු මිල ටීවී වලදි පෙන් එක ගහලා ටීවී බලන එක ඔප්ෂන් එකක් විදිහට තියෙනවා. ඒවුනාට ටීවී බොක්ස් එකෙන් බලද්දි ඒ ටීවී එකට පෙන් එක ගහලා ෆිල්ම් බලනවාට වඩා හොඳ තත්ත්වෙකින් වීඩියෝ බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් රුපියල් දොළොස්දාහක් විතර අවුලක් නැත්නම් මී ටීවී බොක්ස් එකක් හොඳයි. ඊට අඩුවටත් හොඳ කොලිටි ටීවී බොක්ස් අන්තර්ජාලයේ වගේම දැන් සමහර ලංකාවේ වෙළඳසැල්වලත් තියෙනවා.
3. ෆිට්නස් ට්‍රැකර් එකක්
අද කාලෙ ගෑණු ළමයි තමුන්ගේ සිරුර ගැන බොහොම උනන්දුයි. ඒ වගේම ව්‍යායාම කරන්න දුවන්න පනින්නත් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ව්‍යායාම වලට කැමති අයට ෆිට්නස් ට්‍රැකර් එකක් තෑගි දෙන එක ගැලපෙනවා. ෆිට්නස් ට්‍රැකර් එකකින් අපි දුවන, ඇවිදින, ව්‍යායාම කරන ප්‍රමාණය පෙන්නුම් කරනවා. ඒ වගේම එලාම් එක, ෆෝන් එක අන්ලොක් කරගැනීම් වගේ පහසුවත් මේ ෆිට්නස් ට්‍රැකර් වල තියෙනවා. මේවායෙන් මී බෑන්ඩ් 4 එක දැන් මේ කාලේ ජනප්‍රියයි. ඊට වඩා වැඩි මිල හොඳ එකකට යනවා නම් ඔරිජිනල් ෆිට් බිට් (Fitbit) එකක් හොඳයි. හැබැයි ෆිට් බිට් එක නම් ඩොලර් 100කට වඩා මිල වැඩියි.
4. බැටරි බැංකුවක්
වෙලාවකට අපි බොහොම තරහින් ගෑණු ළමයාගේ ෆෝන් එක ඕෆ් වෙලා කියලා බනිනවා. ඒත් අවසානේ බැලින්නම් පවර් නැති නිසා තමයි ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ. දැන් එන ෆෝන් වල දවසක් පාවිච්චි කරන්න පුළුවන් බැටරියක් එනවා. ඒත් චාජ් කරන්න අමතක වුනොත් ඉතින් ෆෝන් එක තේරුමක් නැහැ. බැටරි බෑන්ක් එකක් කියන්නේ නිතරම නැතත් කලාතුරකින් හරි උවමනා වෙන්න පුළුවන් ගැජට් එකක්. දැන් ෆාස්ට් චාජින් වලට සපෝට් කරන බැටරි බැංකු ඇවිල්ලා තියෙනවා. ඒවායෙන් ෆෝන් එක විනාඩි තිහකින් විතර හොඳ ගාණකට චාජ් කරගන්න හැකියාව තියෙනවා. හොඳ බැටරි බැංකුවක් රුපියල් තුන්හාරදාහේ ඉඳලා වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. තෑගි දෙන එකේ හොඳ බැටරි බැංකුවක්ම දෙන එක කෝකටත් හොඳයි. මොකද ඕක කැඩුනොත් හෙම අපේ ගෑණු ළමයිගේ ස්වභාවය අනුව මියෙනතුරා තෑගි දීපු බැටරි බැංකුව කැඩුන එක ගැන කම්පේලේන් කර කර ඉඳීවි.
5. අලුත් මෝස්තරයේ කුඩයක්
ලංකාවේ පෙම් කරන දෙන්නෙක්ට නම් කුඩයක් කියන්නේ ඕනිම දෙයක්. කුඩ කිව්වාහම මොනාද ඉතින් ඕකේ තියෙන අලුත් දේ කියලා හිතන්න පුළුවන්. ඒත් නිකමට අලි එක්ස්ප්‍රස් ඊබේ පැත්තේ ගියොත් ඒවායේ තියෙන කුඩ ටිකක් බලලා එන්න. එක එක ජාතියේ ලස්සන ලස්සන කුඩ ජාති තියෙනවා. අපේ සමහර කුඩ වර්ග තියෙනවා ඒක ඔන් කරලා කුඩේ ඉහළද්දි වැස්ස විනාඩි දෙකක් විතර වැහල ඉවරයි. ඉතින් “මහරගමට වහින් නැතුව වහින්න ඕනා තැනකට ” කියලා වැස්සට දෙස් දෙවොල් නොතියා ඔන්ලයින් ස්ටෝරුවකින් ගති සුපිරි කුඩයක් එයාට අරන් දෙන එක වටිනවා. එතකොට ඒ ලස්සන කුඩේ ගැන අහන හැමෝටම “මේ එයා ගෙනත් දුන්න එකක් අනේ” කියලා ගර්ල්ටත් සතුටින් කියන්න අවස්ථාව ලැබෙනවා.
6. බ්ලූටූත් ස්පීකර්
වයර් වලින් සම්බන්ධ වෙලා තියෙන ගැජට් වලට වඩා වයර්ලස් බඩු වලට දැන් ගෑණු ළමයි කැමතියි. බ්ලූටුත් ස්පිකර් එකේ සද්දේ හොඳ වුනත් ගන්නේ පොඩි අවකාශයයි. නිතර ෆිල්ම් බලන්න සිංදු අහන්න කැමති ගෑණු ළමයෙක්ට මේ බ්ලූටුත් ස්පීකර් එකක් කියන්නේ අරන් දෙන්නම වටින කෑල්ලක්. බ්ලූටුත් ස්පීකරුත් මාදිලි ගණනාවක් තියෙනවා. ටිකක් හොඳ ජාතියේ බ්ලූටුත් ස්පිකර් රුපියල් දෙදාහෙ ඉඳලා වෙළද පොලේ ගන්න තියෙනවා.
7. ලොකුවට බලන්න ටැබ්ස්
වැඩකරලා ගෙදර ගියාම ගෑණු පිරිමි බේදයක් නැතුව ඇඳට යන්න තමයි අපි ගොඩ දෙනෙක් ආසා. එතනින් පස්සේ ඇඳේ ඉඳගෙන තමයි හැම එකම ෆෝන් එකෙන් බලන්නේ. මේ වගේ වෙලාවට “අනේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටිකක් ලොකු වුනානම් අපි ආස කරන නාට්ටිය, අපි ආස කරන යූ ටියුබ් වීඩියෝ එක ටිකක් ලොකුවට බලන්න තිබුනා නේ” කියලා හිතෙනවා. එහෙම ටිකක් ලොකුවට බලන්න ආස අයට ටැබ්ස් කියන්නේ කියාපු භාණ්ඩයක්.රුපියල් දහ පාළොස්දාහේ ඉඳලා ලාබ ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ස් තියෙනවා. ඒ වගේම ඇපල් වල ෆෝන් තරම් ඇපල් අයි පෑඩ් එක ගණන් නැහැ. විදේශයක ඉන්න පෙම්වතෙක් ට නම් පෙම්වතියට අයිපෑඩ් එකක් තෑගි දෙන එක ලොකු ගින්නක් නැහැ.
ටෙක් දේවල් වලට ආස නැති ගෑණු ළමයිට හෝ ඒ ගැන අවබෝධයක් නැති අයට නම් ටෙකී ගැජට්ස් එච්චරම වැදගත් වෙන එකක් නැහැ. ඒත් දැන් ටෙක් ගැජට් කියන්නේ මැජික්ස් නම් නෙමෙයි. දන්නේ නැතිනම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හෙමිහිට කියලා දෙන්නත් ඔයාටම පුළුවන්. හැමදාම දෙන තෑගි වලින් දෙපැත්තම හෙම්බත් වෙලා නම් ඉන්නේ අපේ මේ අදහස් ටිකෙන් අලුත් තෑගි ගැන අදහසක් ඔයාලට එන්න ඇති.
Leave a Reply