ඉන්ටර්නෙට් එකට අනුව ලංකාවේ පහුගිය දවස්වල වුණ සුවිශේෂ සිදුවීම්

පොතින් පතින් වෑර්ලස් එකෙන් ටීවි එකෙන් අලුත් දේවල් අහපු දැකපු කාලේ දැන් කල් ඉකුත් වෙලා. දැන් අපි හැම දෙයක් ම දැන කියාගන්නේ ඉන්ටර්නෙට් එකට පින් සිද්ධ වෙන්න. ආණ්ඩුත් පෙරලපු අමුතු ලෝකයක් තමයි ඉන්ටර්නෙට් කියන්නේ. ඒ ඉන්ටර්නෙට් එක විසින් තීරණය කරලා තියනවා ලංකාවේ මෑතකාලීන තත්ත්වය එක්ක සුවිශේෂ සිදුවීම් වෙන්නේ මෙන්න මේවා ය කියලා.

 


1. ලොව ප්‍රථම මගුල

සුවිශේෂම සිදුවීම තමයි මේක. ඇත්ත වශයෙන් ම කියනවා නම් ඔය ප්‍රී ෂූට් එකේ ඉඳන් වෙන්න පුළුවන් හැම ෂූට් එකක ම පොටෝ ගහලා ඇල්බම් බුකියට දාන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ. ඒක නෙවේනේ වැඩේ. ඉතින් එච්චර ම සුපුරුදු දෙයක් වෙලා තියෙද්දී එහෙම පොටෝ දාපු ජෝඩුවක් අල්ලන් අපේ උන්නාන්සෙලා ගත්තු සතුට තමයි වැඩේ. ඒක අහිංසක සතුටක් කියන්න බෑ වදකාර සතුටක්. ගෑල්ලමය කසාද බඳපු කොලුවට වඩා අවුරුද්දක් වැඩිය කියලා එහෙන් අක්කා මල්ලි ලව් සික් පීපල් කුලප්පු වෙලා. අනික් පැත්තේ ඒ ගෑල්ලමයගේ යටගියාද හොයනවා කට්ටියක්. අනේ හරිම ස්වීට් මන්ත්‍රේ කියවනෝ තව ටිකක්. දීග කඩන්න හරිම දක්ෂකමක් ලාංකික අපට තියෙන එකේ ලෝකේ පළවෙනි මගුල වගේ මේවා ඉහේ කරේ තියා ගත්තා වගේ නෙවේ ඇස්වහක් කටවහක් වැදුණා නම්.

 



2. ලොව ප්‍රථම පොලිස් කාන්තාව

කැමැත්තෙන් දඩ කොළ කන්න ආසා කරන ජීවින් වගයක් ඉන්න අමුතු රටක් ගැන ඉන්දියන් සාගරයෙන් වාර්තා වෙනවා. පස්සේ බැලින්නම් එතනත් මේ ගෑණු හුටපටයක්. හයේ හතරේ පොලිස් කාන්තාවන් දැකලා දැකලා හෙම්බත් වුණ කෝටි 2ක ජනතාවට සුකොමල පොලිස් කාන්තාවක් දැකලා සිහි නෑ. දඩ කොළ කන්නම් ලු, හිරේ යන්නම් ලු, ඉරි කපන්නම් ලු… ඇයි යාළුවනේ ඔයාලා එහෙම? ලස්සන මීට වඩා ලස්සනට අගය කරන්න පුළුවන් නේද? පස්සේ ඉන්ටර්නෙට් එකේ ඉන්න වැඩ නැති පුද්ගලයෙක් පොඩි ගවේෂණයක් කරලා මේ රූමත් පොලිස් කාන්තාව දරුවෙක් එක්ක ඉන්න පොටෝ එකක් අමුණලා කට්ටියගේ ආතල් කුඩු කරලා තිබුණා.

 


3. ලොව ප්‍රථම දරු උපත

නව යුවළකට දරුවෙක් ලැබෙන එක මොන තරම් නම් සතුටුදායක අවස්ථාවක් ද? අල්ලපු ගම් 7කට බෙර ගහලා කියන්න තරම් ඒක ලොකු දෙයක්. රෝහිත සහ ටටියානා යුවළ තමන්ගේ අලුත් පුතා ගැන සමාජ ජාලාවල වුණත් ඉතා ප්‍රවේශමෙන් ආදරයෙන් කතා කරලා තිබුණා. ඊටත් වඩා ආදරයක් අපේ ජනතාවගෙන් ලැබිලා තිබුණේ ඒක ලෝකයේ ප්‍රථම දරු උපත වාගෙයි. ඒක නෙවේ වැඩේ. මේ අලුත උපන්න කිරි සප්පයා අල්ලාගෙන දේශපාලන මඩ ගහන්න පටන් ගත්ත එක්ක. ඉවසන්න බැරිම තැන රෝහිත සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමෙන් තමන්ගේ පුතා ගැන එහෙම කතා කරන්න එපා කියලා ඉල්ලා සිටියා.

 

 


4. ලොව ප්‍රථම ගෑස් සිලින්ඩරය

පහුගි​ය දවස්වල පොඩි ගෑස් කේස් එකක් තිබ්බා​නේ. පොඩි කිව්වට පොඩිමත් නෑ හෙන ලොකුයි ප්‍රශ්නේ. ඉතින් පෝලිම් ගාණේ ධාතු බලන්න වාගේ ඉඳන් ගෑස් එකක් ගන්න ලැබුණා ම ලොකු සතුටක් ලැබෙනවා. ඒක නිකන් රටක් රාජ්ජයක් හිමි වුණා වගේ. ඉතින් ඔය ඇන්ටිලා එහෙම නම් අහළ පහළ අය එක්ක ඒ ගැන දොඩවන්න පටන් ගත්තා. කොල්ලෝ කුරුට්ටා සිලින්ඩර් එක්ක පොටෝ ගහලා බුකිගත කරන්න ගත්තා. කාට ද කියන්නේ?

 



5. ලොව ප්‍රථම රිබන් කැපිල්ල

ඕනිම මනුෂ්‍ය ජීවන අවස්ථාවක ඩාම් වෙන්න පුළුවන් ඩූම් වෙන්න පුළුවන්. පොඩි පොඩි මිස්ටේක් වෙනවා. ඉතින් එහෙම වුණාම ඒවා මහා දෙයක් කරන් රඟන්න දෙයක් නෑ. දැන් බලන්න අපේ ජනාධිපතිතුමා අල්ලන් කරන නාඩගම. කට් කිව්වම කපන්නැතුව කපන්න බැරි අත් ඉඹින්න ද? ඡන්දයක් අස්සේ ලංකාවාසී ජනතාවත් රිබන් එකක් අල්ලන් ආතල් කෙලිනවා අපේ ජනාධිපතිතුමාට කෝචෝක් දාගෙන. අහුවෙන්නෙපා හරිය!

 

 


6. ලොව ප්‍රථම ගේම් ප්ලේයර්

ලොව ප්‍රථම ගේමර් විදියට ලංකාවෙන් ගිනස් පොතට එක් වන්නේ හාමුදුරු නමක්. 2500 ඉතිහාසයට බැන බැන හැම වෙලේ ම ඒකට මුවා වෙලා කෑ ගහන උදවියට හාමුදුරු නමක් ගේම් ගහනකොට ඒ 2500 හොඳකම මතක් වෙලා තියනවා. මේ ගැන නිර්මාණය වුණ කතාබහ එක්ක ලෝකයේ පළමු ගේමර් විදියට උන්වහන්සේව හඳුන්වන්න පුළුවන්.

 


7. ලොව ප්‍රථම රෙස්ටෝරන්ට් පලහිලව්ව


කොළඹ පැත්තේ රෙස්ටෝරන්ට් එකක සේවක මණ්ඩලය සඳහා ඔවුන් භාවිත කරන්න ඕනි භාෂා මාධ්‍ය පිළිබඳ සඳහන් කරලා ප්‍රදර්ශනය කර තිබුණ උපදෙසකට කස්ටර්මර්ලගේ තැන ඉඳන් එකී මෙකී නොකී හැමෝම ට්‍රිගර් වෙලා තිබුණා. කළමනාකාරීත්වය විසින් එහෙම කරන්න හේතුව මොන වන්නම් දාලා කිව්වත් සුබුද්ධිමත් ප්‍රජාවක් එක්ක තුවාල වණ කරලා මිසක් පස්ස බලන්න බෑනේ. ඉතින් ඕකයි වුණේ.


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *