බුද්ධකාලීන උපාසිකාවෝ හත් දෙනෙක් පිළිබඳ රසවත් කතන්ද​ර

පහුගිය සති තුන පුරාවටම Lifie අපි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ සම්බුද්ධ ශාසනය බබුළුවමින් වැඩ වාසය කළ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ සහ අග්‍ර ශ්‍රාවිකාවන්වහන්සේලාගේ මෙන්ම එකල වැඩ සිටී උපාසකවරුන් පිළිබඳවත් ලිපි තුනක්  අපි ඔබ වෙත ගෙනාවා.ඒ ලිපි පෙළේ අද අවසාන ලිපිය. මේ ලිපියට අපි පාදක කරගන්නේ බුද්ධ කාලීන උපාසිකා චරිත කීපයක්.

 

1. සුප්පවාසා උපාසිකාව 

ලංකාවේ සෑම බෞද්ධ ගෙදරකම පාහේ බුද්ධ රූපයට අමතරව සීවලී මහරහතන් වහන්සේගේ රූපයකුත් තියෙනවා. ​ඒ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලබපු සීවලී මහ රහතන් වහන්සේ වැඩ සිටින ස්ථානයක කිසිසේත්ම ආහාරපානාදියෙන් අඩුවක් වෙන්නේ නෑ කියලා අපේ රටේ ජනතාව තුළ පවතින විශ්වාසය නිසා. සීවලී මහ රහතන් වහන්සේ පෙර කලදි කළ කර්මයක් නිසා සත් අවුරුදු සත් මසක් මව්කුස තුළ ගත කළා. ඒ නිසා උන්වහන්සේගේ මව වුණු සුප්පාවාසා උපාසිකාවට දැඩි ලෙස අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වුණා. කෝලිය රාජ වංශයේ උපන් ඇය අවසානයේ දී තමන්ගේ සැමියා බුදුරජාණන් වහන්සේ වෙත යවා තමන්ට ආශිර්වාද කරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කිරීමත් සමගම සුප්පාවාසා දරුවා බිහි කළා. මෙයින් අපමණ සතුටට පත් සුප්පාවාසා සහ ඇගේ සැමියා සත් දිනක් පුරා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහ දන් පවත්වනු ලැබුවා. ඇය දුන් දානය හේතුවෙන් ආයුෂ, වර්ණ, සැප, බල ලැබෙන බව ප්‍රකාශ කළ බුදු රජාණන් වහන්සේ ඇයව ප්‍රණීත දෑ  දෙන උපාසිකාවන් අතර අග්‍රස්ථානයේ තබනු ලැබුවා.

 

2. සුප්පියා උපාසිකාව 

බරණැස් නුවර උපත ලැබූ සුප්පියා උපාසිකාව බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණු පළවෙනි අවස්ථාවේදීම ධර්මය අසා සෝවාන් බවට පත් වුණා. ඇගේ සැමියා සුප්පිය නම් වුණා. දිනක් විහාරයෙහි ගිලාන වූ භික්ෂූන් වහන්සේ නමක් වැඩවසන බව ඇසූ සුප්පියා උන්වහන්සේ මුණ ගැසීමට ගොස් උන්වහන්සේ ප්‍රිය කර​න ආහාර පිළිබඳව විමසීමක් සිදු කළා. උන්වහන්සේ මස් වලට ප්‍රිය බව දැනගත් ඇය නිවසට පැමිණ මස් සොයාගෙ​න එන ලෙස දන්වා ඇයගේ සේවිකාවක් පිටත් කළා. නමුත් බරණැස පුරාවටම එදින මස් සොයා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මේ බව ඇසූ සුප්පියා තම කලවෙන් මස් කැබැල්ලක් කපා පිස, දානය ලෙස සකසා ගිලන් වූ භික්ෂුවට යවනු ලැබුවා. පසු දින බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ සුප්පියා ගේ ඉල්ලීම පරිදි සුප්පාවාසාවගේ නිවස වෙත දානය සඳහා වැඩම කළා. ඒ අවස්ථාවේදී බුදු රජාණන් වහන්සේ දැකීමට ඇඳෙන් නැගිටින අවස්ථාවේදීම සුප්පියාගේ තුවාලය එසැනින් සුව වුණා. භික්ෂූන් වහන්සේලා මිනී මස් නොවැළඳිය යුතු බවට ශික්ෂාපදයක් පැනවු බුදුරජාණන් වහන්සේ සුප්පියාව ගිලන් උපස්ථාන කරන උපාසිකාවන් අතර අග්‍රස්ථානයේ තබනු ලැබුවා.

 

3. උත්තර නන්දා මාතා උපාසිකාව 

රජගහනුවර දිළිඳු පවුලක උත්තරාව උපත ලැබුවා. ගොවිතැන ජීවිකාව කර ගත් පුණ්ණ නම් වූ ඇගේ පියා දිනක් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි සැරියුත් මහ රහතන් වහන්සේට දැහැටි දඬු සහ පැන් පූජා කළා. ඇගේ මව උන්වහන්සේට දවල් දානය පිළිගැන්වූවා.ඔවුන් දෙදෙනා කළ පින හේතුවෙන් කුඹුරේ පස් රත්තරන් බවට පත්වුණා. මේ ගැන ඇසූ බිම්බිසාර රජතුමා පුණ්ණ හට සිටු පදවියක් පිරිනමනු ලැබුවා.තමන්ට වාසය කිරීමට මාළිඟයක් තැනූ පුණ්ණ විසින් ඊට ගෙවදින දිනයේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කරවා දන් පිරිනමනු ලැබුවා. එහිදී ධර්මය ඇසූ පුණ්​ණ සහ බිරි​ඳ මෙන්ම උත්තරාද සෝවාන් ඵලයට පත් වුණා. පසුකලෙක මිත්‍යාදෘෂ්ටික පවුලකින් විවාහයක් කරගත්තත් උත්තරා උපක්‍රමශීලී වෙමින් සැමියාගේ කටයුතු සිරිමා නම් ගණිකාවට පවරා මහා සංඝයා වහන්සේ වෙත දානයක් සකස් කිරීමට කටයුතු ආරම්භ කළා. උත්තරා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළුණු සිරිමා දිනක් උණු තෙල් හැන්දක් උත්තරා​ගේ හිස මතට වත්කළා. නමුත් ඉන් උත්තරාට කිසිදු හානියක් සිදු වූයේ නැහැ. අවසානයෙදි තමන්ගෙ වරද තේරුම් ගත් සිරිමා ද බුදුරජාණන් වහන්සේ හමුවී බණ අසා සෝවාන් ඵලයට පත් වුණා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ විසින් ධ්‍යානයෙහි ඇලුණු උපාසිකාවන් අතර අග්‍රස්ථානය උත්තරා වෙත පිරිනමනු ලැබූවා.

 

4. කුරරඝර වාසී කාලි උපාසිකාව 

කාලි උපාසිකාව සොළොස් මහ ජනපද අතරින් එකක් වූ අවන්තියේ කුරරඝරයේ වාසය කළා. දරුවෙකු ලැබී සිටීමට ආසන්නව සිටි ඇය දරුවා ලැබීම සඳහා සිය නිවස වුණු රජගහනුවර වෙත ගියා. බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනය පැවැත් වූ දිනයේදී එම දේශනය පිළිබඳව සාතාගිරි සහ හේමවත නම් යක්ෂ සේනාධිපතිවරු අතර සාකච්ඡාවක් ඇය විසූ නිවස අස​ල අහසේදී සිදුවුණා. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව අසා සිටි කාලි උපාසිකාව සෝවාන් ඵලයට පත් වූණා. එදින රෑ දරුවෙකු බිහි කළ ඇය ඔහුව සෝණ ලෙස නම් කළා.පසුව සෝණ කුමරුත් පැවිදි වෙලා රහත් භාවයට පත්වුණා. මිහිරි හඬින් බණ කියන භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය ලැබුවේ උන් වහන්සේයි. සාතාගිරි සහ හේමවත අතර ඇති වුණු සාකච්ඡාව අසා කාලි උපාසිකාව සෝවාන් වූ බව අගය කරමින් බුදුරජාණන් වහන්සේ විසින් කාලි උපාසිකාව​ට දැකීමෙන් තොරව ඇසීමෙන් පමණක් තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය ඇති කර ගත් උපාසිකාවන් අතර අග්‍රස්ථානය පිරිනැමුවා.

 

5. කාතීයානී උපාසිකාව

කුරරඝර වාසී කාලි උපාසිකාවගේ මිතුරියක වුණු කාතීයානී උපාසිකාව දිනක් කුටිකණ්ණ සෝණ මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසීමට ගියා. එදා  රාත්‍රියේ සොර මුළක් විසින් ඇගේ ගෙය බිඳ සියලු වස්තුව පැහැරගෙන තිබුණා. මේ ගැන ආරංචි වූ නමුත් ඇය ධර්ම දේශනාව අවසන් වන තෙක් ඒ ගැන අවධානය යොමු කිරීම ප්රතික්ෂේප කළා. එහිදී ඇය කීවේ තමන්ට නැති වූ වස්තුවට වඩා ධර්මය ශ්‍රවණය කිරීම මහත් ලාභයක් බවයි. මේ ගැන අසා සොර මුළ තමන් කළ වරද පිළිබඳව පසුතැවිලි වී සොරකම් කරන ලද සියලුම භාණ්ඩ ඇයට ලබා දුන්නා. එසේම තමන් පිළිබඳව කුටිකණ්ණ සෝණ මහරහතන් වහන්සේටත් දන්වා තමන්වද පැවිදි කරවන ලෙස ද ඉල්ලීමක් කළා. මේ හේතුවෙන් තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුතු උපාසිකාවන් අතර අග්‍රස්ථානය බුදුරජාණන් වහන්සේ විසින් කාතීයානී උපාසිකාව වෙත පිරිනැමුවා.

 

6. ඛුජ්ජුත්තරා උපාසිකාව 

මෙතුමියගේ මුල් නම උත්තරා වන අතර සිරුරේ කුදු ස්වභාවයක් පැවතීම නිසා ඛුජ්ජුත්තරා නමින් හඳුන්වනු ලැබුවා. උදේනි රජුගේ අන්තඃපුර සේවය කළ ඇයට පැවරී තිබුණු රාජකාරිය වූයේ රජුගේ බිසවක් වූ සාමාවතී දේවියට මල් සැපයීමයි. ඒ සඳහා කහවණු අටක් ඇයට ලැබුණු අතර ඇය දිනපතා කහවණු හතරක පමණක් මල් සපයා ඉතිරි කහවණු හතර සොරකම් කළා. දිනක් බුදු රජාණන් වහන්සේගෙන් බණ ඇසූ ඇය සෝවාන් ඵලයට පත්වූ අතර එතැන් පටන් කහවණු අටටම මල් ගෙන ඒමට ක්‍රියා කළා. එදා වෙනදාටත් වඩා මල් තිබෙන දැනගත් බිසව මේ පිළිබඳව ඇයගෙන් විමසා සිටි අතර ඇය සියල්ල පැහැදිලි කළා. එහිදී බිසව විසින් ඇය ඇසූ බණ තමන්ටත් කියන ලෙස ඉල්ලීමක් කළ අතර ඒ බණ අසා සාමාවතී බිසව ඇතුළු පිරිස ද සෝවාන් ඵලයට පත් වුණා. ඛුජ්ජුත්තරා උපාසිකාවගේ බහුශ්‍රැත බව ගැන දම් සභා මණ්ඩපයේ ද කතාබහට ලක්වුණු අතර බුදුරජාණන් වහන්සේ විසින් ඛුජ්ජුත්තරාව බහුශ්‍රැත උපාසිකාවන් අතර අග්‍රස්ථානයේ පිහිටවනු ලැබුවා.

 

7. සාමාවතී බිසව 

භද්දවතී නුවර පැතිර ගිය වසංගතයකින් බේරීමට එනුවර භද්දවතී සිටුවරයා, සිටු දියණිය සහ ඔවුන්ගේ දියණිය වූ සාමාවතී කොසඹෑ නුවර වෙත පලා ආවා. කොසඹෑ නුවරදී සාමාවතියගේ මව සහ පියා මිය ගිය අතර අවසානයේදී කොසඹෑ නුවර ඝෝෂක සිටුතුමා විසින් තම දියණියක ලෙස ඇයව හදා වඩා ගත්තා .සාමාවතිය පිළිබඳව ඇසූ උදේනි රජ තුමා ඇයව බිසෝ තනතුරකට පත් කරගත්තා. ඛුජ්ජුත්තාරවගෙන් බණ ඇසූ සාමාවතිය සෝවාන් ඵලයට පත්වුණු අතර රජුගේ තවත් බිසවක වූ මාගන්දියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයෙන් කටයුතු කළ නිසා සාමාවතිය ද ඇගේ වෛරයට ලක් වුණා. අවසානයේදී මාගන්දියා විසින් සාමාවතියගේ බිසෝ මාළි​ගයට ගිනි තබන ලද අතර එමගින්  සාමාවතිය ඇතුළු පිරිස මිය ගියා. නමුත් එම අවස්ථාවේදී පවා සාමාවතී බිසව මාගන්දියා කෙරෙහිත් මෛත්‍රී සිතින් යුක්ත වුණා. මේ කරුණු හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් මෛත්‍රී විහරණ ඇති උපාසිකාවන් අතර අග්‍රස්ථානයේ සාමාවතී බිසව පිහිටවනු ලැබුවා.

 

වෙනදා වගේම මේ ලිපිය ගැනත් ඔබේ අදහස් ගමන් කමෙන්ට් සෙක්ෂන් එකේ ප​ළ කරන්න, ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *