අපේ කලා ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ඇතිවුණු ගැටුම් – 2 කොටස

මේ ආටිකල් එකේ ප​ළවෙනි කොටස කියවල නැති අයට අපි මුලින්ම කියනවා ඒ ආටිකල් එක කියවන්න කියලා. මෙන්න ඒ ආටිකල් එකේ ලින්ක් එක.

 

අපේ කලා ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ඇතිවුණු ගැටුම් – 1 කොටස

 

එහෙමනම් අපි ඒ වගේම කලා ලෝකයේ සුප්‍රකට චරිත අතර ඇතිවුණු තවත් ගැටුම් කිහිපයක් ගැන හොයලා බලමු. සමහර අය නම් මේ කලින් ආටිකල් එක කියවලා අපිට කමෙන්ට් වලින් බැනලා තිබ්බා. ඒ අයට අපි නැවතත් ආරාධනා කරනවා අනිවාර්යෙන්ම කියවල අපිට බනින්න කියලා. පුළුවන්නං ෂෙයාර් කරලත් බැන්නට අපේ කිසි අමනාපයක් නෑ.

 

1. විජය – ගාමිණි 

විජය කුමාරතුංග කියලා තියෙන විදිහට තමන්ට රඟපෑමට එකතු වෙන්න හිතුනේ ගාමිණී ෆොන්සේකාගේ රඟපෑම් සහ ඔහුට ලැබුණු ප්‍රේක්ෂක ආකර්ෂණයක් හින්දලු. මේ නිසා විජය කුමාරතුංග තුළ ගාමිණී ෆොන්සේකා කෙරෙහි අතිමහත්  ගෞරවයක් තිබුණා. ඒ වගේම ගාමිණී ෆොන්සේකාත් නැගී එන නළුවෙක් වුණු විජයට බොහෝ අවවාද සහ සහාය ලබා දෙනවා. උදාහරණයක් විදිහට විජය කුමාරතුංග ඒ දවස්වල පාවිච්චි කරල තියෙන්නෙ මෝටර් බයිසිකලයක්. නමුත් ගාමිණී ෆොන්සේකා ඔහුට කියලා තියෙන්නේ අංගවිකල නළුවන්ව කවුරුවත් ප්‍රධාන චරිතවලට ගන්නෙ නෑ, ඒ නිසා අනතුරකට මුහුණ දෙන්න කලින් වාහන මාරු කරන්න කියලා. මේ උපදෙස පිළිගන්න විජය මෝටර් රථයක් මිලදී අරගෙන තියෙනවා.

නමුත් ගාමිණී සහ විජය වටා හිටපු අය ඔවුන් දෙදෙනා අතර කේ​ළම් හුවමාරු කිරීම නිසා ගැටුමක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. මේ අතරතුර කාලයේ දී ඔවුන් දෙදෙනාට ‘සැණකෙළිය’ චිත්‍රපටිය රඟපාන්න අවස්ථාවක් ලැබුණා. මේ චිත්‍රපටියේ එක්තරා දර්ශනයක දී විජය සහ ගාමිණී අතර සටනක් ඇති වෙනවා. මේ අවස්ථාවේ දී විජය ඕනෑකමින් හෝ නොදැනුවත්කමින් ගාමිණීට ගැසූ පහරක් නිසා ගාමිණීගේ තොල පුපුරා ලේ එන්න ගන්නවා. විජය ගාමිණීගෙන් සමාව ඉල්ලනවා. තමන්ගෙ තුවාල වලට ප්‍රථමාධාර ලබා ගන්න ගාමිණි, නැවතත් සටන් ජවනිකාවට එළඹෙනවා. නමුත් ගාමිණී විජයට කිසිදු තුවාලයක් සිදු නොවීමට වග බලා ගන්නවා. මේ සිදුවීම දෙදෙනාගේම හිතේ තිබීම නිසා ඔවුන් දෙදෙනා ඉන් පසුව කාලයක් එකට රඟපාන්නේ නැහැ. නමුත් අවසානයේ ඔවුන් දෙදෙනා ‘සක්විති සුවය’ චිත්‍රපටයේ රඟපාන්න එකතු වෙනවා. විජය කුමාරතුංග නැක්සලයිට් චෝදනාව මත සිරභාරයට ගත්ත වෙලාවෙ ඔහුව සිර කඳවුරෙන් මුදවලා හමුදා රෝහලට යවන්න ගාමිණී ෆොන්සේකා ජේ. ආර් ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස මුණගැසෙනවා. නිදහස් වෙලා ආපු විජය තමන්ගේ හොඳ මිතුරන් කවුද කියලා හිරේ හිටපු කාලේ වටහා ගත්තා කියලා ගාමිණීට ස්තූති කරනවා. 

 

2. ආර්.ඒ චන්ද්‍රසේන සහ ප්‍රේමසිරි කේමදාස  

ආර්ය චන්ද්‍රසේන කියන්නේ අපේ රටේ හිටපු දැවැන්ත සංගීතඥයෙක්. ඔහු නිසා බොහෝ ගායක ගායිකාවන්ට සංගීත ලෝකයට පිය නඟන්න දොරටු විවෘත වෙනවා. වික්ටර් රත්නායක, ධර්මදාස වල්පොල වගේ අයටත් සංගීත ක්ෂේත්‍රයට එද්දි උදව් පදව් කරන්නේ ආර්. ඒ චන්ද්‍රසේන මහත්මයා. චන්ද්‍රසේන මහත්මයාගේ සංගීත පන්තිවලට සහභාගි වෙලා එතුමා පිටිපස්සෙන්ම හිටපු තරුණයෙක් හිටියා. මේ තරුණයා පස්සෙ කාලේක චන්ද්‍රසේන මහත්මයාටත් වඩා ප්‍රසිද්ධ සංගීතඥයෙක් බවට පත් වෙනවා. නමුත් ඔහු කිසිම අවස්ථාවක ආර්. ඒ චන්ද්‍රසේන තමන්ගේ ගුරුවරයා බව කියන්න උත්සාහ ගන්නේ නැහැ. මේ ගෝලයා නිසා තමන්ට යම් යම් කැපිලි කෙටිලි සිද්ධ වෙනවා කියලා චන්ද්‍රසේන මහත්මයාට දැනෙනවා.

 මේ නිසා එතුමා ගීතයක් ලියලා වික්ටර් රත්නායක ලවා ගායනා කරවනවා. නමුත් වික්ටර් රත්නායක මුල් අවස්ථාවේ මේ ගීතය ගායනා කිරීමත් ප්‍රතික්ෂේප කරන්නේ මේ ගීතයෙන් කියවෙන්නේ කා ගැනද කියලා දන්න නිසා.

ආර්.ඒ චන්ද්‍රසේන මහත්මයාගේ ගෝලයා වෙන කවුරුවත් නෙමෙයි, ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස කියල කිව්වොත් ඔයාලට වුණත් විශ්වාස කරන්න පුළුවන් වෙයිද? 

 

3. සිරිමතී රසාදරී සහ ශාන්ති ලේඛා 

සුජාතා චිත්‍රපටය ලංකාවේ තිරගත වූ ආන්දෝලනාත්මක චිත්‍රපටියක්. ඒකට හේතුව වුණේ බිකිනියකින් සැරසුණු නිළියක් චිත්‍රපට දර්ශනයක් සඳහා සහභාගි වුණු පළමු අවස්ථාව නිසා. මේ නිළිය වුණේ ශාන්ති ලේඛා.ඇය සහ ඩොමී ජයවර්ධන චිත්‍රපටි දර්ශනය සඳහා එකතු වුණා. ප්‍රේමා නැමති සුජාතා චිත්‍රපටයේ ඇය රඟපෑ චරිතය සඳහා මුල් අවස්ථාවේ තෝරාගෙන තිබුණේ සිරිමතී රසාදරීව. නමුත් ඩොමී ජයවර්ධ​නගේ රෙකමදාරුව මත සිරිමතීව ඉවත් කරලා ශාන්ති ලේඛාව මේ චරිතයට තෝරාගෙන තිබුණා. මේ හේතුව නිසා ඔවුන් දෙදෙනා අතර අමනාපයක් ඇති වුණා.

“වරද කාගෙද” චිත්‍රපටිය සඳහා ශාන්ති ලේඛා ඉන්දියාවට ගිය අවස්ථාවකදී තවත් චරිතයක් සඳහා සිරිමතී රසාදරී තෝරා ගෙන ඇති බව අසා තමන් මේ මොහොතේ ම ලංකාවට එන බව නිෂ්පාදක මණ්ඩලයට පවසා සිටියා. මේ නිසා අවසානයේ නිෂ්පාදක මණ්ඩලයට සිරිමතී රසාදරී වෙනුවට උදුලා දාබරේව සම්බන්ධ කරගන්න සිද්ධ වුණා.

 

4. සෝනියා දිසා සහ සන්ධ්‍යා කුමාරි 

අපේ කලින් ආටිකල් එකෙන් විජිත මල්ලිකා සහ සන්ධ්‍යා කුමාරි අතර ගැටුමක් ගැන සඳහන් කරලා තිබ්බා. සන්ධ්‍යා කුමාරි ඒ වගේම තවත් නිළියක් සමග ඇත්තටම ගහ ගත්තා. ඒ  “සූරයන්ගෙත් සූරයා” චිත්‍රපටියේදී සෝනියා දිසා එක්ක. සෝනියා දිසා විසින් තමන්ගේ අවස්ථා උදුරා ගනීවී කියන සැකය සන්ධ්‍යා කුමාරිට තිබිලා තියෙනවා. සමාජ ශාලාවක ඇතිවුණු ගැටුමක් විදිහට රූගත කෙරුණු මේ දර්ශනය ඇත්තම රණ්ඩුවක් බවට පත්වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. සෝනියා දිසා කියන විදිහට නම් සන්ධ්‍යා කුමාරී ඒ අවස්ථාවේදි ඇත්තටම ඇයට පිහියෙන් අනින්න උත්සහ කරලා තියෙනවා. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලෙනින් මොරායස් මැදිහත් වෙලා ඔවුන් දෙදෙනාගේ ගැටුම සංසිඳවලා තියෙනවා.

 

5. වික්ටර් රත්නායක සහ කරුණාරත්න අබේසේකර 

මේ ගීතය ඇතුළත් වෙන චිත්‍රපටයේ නමත් ‘පෙම්බර මධූ’මයි. චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන සීතා රත්වත්ත මහත්මියට ගීතය වෙනුවෙන්  වික්ටර් රත්නායක මහත්මයාගේ හඬ පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඒ ඇයගේ ප්‍රියතම ගායකයා ඔහු වීම නිසා. නමුත් පරහකට තියෙන්නේ මේ ගීතයේ පද රචකයා කරුණාරත්න අබේසේකර වීම. ඒ කාලේ දී කරුණාරත්න අබේසේකර සහ වික්ටර් රත්නායක අතර ගැටුමක් ඇතිවෙලා වික්ටර් රත්නායක කරුණාරත්න අබේසේකරගේ කිසිම පදරචනාවක් ගායනා නොකරනවා කියන ස්ථාවරයේ ඉඳලා තියෙනවා.

නමුත් හොඳම කතාව තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්​නෙ ඔවුන් දෙදෙනා අතර නෙමෙයි, ප්‍රේමකීර්ති ද අල්විස් සහ කරුණාරත්න අබේසේකර අතර. ප්‍රේමකීර්තිගේ පද රචනා වික්ටර් රත්නායක විසින් ගායනා කිරීම නිසා නොදැනීම ඔවුන් දෙදෙනාත් අමනාපයට පත් වෙනවා.

මේ අවස්ථාවේදී නිෂ්පාදිකාව උපක්‍රමශීලී වෙලා වෙලා වික්ටර් රත්නායකට කියනවා, මේ ගීතයේ ගී පද රචකයා ධර්මසිරි ගමගේ කියලා. ගීතය පටිගත කරන්න මොහොතකට පෙර මේක කරුණාරත්න අබේසේකර ගේ කියලා දැනගන්න වික්ටර් රත්නායක මහත්තයා නැවතත් ගීතය ගායනා කිරීම ප්‍රතික්ෂේප කරන්න හැදුවත් ඒ වටා හිටපු අය ඔහුව ගීතය ගායනා කරන්න එකඟ කර ගන්නවා.

 

6. නලීන් පෙරේරා සහ රනිල් මල්ලවආරච්චි 

මේ ගායකයන් දෙදෙනා අතර ගැටුම් පටන්ගන්නේ නලීන් පෙරේරා විසින් “මිල්ටන් අන්ප්ලග්” නමින් ප්‍රසංගයක් සංවිධානය කිරීමත් එක්ක. රනිල් මල්ලවආරච්චි කිව්වේ තමන්ගේ පවුලේ කිසිම අවසරයකින් තොරව නලින් පෙරේරා විසින් මේ ප්‍රසංගය කරනවා කියලා සහ ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න තමන් සූදානම් කියලා. නමුත් නලින් පෙරේරා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරමින්  කිව්වේ තමා මේ ප්‍රසංගය සංවිධානය කළේ ගීතවලට අදාළ පාර්ශව වලට නියමිත ගෙවීම් කරලා කියලායි. මේ ගැටුම නිසා ඔවුන් දෙදෙනා එකිනෙකාට චෝදනා කරන්න පටන් ගත්තා.

 

7. දමිතා අබේරත්න සහ සේමිණී ඉද්දමල්ගොඩ 

කලා ලෝකයේ ගැටුමක් උසාවිය දක්වා ගිය අවස්ථාවක් විදිහට දමිතා අබේරත්න සහ සේමිණී ඉද්දමල්ගොඩ අතර ඇතිවුණු අර්බුදකාරී තත්ත්වය හඳුන්වන්න පුළුවන්. දෙදෙනාම මිලියන 500 සහ මිලියන දහස බැගින් වන්දි ඉල්ලා එකිනෙකාට එරෙහිව නඩු පවරා ගත්තා. මේ ගැටුම පුපුරා ගියේ දමිතා අබේරත්න සහභාගි වුන ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවක් නිසා. එහිදී සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ තැනැත්තා සේමිණිගේ ප්‍රකාශයක් පිළිබඳව දමිතාගෙන් විමසීමක් කළා. ඊට දමිතා ලබාදුන් පිළිතුර නිසා තමන්ට අපහාසයක් සිදු වූ බව කියමින් පළමු නඩුව සේමිණි විසින් පවරනු ලැබුවා. නමුත් අවසානයේදී දෙදෙනාම නඩු ඉල්ලා අස්කර ගනු ලැබුවා.

 

එහෙම නම් අපි මුලින් කිව්ව වගේ මේ ආටිකල් එකට බැනලා හරි ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. ඒ වගේ ම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *