ලංකාවේ හැමෝම කතා නොකර හංගගෙන ඉන්න, ඒත් කතා කළ යුතු දේවල් මේවා තමයි!

අපි ඔය කීමට කියනවනෙ ලංකාවේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලගෙන ඉන්න එක සදාචාරයට විරුද්ධයි කියලා මිනිස්සු හිතනකොට, කුඩු විකුණන එක, මිනිස්සුන්ව වෙඩි තියලා මරණ එක වගේ දහසකුත් එකක් දේවල් ප්‍රසිද්ධියේ සිද්ධ වෙන එක සදාචාරයට විරුද්ධයි කියලා කවුරුත් හිතන්නෙ නැහැයි කියලා! ආන්න ඒ වගේ විසංවාද ඇත්තටම අපේ සමාජේ ඇතුළේ තියෙනවා. සමහර දේවල් ගැන අපි ප්‍රසිද්ධියේ කථා නොකරන්නේ, ඉස්සර ඉඳලම එව්වා ගැන කතා නොකළ යුතුයි කියලා සම්මතයක් හැදිලා තියෙන නිසා මිසක් විශේෂයෙන් හිතලා බලලා නෙවෙයි. හැබැයි අපි ඇත්තටම කතා නොකළ යුතු දේවල්ද හංගගෙන ඉන්නේ? කථා කළ යුතු දේවල්ද එළිපිට කථා කරන්නේ? ආන්න ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ!

 

1. පෑඩ්ස්!

ඔව්. මේ දවස් වල දේශපාලන වේදිකාවල ඇහෙන දැවෙන ප්‍රශ්නය. සනීපාරක්ෂක තුවා. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ පෑඩ්ස් කිව්වහම. ලංකාවේ පිරිමි සමහරු පෑඩ්ස් ගැන ප්‍රසිද්ධියේ කතාකරන එක කාන්තාවගේ ලැජ්ජා බයට හානියක් කියලා කියනවා විතරක් නෙවෙයි, තමන්ගේ බිරිඳ පෑඩ්ස් පාවිච්චි කරනවද නැද්ද කියන එක ගැන පවා දන්නෙත් නෑ කියලා ප්‍රසිද්ධියේ කියනවා. හැබැයි ඉතින් ස්ත්‍රී ආර්ථවය නැතිනම් මාස් ශුද්ධිය කියන්නේ හංගන්න ඕන, අපවිත්‍ර, නරක දෙයක් නෙවෙයි. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒ නිසාම ඒ වෙනුවෙන් පාවිච්චි කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ගැනත් හංගගෙන කතා කරන්න ඕන නෑ. කඩෙන් මිලදී ගත්තහම බ්‍රවුන් පේපර් බෑග් වල ඔතාගෙන හංගගෙන අරගෙන එන්න ඕනැත් නෑ!

 

2. ලිංගික අධ්‍යාපනය

සාමාන්‍යයෙන් ලිංගිකත්වය හරි සෙක්ස් හරි කිව්ව ගමන් ඔන්න මූණු රතු වෙනවා, ඇඹරෙන්න පටන් ගන්නවා. හරි, එව්වා ප්‍රසිද්ධියේ කරන්න ඕන නෑ. හැබැයි ලිංගික අධ්‍යාපනය කියන්නේ ලිංගිකත්වය ගැන, සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් ගැන ඉගෙන ගන්න එකට. ඒක රහසේ තියාගෙන, කතා නොකර ඉන්නවා කියන්නේම, අනාගතේදී ලිංගික ගැටළු තියෙන පරම්පරාවක් බිහි කරනවා කියන එක. විශේෂයෙන්ම අපි දකිනවා ඉස්කෝල වල ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් සෞඛ්‍ය පීරියඩ් එකේත් කාලය වෙන් වෙලා තිබ්බට, සමහර ගුරුවර ගුරුවරියොත් ඒ ගැන කතා කරන්නෙ නෑ ඒක වල් වනචර දෙයක් කියලා හිතාගෙන. එතකොට ඔය ‘උදා වූ යෞවනය’ වගේ රජයෙන් දෙන පොතක් වුනත් සමහර ළමයි ගෙදර ගෙනියන්නෙත් නෑ, වල් පොතක් ගෙනැල්ලා කියලා බැණුම් අහගන්න වෙයි කියලා. ඉතින් ලිංගික අධ්‍යාපනය ගැන කවර කතාද?

 

3. ආදරය සහ ලිංගිකත්වය!

මේ තියෙන්නේ මිනිස්සු මලාට ප්‍රසිද්ධියේ කතා නොකරන දෙයක්. හරි, සෙක්ස් කරන එක පාරේ තොටේ කරන්න ඕන නෑ. ඒත් ආදරය සහ ලිංගිකත්වය කියන්නේ ඒකත් එක්ක බැඳිච්ච දෙයක් කියන එක පිළිනොගන්න එකම සමාජ උවදුරක්. සමහර වෙලාවට ආදරය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා නොකිරීම නිසාම තමයි උඩ කියපු විදියට ලිංගික අධ්‍යාපනය නිසි විදියට පරපුරකට ලබාදෙන්න බැරි. ආදරය සහ ලිංගිකත්වය ගැන කතා කිරීම වරදක් විදියට දකින නිසාම තමයි, තරුණ යුවළකට නිදහසේ ආදරය කරන්න බැරි වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් නිදහසේ ආදරේ කරන්න බැරි රටක, සමාජයේ ඉන්න අයගේ අසහනය වැඩි වීම ගැන වද වෙලා වැඩක් තියෙනවද?

 

4. මානසික ගැටළු

දැකලා තියෙනවද ගෙදරක සාමාජිකයෙක්ට මොකක් හරි මානසික ගැටළුවක්, සංකූලතාවයක් තිබ්බොත් එහෙම ගෙදර අනික් මිනිස්සු ඒ කෙනාව හංගන හැංගිල්ල? කොටින්ම නිසි ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යන්නෙ නෑ, එහෙම ගිහින් ගමේ රටේ ප්‍රසිද්ධ වුනොත් එහෙම තමන්ට නවනිංගිරාවයි කියලා. විශේෂයෙන්ම තවමත් ඔය පරණ තාලෙට හිතන උදවිය ඕනම මානසික ගැටළුවකට කියන්නේ ‘පිස්සු’ කියලා. ඉතින් පිස්සු තියෙන කෙනෙක් ගෙදරක ඉන්න එක හරිම අවමානයක් කියලා හිතන නිසාම, එහෙම දෙයක් තමන්ගේ පවුලේ කෙනෙක්ට සිද්ධ වුනොත් ඒ කෙනාගේ ජීවිතේට හානියක් වුනත් වහගෙන ඉන්න එක තමයි කරන්නේ. 

 

5. තමන්ගේ සිත් තැවුල්

අනික් අතට මිනිස්සු තමන්ට හිත් තැවුල්, මානසික ආතතීන්, විශාදය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා හිතන්නේ නෑ. මේවගේ තත්වයන් ඇතිවෙන්නේ මනුස්සයන්ටයි කියන එක ගැන ඒ අයගේ ඔලුවට යන්නෙ නෑ. ඒ නිසාම ගොඩක් වෙලාවට තමන්ට මානසික ගැටළුකාරී තත්වයක් තිබ්බත්, ඒකට සුදුසු වෛද්‍යවරයෙක් මුණගැසීම හෝ උපදේශන සේවාවකට යොමු වීම වෙනුවට ඒක හංගාගෙන ඉන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් මේක කිසිසේත්ම හොඳ තත්වයක් නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මිනිස්සු මේ ගැන වැඩි වැඩියෙන් කතාබහ කරනවා නම් මේ තත්වය අඩු වේවි.

 

6. සෞඛ්‍ය තත්ත්වය

මේක නම් ලංකාවේ ටිකක් අමුතු තත්ත්වයක්. සමහර කෙනෙක් ඉන්නවා ඔය උණ හෙම්බිරිස්සාවක් වගේ පොඩි දේකදීත් ස්පෙෂලිස්ට්ස්ලා චැනල් කරලා බෙහෙත් ගන්න ලෙවල් එකට යනවා. හැබැයි තමන්ට හරි ගෙදර කෙනෙක්ට ටිකක් බරපතල ලෙඩක් රෝගයක් හැදුණහම ඒක හරීයට වහන්න උත්සාහ කරනවා. දැන් ලෙඩෙක්ව විෂ බීජ වලට නිරාවරණය වීම ගැටළුවක් නිසා හරි, ලෙඩාට විවේකය ඕන නිසා හරි අනෙක් අයට ලෙඩාව බලන්න පෝලිමේ එන්න ඉඩ නොදීම එකක්. හැබැයි එහෙම ලෙඩක් හැදීම ලෝක ලැජ්ජාවක් කියලා හිතන නිසා අනික් අයට බලන්න එන්න නොදීම සම්පූර්ණ විකාරයක්. විශේෂයෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් එහෙම සම්බන්ධයෙන් කොහොම හැසිරීමක්ද අපේ වගේ රටවල තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි අපි හැමෝම දැනගන්න ඕන එක කාරණයක් තියෙනවා. ලෙඩ රෝග හැදෙන්නේ මිනිස්සුන්ට. ඒ නිසා ඒ ගැන කතාකරන්න ලැජ්ජා විය යුතු නෑ.

 

7. ලිංගික නැඹුරුතාවය

ලිංගික නැඹුරුතාවය කියලා කියන්නේ සරලවම තමන්ගේ ලිංගික ආකර්ෂණය තියෙන්නේ කොයි විදියටද කියන එක. කෙනෙක් පිරිමින්ට ලිංගිකව ආකර්ෂණය වෙනකොට, තවත් කෙනෙක් කාන්තාවන්ට ලිංගිකව ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම ලිංගිකව ආකර්ෂණය වෙන්න පුළුවන්. දැන් මේ දේවල් ගැන විවෘතව කතා නොකරන නිසාම, මේ දේවල් හංගලා තියාගත යුතු දේවල් කියලා හිතන නිසාම ගොඩක් වෙලාවට ජීවිත අපතේ යනවා දකින්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් උපතින්ම සමරිසි නැඹුරුතාවයක් තියෙන පිරිමියෙක්, සමාජ අපවාදයට බයේ ඒක හංගගෙන ඉඳලා කාන්තාවක් එක්ක විවාහ වුනොත් නාස්ති වෙන්නේ එක ජීවිතයක් විතරක් නෙවෙයි, ජීවිත දෙකක්. එහෙම දේවල් මිනිස්සු ප්‍රසිද්ධියේ කතා නොකළට ඕනෑ තරම් මේ සමාජයේ අහන්න ලැබෙනවා.

 

8. ලිංගික හිංසනයන් හා අපරාධ

සාමාන්‍යයෙන් ලිංගික හිංසනයන්, හිරිහැර සහ ලිංගික අපරාධ ඕනෑම කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒකට තමන්ගේ හැසිරීම හෝ අඳින පළඳින විදිය බලපාන්නේ නෑ. හැබැයි ඉතින් අපේ වගේ රටවල ලිංගික අපරාධයක් හරි ලිංගික හිංසනයක් හරි සිදුවුනොත්, සමාජය වපරැහින් බලන්නේ මුලින්ම වින්දිතයා දිහා. සමහරු අපරාධකරුවාව සුද්ධ කරන්නත් පෙළඹෙනවා. ආන්න ඒ නිසා සිද්ධ වෙන දෙයක් තමයි, ලිංගික අපරාධයකට ගොදුරු වුණු කෙනෙක් ඒක හංගගෙන ඉන්න උත්සාහ කරනවා. අඩු තරමින් තමන්ගේ පවුලේ අයවත් ඒ ගැන දැනගත්තත් කතා කරන්න කැමති නොවෙන එක, මේකට ප්‍රබල හේතුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දෙයක් තමයි, පොලිසියට වාර්තා වෙන ලිංගික අපරාධ සිදුවීම් ප්‍රමාණයට වඩා, ඇත්තටම සිදුවෙන ලිංගික අපරාධ ප්‍රමාණය ඉතාම වැඩි බව. එතකොට එව්වා එළියට එන්නෙ නැත්තෙ ඇයි? ඒවා ගැන කතා කරන එක මහා අපරාධයක් විදියට සලකලා, වින්දිතයාවම කොන් කරන විදියට හැදිලා තියෙන සමාජ මනෝභාවය.

 

අපි මේ කියන දේවල් එක්ක එකඟ නැද්ද? ගැටළුවක් නෑ. අපි සාකච්ඡා කරමු. ඔබේ අදහස කමෙන්ට් කරන්න. අපි හැමදෙනාටම ඕන කරන්නේ වඩාත් යහපත් සමාජයක් දැකීම නම්, එතනට යන්න පුළුවන් මේ හැමදෙයක් ගැනම සාකච්ඡා කරලා පිළියම් හෙවීමෙන් තමයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *