පාටි එකකට ගියාම එකම ජාතියෙ ඩෙසර්ට් වර්ග කාලා එපා වෙලාද? එහෙම නැත්තන් අර හැමදාම සුපුරුදු ඩෙසර්ට් ටික එන ගෙස්ට්ලාට දෙන්න පුරුදු වෙලාද? ජෙලි, අයිස්ක්‍රීම්, කැරමල් පුඩින් වටලප්පන් වලින් ටිකක් බැහැරට ගිහින් වෙනස්ම විදිහට ඒත් හරිම ලේසි ඩෙසර්ට් වර්ග ටිකක් ගෙනාවා ට්‍රයි කරලා බලන්න. එන අයත් ගොඩක් ආසවෙයි එහෙම කන්න.
1. චොකලට් කැරමල් ඩෙසර්ට් කප්
අවශ්‍ය ද්‍රව්‍ය
චොකලට් එක සඳහා
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- සීනි මේස හැඳි 4
- ලුණු පින්ච් එකක්
- කිරි කෝප්ප 1
- චොකලට් චිප්ස් කෝප්ප කාලක්
කැරමල් එක සඳහා
- කිරි කෝප්ප 1
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- සීනි කෝප්ප කාලක්
- බටර් මේස හැඳි 2
- චොකලට් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම දාලා භාජනය මද ගින්නෙ ලිපේ තියන්න. උකු ද්‍රාවණයක් හැදෙනකල් හොඳට හැඳිගාන්න.
- දැන් මේක නිවෙනකල් ඉඳලා ට්‍රාන්ස්පේරන්ට් ඩෙසර්ට් කප් අරගෙන ඒ කප් එකෙන් භාගයක් පිරෙන්න චොක්ලට් දාගන්න.
- මේක ෆ්‍රිජ් එකේ පැය 8ක් වගේ සෙට් වෙන්න තියාගන්න.
- දැන් කැරමල් එක හදමු. කිරි වලට කෝන්ෆ්ලා දාගෙන හොඳට කලවම් කරගන්න. වතුර පොඩ්ඩක්වත් නැති වියලි පෑන් එකක් අරගෙන සීනි ටික දාලා කැරමල් කරන්න.
- දැන් මේකට බටර් ටික දාලා කලවම් කරගන්න. කලවම් කරන ගමන් කිරි එක එකතු කරගන්න. හොඳට කලවම් කරන්න. මද ගින්නෙ මේක තික් වෙනකල් හැඳි ගාලා ලිපෙන් බාගන්න.
- ටිකක් නිවෙන්න ඇරල චොක්ලට් දාපු කප්ස් වලට කැරමල් ලේයර් එකක් උඩින් වක්කරගෙන ෆ්‍රිජ් එක දාගන්න. පැය කීපයකින් එළියට අරගෙන ආමන්ඩ් ඇට ටිකක් කුඩු කරලා චොක්ලට් ස්ප්‍රින්කල්ස් එක්ක ඉසගන්න.
2. චොක්ලට් පෝක් කේක් (Chocolate Poke Cake)
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2/3
- කොකෝ පව්ඩර් කෝප්ප 1/4
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- අයිසින් ෂුගර් කෝප්ප 1/2
- එළවළු තෙල් කෝප්ප 1/4
- මිල්ක්මේඩ් කෝප්ප භාගයක් හෝ බිත්තර 2ක්
- කිරි කෝප්ප 1/2
අයිසින් එක සඳහා
- මිල්ක්මේඩ් කෝප්ප 1/2
- චොක්ලට් චිප්ස් කෝප්ප 1/4
- විපින් ක්‍රීම් කෝප්ප 1/4
- සීනි තේ හැඳි 1
- කොකෝ පව්ඩර් තේ හැඳි 1
- පාන්පිටි, කොකෝ පව්ඩර්, බේකින් පව්ඩර්, බේකින් සෝඩා, අයිසින් ෂුගර් එකතු කරලා දෙපාරක් හලාගන්න.
- දැන් මේකට එළවළු තෙල් ටික දාගන්න. ඊළඟට බිත්තර 2ක් හෝ මිල්ක්මේඩ් කෝප්ප භාගයක් දාගෙන කලවම් කරගන්න. ඒකට කිරි ටිකත් දාගන්න.
- දැන් මේ ඔක්කොම හොඳට විස්ක් කරගන්න. බේක් කරන්න පුළුවන් ග්ලාස් පෑන් එකක් අරන් තෙල් ටිකක් බ්‍රශ් කරලා ඒකට බේකින් පේපර් එකක් දාලා බැටර් එක දාගන්න. ටිකක් ලොකු පෑන් එකක් අරගෙන ඒක ඇතුලෙන් ගෑස් කුකර් ස්ටෑන්ඩ් එකක් හෝ යකඩ දරණුවක් තියලා පියනකින් වහලා විනාඩි 10ක් මද ගින්නෙ හීට් කරන්න.
- දැන් මේක ඇරලා ග්ලාස් පෑන් එක තියලා වහගන්න. විනාඩි 40-50ක් බේක් වෙන්න දෙන්න. කැමති නම් මේක අවන් දාන්නත් පුළුවන්.(සෙල්සියස් අංශක 200 ට විනාඩි 40ක් ).
- දැන් පියන ඇරලා කූරක් මැදට ගහල බලලා හොඳට බේක් වෙලාද චෙක් කරගන්න. දැන් මේක එළියට අරන් වාටි කපලා ආයෙම ග්ලාස් පෑන් එකට දාගන්න.දැන් හැඳි මිටක් අරගෙන කේක් එක පුරා හිල් විදගන්න.
- දැන් අයිසින් එක හදාගමු. මිල්ක්මේඩ් වලට චොකලට් චිප්ස් එකතු කරලා විනාඩි 2ක් මයික්‍රොවේව් හෝ දිය වෙනකම් ඩබල් බොයිල් කරගන්න. දැන් මේක කලවම් කරලා හිල් හදාගත්තු කේක් එකට උඩින් වක්කරන්න.
- දැන් විපින් ක්‍රීම් වලට සීනි හා චොක්ලට් පව්ඩර් එකතු කරලා බීට් කරගන්න. හයිස්පීඩ් විනාඩි 10ක් බීට් කළාම අයිසින් එක ගාණට හැදෙනවා. දැන් මේ අයිසින් එක කේක් එකේ තවරගන්න. උඩින් චොකලට් චිප්ස් ඉසගෙන ෆ්‍රිජ් එකේ දාගන්න. කන්න කලින් කැමති නම් චොකලට් සිරප් උඩින් දාගන්න.
3. මැන්ගො බිස්කට් ෆ්ලෝට් ඩෙසර්ට්
අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳට ඉදුණු අඹ ගෙඩියක්
- මාරි බිස්කට් පැකට් එකක්
- දිය කරගත් බටර් (ඩබල් බොයිල් ක්‍රමයට) මේස හැඳි 2ක්
- විප් ක්‍රීම් කෝප්ප 1/2
- මිල්ක්මේඩ් කෝප්ප 1/2
- මැංගො එසන්ස් තේ හැඳි 1/2
- මාරි බිස්කට් ටික ග්‍රයින්ඩ් කරගන්න. ඒකට බටර් ටික දාලා කලවම් කරගෙන මේකෙන් ටිකක් ග්ලාස් පෑන් එකේ අඩියට ලේයර් එකක් දාගෙන හොඳට තද කරගන්න. මේක ටික වෙලාවක් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න.
- වෙනම භාජනයකට විපින් ක්‍රීම් දාලා විනාඩි 5ක් එක දිගට බීට් කරන්න. දැන් මේකට මිල්ක්මේඩ් ටික දාගන්න. මේකටම මැංගො එසන්ස් ටිකත් දාගන්න. ආයෙම හොඳට බීට් කරගන්න.
- දැන් මේ ක්‍රීම් එකෙන් ලේයර් එකක් බිස්කට් ලේයර් එක උඩින් දාගන්න. දැන් මේක උඩින් කෑලි කපාගත් අඹ ටිකක් අතුරගන්න. ඊට උඩින් ආයෙම බිස්කට් ලේයර් එකක් දාගන්න. දැන් හැන්දෙන් තද කරගෙන උඩින් ආයෙම විප් ක්‍රීම් ටිකක් ලේයර් කරගන්න. උඩට තව අඹ කෑලි ටිකක් දාගන්න. පිළිගන්වන තුරු ෆ්‍රිජ් එකේ දාගන්න.
4. රිබන් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කස්ටඩ් පව්ඩර් මේස හැඳි 3
- කිරි කෝප්ප 2
- සීනි කෝප්ප 1 1/4
- ජෙලටින් මේස හැඳි 3
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
- වැනිලා තේ හැඳි 1
- කොෆී තේ හැඳි 1 1/2
- කොකෝ පව්ඩර් තේ හැඳි 1
- කිරි කෝප්ප එකකට කස්ටඩ් ටික දියකරන්න. අනික් කිරි කෝප්ප එක ලිපේ තියලා උතුරනකොට කස්ටඩ් මිශ්‍ර කිරි එක දාගන්න. සීනි ටිකත් එකතු කරගන්න. ජෙලටින් ටික දාගෙන හොඳට කලවම් කරගන්න.
- ඊටපස්සෙ ෆ්‍රෙශ් ක්‍රීම් ටික එකතු කරගන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
- දැන් මේක කෝප්ප 3කට වෙන් කරගන්න. එක කෝප්පෙකට වැනිලා ටික දාගන්න. අනික් කෝප්පෙට කෝපි කුඩු ටික දාගන්න. තුන්වෙනි කෝප්පෙට කොකෝ පව්ඩර් දාගෙන කලවම් කරගන්න.
- ග්ලාස් පෑන් එකකට මුලින් කොෆී ලේයර් එක දාගෙන සෙට් වෙන්න විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ තියන්න. ඊලඟට වැනිලා ලේයර් එක දාගන්න. ඒක සෙට් උනාම චොක්ලට් ලේයර් එක දාගෙන ෆ්‍රිජ් දාගන්න.
5. චොකලට් බනානා ස්ටික්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල් ගෙඩි කිහිපයක්
- චොකලට් චිප්ස් කෝප්ප 1
- පෑන්කේක් මික්ස් පැකට් එකක්
- බිත්තර 1
- ඔලිව්තෙල් මේස හැඳි 1
- කිරි කෝප්ප 3/4
- කෙසෙල් ගෙඩිය ලෙලි ඇරගන්න. ගෙඩියක් තුනකට කපාගන්න. චොකලට් චිප්ස් ටික මයික්‍රොවේව් දාලා මෙල්ට් කරගන්න. දැන් කෙසෙල් ටික පොප්සිකල් ස්ටික් වල ගහලා චොකලට් වල ඔබලා ගන්න. මේ ටික ෆ්‍රීසර් එකට දාගන්න.
- පෑන් කේක් මික්ස් එකට බිත්තරය, ඔලිව්තෙල්, කිරි දාලා හොඳට ගසාගන්න.
- තික් බැටර් එකක් හදාගෙන ෆ්‍රීස් කරගත් කෙසෙල් ටික ආයෙම මේ බැටර් එකේ දාලා ගැඹුරු තෙලේ බැදගන්න. උඩින් අයිසින් ෂුගර් ඉහලා කෑමට ගන්න.
Leave a Reply