ඉගෙනගත්තොත් තමයි අපිට නම් හෙට දවසක් තියෙන්නේ. හැබැයි ඒක කිසිසේත් ම පිහිටලා නැතිනම් මොකෝ කරන්නේ? මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න සමහරු ජීවිතේ අසාර්ථක කරගත්තා. හැබැයි සමහරුන්ට ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණෙත් ඒක ම තමයි. ඉගෙනගත්ත බොහෝ අයට යන්න බැරි තරම් දුරකට ගිහින් නතර වුණ මේ කට්ටිය සිනමාව, සංගීතය සහ ක්‍රීඩාව කියන අංශවලින් ඉදිරියට ගිහින් ජීවිතය ම දිනනවා. මේ එහෙම දන්න අඳුරන කීප දෙනෙක්.
1. මාලන් බ්රැන්ඩෝ
ස්ටැන්ලි කොවල්ස්කිව මතක ද? එහෙමත් නැත්නම් ද ගෝඩ්ෆාදර් චිත්‍රපටයේ විටො කොර්ලීයෝන්ව? ඒ කියනකොට නම් මතක් වේවි. අංගචලන සිනමාවේ ශ්‍රේෂ්ඨයා විදියට හඳුන්වන මාලන් බ්රැන්ඩෝ ලෝක සිනමාවේ නොමැකෙන නාමයක් තැබූවෙක්. ඒ කතන්දර ශ්‍රේෂ්ඨ වුණාට මාලන් පාසල් ජීවිතයේ දී නම් දස අණ්ඩපාලයෙක්. ඔහුව ඉස්කෝලෙන් අයින් කරන්නේ පාසල් කොරිඩෝරයක බයික් එකක් එලවගෙන ගිය නිසයි. ඊට පස්සේ මිලිටරි ඇකඩමියකට ඇතුළත් වුණත් ඒකත් හරි ගිහින් නැහැ. හරි ගිහින් නෑ කියන්නේ ඒකෙනුත් අස් කරලා. දෙපාරක් ම අධ්‍යාපනය යා නොදුන්නා ම සමහර මිනිස්සු නම් අනාථ වෙනවනේ. ඒත් මාලන් මැරෙනකොටත් ඇමරිකානු ඩොලර් මිලියන සියයක හිමිකාරයෙක්.
2. ස්නූප් ඩෝග්
ස්නූප් ඩෝග්ගේ රැප් අහන අය නම් දන්නවා මනුස්සයගේ කැරැට්ටුව. සැපේ රැඳෙන්න කැමති කොල්ලෙක්නේ. කොයිවෙලෙත් මල් ලෝකේ. ඒවා ගැනමයි කියන්නෙත්. මෙයා ඇත්තටම මලක් වගේ කාලේ, ඒ කියන්නේ අවුරුදු 10 දී තමයි ඉස්කෝලෙන් අයින් කරන්නේ. ඇයි ද කියනවා නම් අන්තිම කැත හැසිරීම. විස්තරාත්මක විදියට කිව්වොත් කොල්ලා තමන්ගේ රහස් ප්‍රදේශය කෙල්ලෙක්ට පෙන්නලා. ඉතින් පොඩි සාන්තව එළියට දැම්මා. අද වෙනකොට ආදායම් තත්ත්වය ඇමරිකානු ඩොලර් මිලියන 135යි.
3. රොබට් පැටින්සන්
ට්වයිලයිට් කතා මාලාවෙන් පස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණ පැටින්සන් මහත්තයා මේ වෙනකොට ක්ෂේත්රයේ ලොකු තැනකට ඇවිත් තියෙනවා. විවිධාකාරයේ චරිත නිරූපණය කරන්න චිත්‍රපට ඔහුට ලැබුණා සහ ලැබෙමින් පවතිනවා. හැබැයි ඔය එකකවත් නැති තරමේ කතාවක් තමයි ඔහුගේ පාසලෙන් දොට්ට දැමීමේ කතාවෙ තියෙන්නේ. අසභ්‍ය සඟරා කඩවලින් උස්සලා විශාල ගණනකට ඔහු පාසලේ සිසුවන් අතරේ බෙදා හැරලා තියනවා. අද වෙනකොට ඔහුගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 100යි.
4. සල්මා හයෙක්
මෙක්සිකානු සම්භවයක් සහිත මේ සරාගී නිළියත් ඉස්කෝලෙකින් දොට්ට දැම්මා කිව්වා ම වාවන්නෑ. ඇත්තටම එයාව එළියට දාන්න හේතු වුණ කරුණුත් බරපතල ඒවා නෙවේ. සරලවම කිව්වොතින් පුංචි කාලෙම මනුස්සයාව දානවා නේවාසික පාසලක. ඉතින් පුංචි සල්මා අනෙක් යාළුවොන්ටයි පාලිකාවොන්ටයි එක එක විහිළු කරලා තියනවා. එලාම් එක කලින් කරකවනවා වගේ බොළඳ ඒවා. හැබැයි ඒකට ඉස්කෝලේ පරිපාලනයට මල පැනලා. ඇයගේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7කට කිට්ටුයි. බුදු අම්මෝ.
5. එරික් ක්ලැප්ටන්
ලෝකයේ ඉන්න ධනවත්ම රොක් සංගීතඥයන් අතර තමන්ගේ නම රැන්දූ එරික්ව ඉස්කෝලෙන් එළියට දාන්නේ හරි පුදුම දේකට තමයි. කලාව උගන්වන පාසලකට ගියත් එරික් ඉගෙනගත්තේ ඔය පල්ලිවල එහෙම නිතර තියෙන කැඩෙන බිඳෙන වීදුරුවෙන් හදපු නිර්මාණ ගැන. ඒත් ආසාව ගිටාරයට. බලන කොයි වෙලෙත් ගිටාරේ අතේ. අධ්‍යාපනයේ දියුණුවක් නැති නිසා පාසැලෙන් ඉවත් කරනවා. එරික්ගෙ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 300යි.
6. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පිටියේ දඩබ්බරයෙකු වනවා වගේ ම පන්ති කාමරයේ දී ත් දඩබ්බර ගති පෙන්වන්න ගිහින් තමයි රොනාල්ඩෝ ඒ ඉරණම ලබා ගන්නේ. ටීචර් කෙනෙක් එක්ක පොඩි කතාවක් දුර දිග යාමෙන් ටීචර්ට පුටුවකින් දමලා ගහනවා. මේ දේවල් වෙන්නේ වයස අවුරුදු 14දී. ටීචර් වුණත් ඕනිවට වැඩියි. රොනාල්ඩෝව බයිටකට අරගෙන ලු තිබ්බේ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා අද නම් ඇමරිකානු ඩොලර් මිලියන 450ක් විතර හොයන් ඉන්නවා.
7. චාර්ලි ෂීන්
ඇමරිකානු නළුවෙක් වෙන චාර්ලි ෂීන් කියන්නෙත් ඉස්කොලෙන් දොට්ට දාපු කෙනෙක්. ලංකාවේ කොල්ලෙක්ව එහෙම දොට්ට දාන හේතුව තමයි චාර්ලිට තියෙන්නේ. පැමිණීම මදිකම සහ භාගෙට ලියපු උත්තර පත්‍ර තමයි හේතුව. සාමාන්‍ය විදියට කියනවා නම් තනිකර අපතයෙක්.
Leave a Reply