මහායාන බුද්ධාගමේ එ​න බෝධිසත්වවරුන් ගැන දැනගනිමු

ලංකාව ​ථෙරවාදී බෞද්ධ රටක් වුනාට කාලෙන් කාලෙට මහායාන අදහසුත් ලංකාවේ පැතිරිලා ගිහිල්ලා තියෙනවා. සමහර මහායාන සංකල්ප අපි දන්නෙම නැතුව අපේ පුද පූජා වත් පිළිවෙත්වලට වගේම ඇතැම් අවස්ථාවල බෞද්ධ සාහිත්‍යයටත් එකතු වෙලා තියෙනවා. මේ නිසා Lifie අපි හිතුවා මහායාන බුද්ධාගම ගැන කෙටි ලිපි මාලාවක් ඔබ වෙතට ගෙන එන්න.

ආරම්භයක් විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහායාන බෝධිසත්වවරු කීප නමක් ගැන. මේ ආටිකල් වලට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මහායාන බුද්ධාගම ගැන තව ලිපි කීපයක් Lifie වෙතින් කියවන්න ලැබේවි. නමුත් අවධාරණය කරන්න ඕන කරුණ තමයි මේ ලිපි මාලාවෙන් අපි ඔබට ලබා දෙන්න යන්නේ සාමාන්‍ය අවබෝධයක් පමණයි. මේ ලිපිය ඇකඩමික් මට්ටමේ කියලා නම් සලකන්න එපා කියන කාරුණික ඉල්ලීමක් ඔබෙන් කරනවා.

 

1. අවලෝකිතේශ්වර බෝධිසත්වයෝ 

මේ බෝධිසත්වයාණන් වහන්සේ ලංකාව තුළ විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ දී ජනප්‍රිය වුණු බෝධිසත්වයාණන් ​වහන්සේ නමක් විදිහට සලකන්න පුළුවන්. වෙහෙර ගල ප්‍රදේශයෙන් සොයාගත්ත අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ලංකාවේ ප්‍රතිමා නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ටතම නිර්මාණයක් විදිහට සලකන්න පුළුවන්. අමිතාභ නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයා විදිහට අවලෝකිතේශ්වර බෝධිසත්වයන් මහායාන බෞද්ධයෝ සලකනවා. සමහරුනම් කියන්නෙ ඊශ්වර දේව සංකල්පය  මහායාන බුදු දහම තුළට පැමිණීමත් එක්ක අවලෝකිතේශ්වර සංකල්පය බිහි වුණා කියලා. සමහර මත වලට අනුව ලංකාවේ නාථ දේව සංකල්පය සහ උපුල්වන් දේව සංකල්පය ඇති වෙන්නෙ අවලෝකිතේශ්වර දේව සංකල්පයෙන්.

 

2. මංජු ශ්‍රී බෝධිසත්වයෝ 

මංජු ශ්‍රී ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ එක් අතක කඩුවකුත් අනෙක් අතින් ප්‍රඥා පාරමිතා සූත්‍රයත් උන්වහන්සේ දරන හැටියටයි. නමුත් කඩුවෙන් සංකේතවත් කරන්නේ හිංසාකාරී දෙයක් නම් නෙමෙයි. උන්වහන්සේගේ විචක්ෂණ ඥානය ඉන් සංකේතවත් කෙරෙනවා. උන්වහන්සේ පළවෙනි බෝධිසත්වවරයා වගේම නුවණට අධිපති බෝධිසත්වවරයා විදිහට මහායාන බුද්ධාගම තුල වන්දනාමානයට ලක් වෙනවා. නේපාලයේ ජනප්‍රවාද වලට අනුව මුල් කාලයේ නේපාලය තිබුණු ප්‍රදේශය ජලයෙන් වැසී ගිය ප්‍රදේශයක්. ඒ ජලාශය මැද ස්වයම්භූ නම් චෛත්‍යය පිහිටලා තියෙනවා. ඒ අසලට පැමිණි මංජු ශ්‍රී බෝධිසත්ව තමන්ගේ කඩුව ජලය දෙසට දිගු කිරීමත් සමගම ජලය ඉවත් වෙලා අලුත් භූමියක් මතුවෙලා තියෙනවා. මේ භූමිය තමයි අද නේපාලය විදිහට සැලකෙන්නෙ.

 

3. සමන්ත භද්‍ර බෝධිසත්වයෝ 

සමන්තභද්‍ර කියන නම ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නේ මෑතකදී පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ නම වෙනස් කර ගැනීමත් එක්ක .නමුත් සමන්තභද්‍ර කියන්නේ මහායාන බෞද්ධයන් වසර දහස් ගණනක් තිස්සේ වන්දනාමාන කරන බෝධිසත්වයාණන් වහන්සේ නමක්. උන්වහන්සේව විවිධ ස්වරූපවලින් නිරූපණය කරන්න ඔවුන් ක්‍රියා කරලා තියනවා. ඇතැම් අවස්ථාවක මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ සහායකයකු විදිහටත්, සමහර අවස්ථාවල තනියම උන් වහන්සේව පෙනෙන ආකාරයෙනුත් ප්‍රතිමා නිරූපණය කරලා තියෙනවා. ඔටුන්නක් හිස දරන උන්වහන්සේ, සි​ය අතේ සිතූ පැතූ සම්පත් දෙන මැණිකක් හෝ නෙළුම් මලක්  දරනවා. සමන්තභද්‍ර දේව සංකල්පයෙන් අපේ රටේ වන්දනාමානයට ලක්වන සමන් දේව සංකල්පය ප්‍රභවය වුණා කියලා විද්වතුන් අතර මතයක් තියෙනවා.

 

4. මෛත්‍රෙය බෝධි සත්වයෝ 

ලංකාවේ මුල්කාලීන බෞද්ධයන් අතර මෛත්‍රී බෝධිසත්​ව වන්දනාව තිබුණේ නැහැ, නමුත් මහායාන බුද්ධාගම ජනප්‍රිය වීමත් සමගම මෛත්‍රී බෝධිසත්ව වන්දනාව කරලියට පැමිණියා. අද වෙන කොට අපේ හැම පන්සලකම වගේ මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් නැතිනම් අවම වශයෙන් චිත්‍රයක් හරි දකින්නට ලැබෙනවා.ඒ වගේම අනුරාධපුර යුගයේ ඉඳන් විවිධ යුගවල මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ලැබිලා තියෙනවා.

මහාවංශයේ එන විස්තරයකට අනුව කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය මෛත්‍රීය බෝධිසත්වයන්ගේ මව සහ පියා වන බවත් දුටුගැමුණු රජු සහ සද්ධාතිස්ස රජු මෛත්‍රීය බෝධිසත්වයන් බුදු වන විට අග්‍ර ශ්‍රාවකයන් වන බවත් සාලිය කුමාරයා මෛත්‍රී බෝධිසත්වයන්ගේ ගිහි කල පුතු වන බවත් පැවසෙනවා.

 

5. වජ්‍රපානී බෝධිසත්වයෝ

මජ්ඣිම නිකායේ චූල සච්චක සූත්‍රයෙහි සඳහන් වන අන්දමට සච්චකයා බුදුරජාණන් ​වහන්සේ සමඟ වාද කරන අවස්ථාවේ දී ශක්‍ර දේවේන්ද්‍රයා වජ්‍රපාණී නම් යක්ෂයකුගේ ස්වරූපය මවා ගෙන ඉහ​ළ අහසේ පෙනී සිටිනවා. ථෙරවාදී ත්‍රිපිටකය තුළ ඒ විදිහට වජ්‍රපානීව සලකෙන්නේ ශක්‍රදේවේන්ද්‍රයාගේ එක වේෂයක් ලෙස වුණත්  මහායානය තුළ වජ්‍රපානීව සලකන්නේ බෝධිසත්වවරයෙක් විදිහට. උන්වහන්සේව අඳුර ගන්න පුළුවන් සංකේතයක් වෙන්නේ දකුණු අතින් වජ්‍රයක් දැරීමෙන්.

 

6. ආකාශගර්භ බෝධිසත්වයෝ  

මේ බෝධිසත්වයාණන් වහන්සේ වැඩි වශයෙන් වන්දනාමානයට ලක් වෙන්නේ චීනය සහ ජපානය තුළ. සූර්ය සංකේතය මුන් වහන්සේ සඳහා භාවිතා කෙරෙනවා. දකුණු අතින් නෙළුම් දඬුවක් අතට ගත් උන්වහන්සේගේ හිස ඔටුනු පහකින් අලංකාර කෙරෙනවා. වම් උරයේ සිට උකුල දක්වා සළුවකින් වැසී පවතිනවා. ලංකාවේ නාලන්දා ගෙඩි ගෙය තුළ මුන්වහන්සේගේ රූපයක් තිබූ බවට ඇතැම් විද්වතුන් මත පළ කරනවා. නමුත් ඇතැම් අයගේ මතය වන්නේ එම රූපයෙන් සූර්ය දෙවියන් නිරූපණය වන බවක්.

 

7. ක්ෂිතිගර්භ බෝධිසත්වයෝ

මහායාන බෞද්ධයෝ විශ්වාස කරන විදිහට දිව්‍ය, මනුෂ්‍ය, තිරශ්චීන, අපාය, අසුර සහ ප්‍රේත කියන ලෝක හයටම අධිපතිත්වය දරන්නේ ක්ෂිතිගර්භ බෝධිසත්වයාණන් වහන්සේ. පිළිවෙලින් දකුණු සහ වම් උරහිස්වලින් නෙළුම් මලක් සහ පුන්කලසක් දරණ උන්වහන්සේගේ දකුණු අතින් විතර්ක මුද්‍රාවත් වම් අතින් සිතූ පැතූ සම්පත් දෙන මැණිකකුත් දරනවා.

 

එහෙම නම් මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් අපිට ලැබෙන ප්‍රතිචාර මත මහායාන බුද්ධාගම ගැන තවත් ලිපි කීපයක් ඉදිරියට අපිට ලියන්න පුළුවන් වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *