‌ෆේස්බුක් එකේ දැකලා හිත ගියපු ගෑණු ළමයෙක්ව යාලු කරගන්න ක්‍රම සහ විධි!

දැන් ඔය ෆේස්බුක් එක තියෙනවනේ. ඔය ෆේස්බුක් එක හරහා කෙල්ලෝ කොල්ලෝ යාලුවෙනවනේ. හැබැයි සමහරුන්ට තියෙන බොන්න ඕන ප්‍රශ්නයක් තමයි, ෆේස්බුක් එකෙන් දැකලා සූටි නංකියෙක්ට හිත ගියත්, ඒ නංගිගේ අවධානය ලබාගන්නේ කොහොමද කියන එක. පැහැදිලි නැද්ද? දැන් මෙහෙමනේ. කොල්ලන්ට වගේ නෙවෙයි, නංකිලාට ෆේස්බුක් එකේ ඩිමාන්ඩ් එක වැඩියි. නංකියා සුරංගනාවියක් වගේ අහිංසකයි, ප්‍රියංකරයි නං ඒ ඉල්ලුම ඩබල් ට්‍රිබල් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නංකියාට දවසකට ෆේස්බුක් රික්වෙස්ට් පණහයි, ඉන්බොක්ස් මැසේජස් හැත්තෑ හතයි කියන එක තමයි. එතකොට ඉතින් අපේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බැරිවෙලාවත් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් වෙලා අපි “හායි ඩියර්” කියලා ඉන්බොක්ස් මෙසේජ් එකක් දැම්මත්, ඒ මෙසේජ් එක අර දවසකට එන ඉන්බොක්ස් මෙසේජ් තොගේ අස්සේ හැංගිලා යන එක තමයි වෙන්නේ.

හැබැයි ඉතින් වැඩ දන්න මිනිස්සු ඔය වගේ ඉම්පොසිබල් තත්වයන් අතරින් වුනත් තමන්ගේ හිත ගියපු නංකියාගේ අවධානය දිනාගන්න සමර්ථ වෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ ආන්න ඒ විදියේ සාර්ථකත්වයේ රහස් කීපයක් ගැන තමයි!

 

1. එල කොල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක්!

දැන් අපි පටන් ගැන්මටම කිවුවනේ ඔය ෆේස්බුක් එකේ ඉන්න සෝයි නංකියෙක්ට දවසකට හැටහුටහමාරකගෙන්වත් රික්වෙස්ට්ස් එනවා කියලා. හැබැයි ඉතින් නංකියා ඔය රික්වෙස්ට් එවලා තියෙන්නේ මොක්කුද කියලා නොබලා ඉන්නෙත් නැහැනේ. ආන්න ඒ නිසා ඉතින් දැක්ක ගමන් නංකියාට හිතෙන්න ඕන “මේක ගින්දර කොල්ලෙක්ගේ ප්‍රොෆයිල් එකක් වගේ, ඔන්නොහේ ඇක්සෙප්ට් කරනවා” කියලා! එහෙම වෙන්න නං ඉතින් තමන්ගේ ප්‍රොෆයිල් එක කොලිටියට තියෙන්න ඕන. ඒ කියන්නේ හරිම ආගමික දේවල්, ගුණගරුක දේවල් විතරක් තමන්ගේ ප්‍රොෆයිල් එකේ ෂෙයාර් කරන්න ඕන කියන එක නෙවෙයි. කුණුහරුප ස්ටේටස් පිරුණු ප්‍රොෆයිල් එකක් වුනත් කමක් නෑ, හැබැයි කෙනෙක්ට දැක්කහම මේක ඉන්ටරෙස්ටින් නේද කියලා හිතෙන ලෙවල් එකකට තියෙන්න ඕන.

 

2. රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපු ගමන් මෙසේජ් එකක්?

සාමාන්‍යයෙන් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරන කල් ෆේස්බුක් එක දිහා විරවගෙන බලාගෙන ඉඳලා ඇක්සෙප්ට් කරපු සැණින් පැනලා මෙසේජ් කරන එක ඒ තරම් සාර්ථක නෑ. එහෙම මෙසේජ් කරනවා නං හොඳම ක්‍රමයක් තමයි, “හලෝ, මගේ නම සිරිපාල, මිතුරු ඇරයුම පිළිගත්තාට ස්තුතියි, හෙමින් සැරේ කථා බහ කරලා ඔබව දැන හඳුනා ගන්න බලාපොරොත්තු වෙනවා” වගේ බොහොම පැහැදිලි, හොඳ දිශාවක් තියෙන මෙසේජ් එකක් යවන එක. ඕක සිංහලෙන් බැරි නං ඉංග්‍රීසියෙන් යැව්වත් කමක් නෑ! රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපු ගමන් “හායි ඩියර්” ගාණවට වඩා මේක තමයි ඩීසන්ට් ක්‍රමේ!

 

3. හායි ඩියර්!

ඔව්, දැන් අපි මේ ගැන ඉඟි කීපයක්ම දුන්නු නිසා කථා කරන්න ඕනම දෙයක්. සාමාන්‍යයෙන් ඔය හායි ඩියර් කිව්ව ගමන් හායි කියලා රිප්ලයි කරන ගෑණු ළමයි ඉන්න පුළුවන්. හැබැයි බහුතරයක් ගෑණු ළමයින්ට ඔය හායි ඩියර්, හායි බබා වගේ සීන් අල්ලන්නේ නෑ. ඒ වගේම තමයි, අපි උඩිනුත් කියපු විදියට සාමාන්‍යයෙන් දවසකට ගෑණු ළමයෙක්ට ඉන්බොක්ස් මැසේජස් සෑහෙන්න එන නිසා, ඔය “හායි”, “හායි ඩියර්, “හේයි, “හලෝ” වගේ එව්වා පේන්නෙවත් නැතුව යට යනවා. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ ෆේස්බුක් එකේ ඉන්න හිත ගියපු ගෑණු ළමයෙක්ගේ අවධානය ලබාගන්න ඕන නම්, ඒකට ටිකක් විස්තරාත්මක මෙසේජ් එකක් දාන්න කියලා.

 

4. සිංහලෙන්ද, ඉංග්‍රීසියෙන්ද, දෙමළෙන්ද?

ඔව්, භාෂාව මොකද්ද කියන එකත් පොඩ්ඩක් බොන්න ඕන ප්‍රශ්නයක්. අපි හිතමු දැන් ඒ තරම් කඩ්ඩ පොලිෂ් නැති ගෑණු ළමයෙක් කියලා. එහෙම කෙනෙක්ට පැනපු ගමන් පිරිසිදු කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන ගියොත් වෙන්න පුළුවන් දේ තමයි මළාට රිප්ලයි එකක් නොඑන එක. ඒකෙම අනික් පැත්ත තමයි හොඳට ඉංග්‍රීසිය සහ සිංහල දෙකම පුළුවන් විදියේ ගෑණු ළමයෙක්ට ඔය කැඩිච්ච ඉංග්‍රීසි සිංහල මිශ්‍රණයකින් මෙසේජ් කරන එකත් ලකුණු කපා ගන්න වැඩක්. ඒ වගේම සිංග්‍රීසිය නිසාත් සමහර වෙලාවට ලකුණු කැපෙන්න පුළුවන්. එතකොට කොහොමදෑ මෙසේජ් කරන්නේ? ආන්න ඒකට පොඩ්ඩක් ගෑණු ළමයගේ ෆේස්බුක් වෝල් එක පරිශීලනය කරලා බලන්න ඕන. එයා භාවිතා කරන භාෂාව මොකද්ද, භාෂා විලාසය මොකද්ද කියන එක. අනික තමයි අර අච්චාරු භාෂා වලින් නැතුව පිරිසිදු එක භාෂාවකින් කථා කරන එකත් ආරක්ෂක පිළිවෙතක්. ඒ ඇරෙන්න ඉතින් ඕන නම් “What’s the language you prefer?” කියලා අහන්නත් පුළුවන්. හැබැයි පුතෝ, එහෙම අහන්න නං තමුන් ඔය භාෂා තුනෙන් දෙකක්වත් හොඳට දැනගෙන ඉන්න වෙනවා!

 

5. පැයට ලයික්ස් පණහයි, කමෙන්ට් විස්සයි!

අපේ සමහර අයියලා ඉන්නවා, තමන්ගේ හිත ගියපු නංකියෙක්ගේ අවධානය තමන් වෙත යොමු කරවාගන්න ෂුවර් ඇන්ඩ් ෂොට් ක්‍රමය කියලා හිතන්නේ හෝ ගාලා නංකියා ෂෙයාර් කරන හැම මගුලටම ලයික් කර කර, කමෙන්ට් කර කර ඉන්න එක. ඒ අය නංකියා වඳුරෙක් කෙහෙල් ගෙඩියක් කන ෆොටෝ එකක් ෂෙයාර් කළත්, ලස්සනයි නංකි කියලා කමෙන්ට් කරන්න අමතක කරන්නේ නෑ. ඇත්තටම මේ ක්‍රමේ සාර්ථකද?

අපි කියන්නේ නෑ කියලා. අනිවාර්‍යයෙන්ම නංකියාගේ අවධානය යොමු වෙයි. හැබැයි ඒ “මේ මොන වාතයක්ද” කියලා මිසක් වෙන විදියකට නෙවෙයි. හැබැයි නංකියාට ලයික් සහ කමෙන්ට් කරන එක වැරැද්දක් නෑ. ඒත් ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. දකින දකින නංකියාගේ වෝල් එකේ හැමදේකටම සරල කමෙන්ට් නොදා, තමන්ට ඇත්තටම ඉන්ටරස්ට් වෙන දෙයක් නංකියා ෂෙයාර් කලොත් අන්න ඒකට කමෙන්ට් කරන්න, ලයික් කරන්න පුළුවන්. ඒක සතියකට එකක්, දෙකක්, තුනක් වුනත් කමක් නෑ!

 

6. ඔයා ආස මොනවාටද?

අපි මුලිනුත් කිවුවනේ නංකියාගේ අවධානය දිනා ගන්න හොඳම ක්‍රමයක් කියලා නංකියාගේ අවධානය ලැබෙන විදියේ ඉන්බොක්ස් මෙසේජ් කරන එක කියලා. ඒක කරන්න කලින් පොඩ්ඩක් නංකියාගේ ප්‍රොෆයිල් එක අධ්‍යයනය කරලා බලන්න ඕන එයාගෙ රුචි අරුචි කම් මොනවද කියලා. ආන්න එතකොට ඔය රුචි අරුචිකම් අතරේ තමන්ටත් පොදු දෙයක් තිබුණොත්, ආන්න ඒ පොයින්ට් එක ඔස්සේ කථාව පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, නංකියාත් තමන් වගේම සයන්ස් ෆික්ෂන් ෆිල්ම් වලට ආසයි නම්, ඔන්න නංකියා ඒ ගැන ෂෙයාර් කරලා තියෙන පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඒ ගැන ඉන්බොක්ස් මෙසේජ් එකකුත් යවන්න පුළුවන්. නංකියාත් තමන් වගේම කොරියන් බෝයි බෑන්ඩ් සිංදු වලට කැමති නම්, ඉන්බොක්ස් එකේ තමන්ගේ ෆේවරිට් කොරියන් සිංදුවකුත් අමුණලා මෙසේජ් එකක් යවන්න පුළුවන්. දැන් පැහැදිලියිනේ වැඩේ? 

 

7. ඉන්ටරෙස්ටින්ග්!!

හරි දැන් ඔහොම කෙටි කථාබහක් පටන් ගත්තා කියමුකෝ. හැබැයි එතනින් එහාටත් සංවාදය ඉන්ටරෙස්ටින්ග් වෙන්න ඕන. එහෙම නැතිනම් වැඩේ ලත් තැනම ලොප් තමයි. ආන්න ඒ නිසා මියුසික් වලින්, ෆිල්ම් වලින් කතාව පටන් අරගෙන, ඊට පස්සේ උදේ හවා ඉන්බොක්ස් එකේ ගුඩ් මෝනින් ගුඩ් නයිට් කියනවාට වඩා, ඉඳලා හිටලා හරි දෙන්නම ඉන්ටරෙස්ටින්ග් සබ්ජෙක්ට්‍ එකක් ඔස්සේ දෙන්නටම ඉන්ටරෙස්ටින්ග් කතා බහක් ගෙනියන එක වැදගත්. මතක තියාගන්න, මේක දෙන්නටම ඉන්ටරෙස්ටින්ග් වෙන්නත් ඕන. එහෙම නැතුව කොහොම හරි නංකියාව දාගන්නවා කියලා හිතලා නිකං බොරු උනන්දුවක් මවා පාන එක තේරුමක් නැති වැඩක්.

 

හරි, දැන් අවධානය ලබාගත්තනේ. දැන් මෙතනින් එහාට ගාණට නූලට වැඩ කරලා නංකියාගේ හිත නම්මා ගන්න එක තියෙන්නේ තමන් අතේ! ඒකටත් අපි ටියුෂන් දෙන්න ඕන නැහැනේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *