ලංකාවේ ඔන්ලයින් ෂොපින් එක්ස්පීරියන්ස් එක සුපිරියටම ගන්න අපෙන් උපදෙස්!

අපිට සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් පුරුදු බඩු ගන්න ක්‍රමේ තමයි කඩේට ගිහිල්ලා තියෙන බඩුවක් මුට්ටුවක් අරගෙන එන එක. ඒක හාල් කිලෝ එකක් වුනත්, ගෙදරට ෆ්‍රිජ් එකක් වුනත් වෙනසක් නෑ. හැබැයි දැන් කාලේ අනික් හැම දෙයක්ම වගේ ඔය බඩු ගන්න එකත් අපිට ලේසි කරල දීලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ. විශේෂයෙන්ම ඔන්ලයින් ෂොපින් වලට වෙන් වුණු වෙබ් අඩවි වගේම, විවිධාකාරයේ ජනප්‍රිය සන්නාම වලත් ඔන්ලයින් ෂොපින් අඩවි තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ දෙයියනේ කියලා ඉන්ටර්නෙට් එකට ගිහින්, අදාළ බඩු විකුණන වෙබ් අඩවියට ගිහිල්ලා සල්ලි ගෙවලා ගන්න එක තමයි. හැබැයි තාමත් ලංකාවේ හැමෝම මෙහෙම එක පාරම ඔන්ලයින් බඩු ගන්න තරම් නිර්භීත නෑ. මොකද අර කඩේට ගිහින් බඩුව දැකලා ගන්න විදියේ ෂුවර් එකක් ඔන්ලයින් බඩු ගන්නකොට නැහැයි කියන සිතිවිල්ල නිසා. එහෙම වුනාට අපි කියන්නේ කාලේ තාලෙට ඔන්ලයින් බඩු ගන්න එකටත් පුරුදු වෙන්න කියලා තමයි. විශේෂයෙන්ම ඔන්ලයින් බඩු ගන්න එක හරි විදියට කරගන්න අපි මේ කියන උපදෙසුත් හිතේ තියාගත්තහම, බයක් සැකක් නැතුව නවීන ලෝකේ මනුස්සයෙක් විදියට ඔන්ලයින් ෂොපින් කරන්න පුළුවන්!

 

1. තැන කොයි වගේද?

තැන කොයි වගේද කියන ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට ඔන්ලයින් ෂොපින් වලට ආධුනිකයෙක්ට විතරක් නෙවෙයි, හැමදාම ඔන්ලයින් ෂොපින් කරන මනුස්සයෙක් වුනත් හිතලා බලන්න ඕන තමන් බඩු ගන්න යන ඔන්ලයින් ෂොප් එක මොකද්ද, ඒක ෂුවර්ද කියන එක. මෙතනදී ගොඩක් වෙලාවට ජනප්‍රිය, ලංකාව පුරා ශාඛා එහෙම තියෙන සන්නාමයක් නම් ලොකු අවුලක් නෑ. එතකොට අලුතින් පටන් ගත්තු, ඒ තරම් ජනප්‍රිය නැති ඔන්ලයින් ෂොපින් සයිට් එකක් එක්ක වුනත් ගනුදෙනු කරන්න බය වෙන්න ඕන නෑ, තැන ගැන හරියට දන්නවා නම්. දැන් කොහොමද එහෙම දැනගන්නේ? යන්න ඒ ඔන්ලයින් කඩේ ෆේස්බුක් පිටුවට. එහෙම නැතිනම් ඒ කඩේ ගැන ගූග්ල් සර්ච් කරලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් ඒකට මිනිස්සු මොනවද කියලා තියෙන්නේ කියලා. ආන්න එතකොට තැන හොඳද නරකද කියන එක ගැන අදහසක් ගන්නත් පුළුවන්.

ඒ වගේම තමයි අපි හොයලා බලලා ගන්න තැනක් වුනත් අපිට පාඩුවක් සිද්ධ කළොත් හරි වාත කළොත් හරි, අනිවාර්‍යයෙන්ම ඒ තැන ගැන පැමිණිලි කරන්න. සමාජ ජාල වල වගේම පාරිභෝගික අධිකාරිය වගේ පාරිභෝගික පැමිණිලි වෙනුවෙන්ම පිහිටුවලා තියෙන තැන් වලටත් පැමිණිලි කරන එක වටිනවා. එතකොට තවත් පාරිභෝගිකයෙක් එහෙම අප්සෙට් තැනකට අහු වෙන්නේ නෑ!

 

2. වොරන්ටි එහෙම කොහොමද?

මෙන්න මේක අත්‍යාවශ්‍යයි. ඕනෑම බඩුවක් ගන්න කලින් බලන්න ඕන දේ තමයි වගකීම් සහතිකයක් ලබාදෙනවද කියන එක. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් ඒ වගකීම් සහතිකය ලබාදෙන්නේ කවුද කියන එකත් හොයලා බලන එක වටිනවා. සාමාන්‍යයෙන් අපිට මිලදී ගන්න ඕන යම් දෙයක් සඳහා නියෝජිත වගකීමක්, ඒ කියන්නේ ඒජන්ට් වොරන්ටි එකක් ලැබෙනවා නම් ඉතාම හොඳයි. ඒකෙන් කියන්නේ, ඒ දෙය විකුණන්න ශ්‍රී ලංකාව තුළ තියෙන බලයලත් ආයතනය මගින් ලබාදෙන වොරන්ටියක් කියන එක. සාමාන්‍යයෙන් බඩුවේ අප්සෙට්‍ එකක් ආවොත්, ඒජන්ට් වොරන්ටි එකකින් වාත නොවී ඒක හදාගන්න හරි, වෙන එකකට මාරු කරගන්න හරි පුළුවන්.

හැබැයි ඉතින් ඔය සමහර බඩු භාණ්ඩ වලට ඒජන්ට් වොරන්ටි දෙන්න විදියක් නෑ. මොකද ඒජන්ට්ලා නෑ. එහෙම ඒවා නොගෙන ඉන්න අවශ්‍ය නෑ. හැබැයි බඩු ගන්න ඔන්ලයින් ෂොප් එකට කෝල් එකක් දීලා හරි පොඩ්ඩක් හරියටම දැනගන්න කොහොමද වොරන්ටි දෙන්නේ, මොනවද වොරන්ටි එකට ඒ අයගේ කොන්දේසි කියන එක. 

 

3. විස්තර ඔක්කොම කියවලා බලමුද?

දැන් අපි ඔන්ලයින් බඩු ගන්න ගියහම අපිට බඩුව පේන්නෙත් ඔන්ලයින්නේ. සාමාන්‍යයෙන් ඇත්තට තියෙනවට වඩා ඔන්ලයින් ෂොපින් සයිට් එකක පෙන්නන බඩුවක් සමහර වෙලාවට මාර සුපර් කොලිටියකින් තියෙනවා කියලා පේන්න පුළුවන්. ඒක ඉතින් ෆොටෝ අල්ලපු එකාගේ දක්ෂතාවය. හැබැයි ආන්න ඒ නිසා තමයි අපි යම් කිසි භාණ්ඩයක් ඔන්ලයින් ගන්න කලින්, ඒ භාණ්ඩය ගැන ඒ වෙබ් අඩවියේ පළ කරලා තියෙන තාක්ෂණික විස්තර ඔක්කොම කියවන එක අනිවාර්‍ය වෙන්නේ. මොකද, ඔය තාක්ෂණික විස්තර වලින් තමයි බඩුවේ කොලිටිය, බඩුවේ තියෙන විශේෂත්වය, බඩුවේ තියෙන පහසුකම් වගේ දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම විස්තර සයිට් එකේ දාලා නැතිනම් කෝල් එකක් දාලා අහගන්න පුළුවන්. හැබැයි සයිට් එකෙත් විස්තර නැතුව, කෝල් එකටත් හරි විදියට විස්තර සපයන්නේ නැතිනම්, ඒ වගේ තැනකින් ගනුදෙනු නොකර වෙන තැනකට යන එක තමයි නුවණට හුරු.

 

4. රිසර්ච් එකක් කරමුද?

දැන් අපි කියමු ඔක්කොම විස්තරත් කියවලා බැලුවා කියලා. හැබැයි තව දුරටත් ඒ ගැන පොඩි විමර්​ෂණයක් කරන එකෙන් පාඩුවක් වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඔය මිලෙන් අධික අයිටම් එකක් එහෙම මිලදී ගන්න යනවා නම් අනිවාර්‍යයෙන්ම හොඳ රිසර්ච් එකක් කළ යුතුමයි. එහෙම නැතුව අද හිතුවා හවස ගත්තා වගේ වැඩ ඔය වැඩි මිල බඩු වලට හරියන්නේ නෑ. මෙතනදී සරලවම අදාළ භාණ්ඩය මොඩ්ල් නම්බර්, ට්‍රේඩ් මාක් එක්කම ගූග්ල් සර්ච් කරලා බැලුවත් කමක් නෑ. ඒ වගේම ඔය එක එක ෆෝරම් වල ඒ අදාළ භාණ්ඩය පාවිච්චි කරපු හාදයෝ මොනවද කියලා තියෙන්නේ කියන එකත් බලලා දැනුවත් වෙන්න ඕන. ආන්න එතකොට අපිට ඒක ගන්න ඕනද එපාද කියන එක ගැන ඥාණවන්තව හිතන්න පුළුවන්.

 

5. ජෙනුයින් බඩුද?

ඔය ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික් බඩු වලට විතරක් නෙවෙයි, වෙන වෙන බඩු ගන්න කොට වුනත් අනිවාර්‍යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඔය සමහර ඔරිමජිනල් බඩු වල වගේම පෙනුම තියෙන හොර කොපි තියෙනවා. ඒකට හොඳම උදාහරණේ තමයි එක කාලයක් මිනිස්සු පිස්සුවෙන් ගත්තු මැජික් බුලට් බ්ලෙන්ඩර් එක. ඒකේ ඔරිජිනල් ඇමරිකන් එක එකොළොස්දාහක් විතර වෙනකොට, චීනේ ගහපු හොර එක වෙන්නේ රුපියල් තුන්දාහයි. හැබැයි ඉතින් සමහර වෙලාවට මාසේ පාවිච්චි කරන කොට කප් එක උණු වෙලා. ආන්න ඒ නිසා තමයි ගන්න කලින් බඩු ජෙනුයින්ද කියලා හොඳට හොයලා බලන්න වෙන්නේ. උඩ කියපු ඒජන්ට් වොරන්ටි කථාවට අනුවත් ජෙනුයින් බඩු හොයාගන්න පුළුවන්.

 

6. මිල ගණන් සසඳලා ඉමුද?

මෙතනදී ඇත්තටම සසඳන්න ඕන මිල ගණන් විතරක් නෙවෙයි. මිල ගණන් එක්ක අපිට ලැබෙන්නේ මොනවද කියන එකත් සසඳන්න ඕන. සාමාන්‍යයෙන් දැන් මොකක් හරි භාණ්ඩයක් එක සයිට් එකක තියෙන ගාණට වඩා අඩුවෙන් තවත් සයිට් එකක තියෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි සයිට් එක අර උඩ කියපු විදියේ මොකක් හරි කාරණාවකදී ෂුවර් නෑ. ආන්න එතකොට අඩු ගාණට තියෙන භාණ්ඩේ පැනලා අරගෙන හරියන්නෙ නෑ. ඒ වගේම තමයි අඩු ගාණට සෙලර් වොරන්ටි එකත් එක්ක තියෙන බඩුවට වඩා, වැඩි ගාණට ඒජන්ට් වොරන්ටි එක්ක තියෙන බඩුවක් වටිනවා. හැබැයි, මේ කාරණාවත් ඒ ඒ බඩු එක්ක වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඔන්ලයින් පොත් ගන්නකොට ඒ ප්‍රකාශක සමාගමෙන්ම ගන්න ඕන කියලා එකක් නැහැනේ. ඊට අඩුවට ඩිස්කවුන්ට් එක්ක දෙන වෙන සයිට් එකකින් ගත්තත් අවුලක් නෑ.

 

7. ගෙවලා ගන්නවද, අරන් ගෙවනවද?

ඔව් මේකත් හිතලා බලන්න ඕන කාරණාවක්. දැන් කාලේ සෑහෙන්න ඔන්ලයින් ෂොපින් සේවාවන් පවත්වා ගෙන යන කට්ටිය ලබාදෙන සේවාවක් තමයි කෑෂ් ඔන් ඩිලිවරි. ඒ කියන්නේ බඩුව ඕඩර් කළාට පස්සේ සල්ලි ගෙවන්නේ බඩුව ගෙදරට ගෙනැත් දුන්නහම තමයි. එතනදී හොර බොරු වෙන්න තියෙන ඉඩ තවත් අඩුයි. උදාහරණයක් විදියට, අපිට බඩුව ඩිලිවර් නොවුණොත් අපිට පාඩුවක් වෙන්නෙ නෑ. හැබැයි මෙතන තියෙන එක ප්‍රශ්නයක් තමයි කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමේදී ක්‍රෙඩිට් කාඩ් වලින් හරි වෙන ඒ විදියේ ක්‍රමේකින් හරි ගෙවන්න බැරි වීම. කෑෂ් විතරමයි!

එහෙම කෑෂ් ගෙවලා ගන්න එක අවුලක් නැතිනම්, කෑෂ් ඔන් ඩිලිවරි කියන්නේ විශ්වාසදායක ක්‍රමයක්.

 

8. ක්‍රෙඩිට් කාඩ් ඕකේද?

මෙන්න මේකත් ටිකක් පරිස්සමට කථා කරන්න ඕන දෙයක්. දැන් ඔය මොකක් හරි ඔන්ලයින් ෂොපින් වෙබ් සයිට් එකක් දැක්ක ගමන් පැනලා ගිහින් ක්‍රෙඩිට් කාඩ් විස්තර ලබාදෙන එක අවදානම් කාරණයක්නේ. ආන්න ඒ නිසා ආයෙමත් උඩටම ගිහින් අපි කියපු පළමුවෙනි පොයින්ට් එක ගැන කථාකරන්න වෙනවා. හොඳ කීර්ති නාමයක් තියෙන, ෂුවර් පිට බඩු ගන්න පුළුවන් තැනක් නම් ක්‍රෙඩිට් කාඩ් විස්තර දුන්නට කමක් නෑ. එතනදීත් අපිට ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර දීලා ගෙවන්න යන්න වෙන ගෙවීම් පෝටල් එක ගැන විමසිලිමත් වෙන්න ඕන. ඒක ආරක්ෂිත වෙබ් අඩවියක් බව පේනවා නම් ප්‍රශ්නයක් නෑ.

දෙවෙනියට ගත්තොත් ලංකාවේ ඔන්ලයින් සයිට් වල පේපැල් වලින් ගෙවන්න බැහැනේ. හැබැයි ලංකාවේ දැන් එනකොට ඔය ඊ-වොලට් කියන සේවාවන් සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. Frimi කියන්නේ එයින් එකක්. තවත් තියෙනවා. ඉතින් ඔන්න ඔය ඊ-වොලට් එකක් ස්මාට්ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන පටන් ගත්තා නම්, ක්‍රෙඩිට් කාඩ් හොය හොයා ඉන්න ඕන නෑ. ඒ වගේම තමයි, ගොඩක් ඔන්ලයින් ෂොපින් වෙබ් අඩවි වලින් අපිට ස්ටාර් පොයින්ට්ස් වලින් ගෙවන්න, බැංකුවෙන් ගෙවන්න වගේ විවිධ විකල්ප ක්‍රමත් ලබාදෙනවා.

 

9. ඩිස්කවුන්ට් තියෙනවද?

ඔව්, මෙන්න මේක ගැන අපි හැමෝම උනන්දුයිනේ. මොකක් හරි ගන්න ගියහම අපිට ඒකේ නියම ගාණෙන් පොඩි ගාණක් හරි අඩු කරලා දෙනවනම් ඇයි නොගෙන ඉන්නේ? හැබැයි එකක්. ඩිස්කවුන්ට් ගැන හිතන්න කලින් අර මිල ගණන් ගැන කියපු 6 වෙනි පොයින්ට් එකට ආපහු ගිහින් එන්න. වෙන තැනක දාහට තියෙන බඩුව, ඒ විදියටම මෙතන තියෙන්නේ 1500 ට නම්, ඒකෙන් 30% ක ඩිස්කවුන්ට් දුන්නත් වැඩක් නෑ. ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක බැලුවත් අපි රුපියල් 50 ක් වැඩිපුර ගෙවලා. ආන්න ඒ නිසා එහෙම හොර ඩිස්කවුන්ට් ගැන නැතුව හරි ඩිස්කවුන්ට් ගැන සැලකිලිමත් වුනාට වරදක් නෑ. විශේෂයෙන්ම ඔය ක්‍රෙඩිට් කාඩ් වලට දෙන ඩිස්කවුන්ට් නම් ගොඩක් වෙලාවට ෂුවර් කරන්න පුළුවන්.

 

දැන් මේ ටික කියෙව්වා නං, ෆුල් කන්ෆිඩන්ස් පිට ඔන්ලයින් ගිහින් ෂොපින් කරන්න තමයි තියෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *