සිරිමාවෝ මැතිණියගේ සමාජවාදී කාලයේ ලංකාවෙ මිනිස්සු ජීවත් වුන හැටි

සිරිමාවෝ බණ්ඩාරනායක කියන්නේ ලංකාවට ලෝකෙන්ම කීර්තියක් අත් කර දුන් චරිතයක්. ලෝකේ ප්‍රථම අගමැතිවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාත්‍යන්තර සම්බන්ධතා අතින් සුපිරි චරිතයක් වුනා. එහෙත් ඇයට රජය පිහිටුවන්නට වාමාංශිකයින්ගේ සහාය ලබාගන්නට උවමනා වූ නිසා ඇයගේ කාලයේ ජනතාවට වාමාංශික ප්‍රතිපත්ති වලින් බැට කන්නට වුනා. ඒ කාලේ සිද්ද වුන දේවල් කිහිපයක් අපි සොයල බලමු. 

 

1. නෝට්ටු තහනම

ඇන් ඇම් පෙරේරා 1956 දී තිබූ බණ්ඩාරනායක අගමැතිවරයාගේ රජයට ප්‍රබල විරුද්ධ පාක්ෂිකයෙක් වුනා. එන් එම් පෙරේරාට රජයට විරුද්ධව උද්ඝෝෂ​ණ කරන්නට දවස් 365ත් මදියැයි එවකට කට කතා ප​ළ වුනා. එහෙත් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමතිකම වාමාංශික එන් එම්ට ලැබුනා. එහිදී ඔහු ජනතාව සතුව තිබූ පැරණි මුදල් අවලංගු කර අලුත් මුදල් හඳුන්වා දුන්නා. මුදල් පොදි ගසාගෙන සිටි උදවියට එයින් වැට බැඳුනා. මුදල් ගොඩගසාගෙන සිටි ඇතැම් ධනවතුන්ට සිය මුදල් සියල්ලම මාරුකරගන්න බැරිවුනා. මුදල් පොදි ගසාගෙන එකතු නොකර ඒවා වැඩකට ඇති කාර්යයක​ට යොදවා ආයෝජන දිරිගැන්වීම මේ පැරණි මුදල් තහනමේ එක් පරමාර්ථයක් වුනා. මෑතකදී ඉන්දියාවේද එවැනි පැරණි මුදල් තහනමක් අත්හදා බැලූ නමුත් එයද ඒ තරම් සාර්​ථක වුනේ නැහැ…

 

2. ජනසතු කිරීම

ලංකාවේ පාසැල් අධ්‍යාපනය මුලුමනින්ම රජයට හිමිවූයේ සිරිමාවෝ මැතිණියගේ කාලයේදී. විවිධ ප්‍රබල විදේශීය ආගමික කණ්ඩායම් මගින් පාලනය වූ පාසැල් සියල්ල රජයට පැවරුණා. එම තීරණය නිසා සිරිමා රජයට විවිධ බාධාවන්ටද මුහුණ දෙන්නට සිදු වුනා. නිදහස් අධ්‍යාපනය ඒ වනවිට බිහිවී තිබුනද පාසැල් රජයට පවරා ගැනීම 1960 ග​ණන් දක්වා ඇදී ගියා. රජයේ බැංකු සංස්ථා වගේම තෙල් සංස්ථාව වැනි ආයතන රජයට හිමි වීමත් මේ සිරිමා ආණ්ඩු කාලේදී සිදු වුනා. 

 

3. ආර්ථික පොලු

1977 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය උඩින්ම පරාජය වී එක්සත් ජාතික පක්​ෂයේ ජේ ආර් ජයවර්ධන බලයට පත් වුනා. මෙයට ප්‍රබලම හේතුවක් වූයේ සිරිමාගේ රජය මහජනයාට පනවා තිබූ ඇතැම් නීති රෙගුලාසි වලින් ජනතාව දැඩි ලෙස පීඩා විඳීමයි. 1977 ට පෙර පැවති රජය යටතේ ලංකාව තු​ළ තිබුනේ සංවෘත ආර්ථික ක්‍රමයක්. ඒ අනුව ලංකාවට බඩු බාහිරාදිය ගෙන ඒම සහ ලංකාවෙන් බඩු පිටරටවලට යැවීමට දැඩි ලෙස සීමා පැනවුනා. ඒ කාලයේ ජනතාවට දුක් විඳින්නට ලැබුනත් රජයේ ඉහ​ළම තනතුරු වල සිටි අයට නොයෙකුත් ක්‍රම හරහා සැප විඳින්නට ලැබුනා.

 

4. බත් කන දවස් ස​හ පාන් කන දවස්

එකල තිබූ තත්ත්වය මත මහජනයාට බත් කෑමට පවා සීමා ඇතිවුනා. බත් කෑමට දවස් නියම කර තිබූ අතර ඊට අමතර සතියේ දිනවලදී කෑමට නියම වූයේ මඤ්​කොක්කා, අල, බතල වැනි ආහාර… බඩු භාණ්​ඩ මිලදී ගැනීමට අද මෙන් කඩ සාප්පු බහුල නොවූ ඒ කාලේ සමූපාකාර ඉදිරිපිට දිග පෝලිම් දකින්නට තිබුනා. හාල් සහ වියලි ආහාර ද්‍රව්‍ය කූපන් ක්‍රමයට බෙදා දුන් අතර වංචාවෙන් කූපන් හරහා සහල්, පරිප්පු, සීනි වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගොඩගසාගත් ධනවතුන්ද සමාජයේ හිටියා.

 

5. බත් කෑම ෆැෂන් එකක් වීම

එකල මඟුල් තුලාවක් ප​ළකිරීමද රජයේ රෙගුලාසි අනුව විය යුතු දෙයක් වුනා. මඟුලකට සහභාගි විය යුතු පිරිස පිළිබ​ඳ සීමාවක් තිබුනා. ඒ මඟුලට අවශ්‍ය රෙදි පිළි සහ ඇඳුම් මිලදී ගැනීමටද සීමා මායිම් තිබුනා. ඒ අනුව මඟුල් තුලා යනු අද මෙන් ලොකුවට ගත් ඒවා නොවූ අතර යාන්තම් ගන්න උවමනා නිසාම ඇතැම් මඟුල් තුලා ගැමියන් විසින් ගත්තා. රෙදි, සෙරප්පු වැනි දේට පවා රජයෙන් සීමා කිරීම් තිබුන අතර ඇතැම් විට ගැහැණු පිරිමි යන දෙපාර්ශවයම එකම වර්ගයේ රෙදි පිළිවලින් සැරසෙන්නට වුනා.

 

6. පොර කෑම සහ සොරාගැනීම

දැන් නම් බත් පතක් විසික් කරන විට ඉතාම කලාතුරකින් හැර සි​ඟන්නෙකු වත් බත් පත දෙස බලන්නේ නැහැ. එහෙත් එවකට කොළඹ උද්‍යානයකට වී බත් පතක් බුදින විට ඒ දෙස බලාගෙන සිටින දුප්පතුන් සිටියා. ඔවුහු ඒ බත් පතේ යමක් ඉතිරි වී ඇත්නම් ඒ ස්වල්පය ලැබෙන තෙක් බලාගෙන සිටියා. ඇතැම් විට මුදල් තිබුනත් ඔවුන්ට බත් සහ වියලි ආහාර සපයා ගන්නට එකල තිබූ වටපිටාව අනුව නොහැකි වුනා. 

 

7. සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම

යටත්විජිත කාලයේ ඉන්දියානු දෙමළ ජනයා ලංකාවේ වතුවලට වැඩට ගෙන ආ අතර එය ලංකාව නිදහස ලබන විට රට මුහුණ දුන් ගැටළුවක් වුනා. 1948 දී එලෙස සිටි ලක්​ෂ 9කට අධික ජනතාවක් රටක් නැති ජනතාවක් බවට පත් වුනා. ඉන් පසු කාලයේදී ලංකාව සහ ඉන්දියාව අතර එම ජනයා බෙදාහදාගන්නට සිරිමා ශාස්ත්‍රී ගිවිසුම බිහිවුනා. එහිදී ලංකාවේ සිටි ඉන්දියානු ජනයාගෙන් ලක්​ෂ දෙකකට වඩා ඉන්දියාවට පිටත් ක​ළ අතර එක්ලක්​ෂ පනස්දහසකට වැඩි සෙන​ඟකට ලාංකික පුරවැසිකම 1977 වන විට ලැබුනා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ සිදුවූ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වූ සිදුවීමක් ලෙස එම ද්‍රවිඩ ජනයා සම්බන්ධ සිදුවීම දැක්විය හැකියි. එසේ නොමැති වී නම් තවත් ලක්​ෂ 3ක අමතර දමිල ජනතාවක් ලංකාවට ර​ඳවාගැනීමට සිද්ධ වෙනවා. 

 

1977න් පසුව රට ලෝකයට විවෘත වුනා. එතෙක් රටේ නිෂ්පාදනය කරගෙන භුක්ති විඳි දේවල් ​ගොඩක් පිට රටින් ලාබෙට එන්න ගත්තා. ඒ එක්ක ඇතිවුන විපර්යාසය ඇතැමුන් හො​ඳ විදිහට දකින්නේ නැහැ. ඒත් ඇතැම් අය විවෘත අර්ථිකය ඇති විය යුතුම දෙයක් කියලාත් කියනවා. කොහොම වුනත් අමුතු ආකාරයේ ජීවන රටාවකට ජනතාව හුරු වුනු ඒ සිරිමා පාලන කාලය ඒ කාලේ වැඩිහිටියන්ට නම් අමතක නොවන සිදුවීමක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *