ස්කූල් වෑන් එකේ ගියපු කාලේ සිද්ධ වුණු ආතල් දේවල් මතකද?

සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ ඔය අම්මලා තාත්තලා අපිව අතේ එල්ලගෙන යන එක වසර දෙක වසර තුන වසර පහුවුණාට පස්සේ ගොඩක් වෙලාවට අපි සෙට් වෙන්නේ ස්කූල් වෑන් එකක ඉස්කෝලේ යන්න තමයි. ඒකෙනුත් පොඩ්ඩක් කරදඬු උස්මහත් වෙන කාලේත් ස්කූල් වෑන් එකේ නම් ඉස්කෝලේ යන්නේ, අන්න ඒ කාලේ තමයි ආතල්ම ස්කූල් වෑන් මතකයන් තියෙන්නේ. අපි මේ පොඩි මෙමරි ට්‍රිප් එකක් එක්කරගෙන යන්න හදන්නේ ස්කූල් වෑන් එකේ ගියපු ආතල් කාලෙට!

 

1. අයියලා මල්ලිලා, අක්කලා නංගිලා!

සාමාන්‍යයෙන් අපි ඒ ලෙවල් පංති වලට එනකල්ම ස්කූල් වෑන් එකේ අපිට වඩා ලොකු අයියලා අක්කලා ඉන්නවාම තමයි. ගොඩක් වෙලාවට ලොකු අක්කලා නං ඒ අයගේ පාඩුවේ වැඩක් බලාගෙන ස්කූල් වෑන් එකේ ගියාට අයියලා එහෙම නෑ. ස්කූල් වෑන් එකේ නසරානි අයියලා හිටියොත් උන් අපිව එක්කෝ අර අක්කලට උන්ගේ පණිවුඩ ගෙනියන වහල් කමට අල්ල ගන්නවා, එහෙම නැතිනං බයිට් එකට අල්ල ගන්නවා. හැබැයි සමහර සම්ප්‍රදාය ගරු කරන අයියලා ඉන්නවා, උන් ස්කූල් වෑන් සංස්කෘතිය ගුරු මුෂ්ටි තියා නොගෙනම පොඩි මල්ලිලාට කියලා දෙනවා!

සමහර වෙලාවට ඔය අයියලා කරන්නේ මල්ලිලාව නසරානි, අලුගුත්තේරු වැඩ කරන්න ෆෝම් කරලා සද්ද නැතුව ඉන්න එක. ඉතින් අයියලාගෙන් එක දාගැනීමේ පරම චේතනාවෙන් ඉන්න මල්ලිලාත් ඒ උගුලේ වැටිලා චාටර් වෙනවා! 

 

2. කෑම කන්න නවත්තමු?

සාමාන්‍යයෙන් මේ සීන් එක ගොඩක් වෙන්නේ ඔය කොළඹ ඉස්කෝල වල ඉඳලා පැයක් දෙකක් දුරින් තියෙන තදාසන්න ප්‍රදේශ වලට එන ස්කූල් වෑන් වල. ඉස්කෝලෙදී ඉන්ටර්වල් එකට කාලා, සමහර වෙලාවට ස්කූල් වෑන් එකට නගින්න කලිනුත් මොනවහරි කඩචෝරුවක් කාලා හිටියත්, පැයක් විතර ට්‍රැෆික් එකේ වෑන් එකේ හිරවෙලා ඉන්නකොට දාර බඩගින්නක් එනවා. ආන්න ඒ වෙලාවට අපිට හිතෙනවා වෑන් එකේ පොඩි කලෙක්ෂන් එකක් දාලා, ඒ කලෙක්ෂන් එකේ ගාණට හරියන්න මොනව හරි පොඩි අයිටම් එකක් මගින් අරගෙන කකා යන්න. ඒ පොඩි අයිටම් එක සීනි බනිසක් වෙන්නත් පුළුවන්, රෝල් එකක් වෙන්නත් පුළුවන්, අන්නාසි කෑලි ටිකක් වෙන්නත් පුළුවන්!

හැබැයි මේ කෑම කන්න නවත්තන එක අනිවාර්‍යයෙන් වෙන්නේ ඉස්කෝලේ නිවාඩු දෙන දවසට. එදාට කෙලින්ම පාටි තමයි. ඔය හොඳ හෝටලයක් ගාව නවත්තලා මතක හිටින කෑමක් තමයි එදාට බඩට දාගන්නේ!

 

3. පස්සෙ සීට්!

ස්කූල් වෑන් එකේ සීට් බෙදෙන්නෙත් සජිත් ජොබ් බෙදනවා වගේ තමයි. මිටිම මිටි පොඩි ඇච්චෝ නං ඉස්සරහම සීට් වල. උන් ස්කූල් වෑන් එකේ සීට් එකේ යන්නෙත් බෑග් එක පිටේ එල්ලගෙන. හැබැයි අර අයියලාට හිතට අල්ලන, උන් එක්ක නසරානි වැඩ ඉගෙන ගන්න ලෑස්ති ටිකක් වැඩිමල් මල්ලිලාට පිටිපස්සේ සීට් එකට ඉස්සරහා සීට් එකට සෙට් වෙන්න පුළුවන්. හැබැයි පුතේ පිටිපස්සෙම සීට් එක කියන්නේ කෙලින්ම රාජාසනේ වගේ තමයි. වෑන් එකේ තද ඩයල් විතරයි පිටිපස්සේ සීට් එකේ යන්නේ. ඒකෙනුත් වෑන් එක හොල්ලගෙන ඉන්න සිරාම තදයට හරි දෙන්නට හරි තමයි පිටිපස්සේ සීට් එකේ ජනේලේ අයිනේ ඉඩ ලැබෙන්නේ! ආයි එක තදයෙක් එක දවසක් ඉස්කෝලේ නෑවිත් පිටිපස්සේ සීට් එකේ ඉඩ තිබුණත් ඔය ඉස්සරහා සීට් වල යන බලුගැත්තරයන්ට පිටිපස්සේ සීට් වරං නෑ. හැබැයි ඒ ලෙවල් කාලේ එහෙම සෙට් වෙලා මුළු පිටිපස්සේ සීට් එකම හිස්වුණු දවසකට අර මැද ඉන්න මල්ලිලාට පිටිපස්සේ සීට් එකේ තියෙන රාජ උෂ්ණේ විඳින්න චාන්ස් එක ලැබෙනවා!

 

4. මේක ආතල් බෙදන පස්සේ සීට් එක!

ඇත්තටම කිවුවොත් ස්කූල් වෑන් සංස්කෘතියේදී පිටිපස්සේ සීට් එක කියන්නේ ආතල් ලෝකයක්. නැග්ගට පස්සේ ඉතින් පම්පෝරි ගැහිලි, පාරේ යන අනික් ස්කූල් වෑන් වල කෙල්ලන්ට ඇහැ දැමිලි, ඉස්සරහා ඉන්න පොඩි එවුන්ව බයිට් කිරිලි, කතා සහ අත්දැකීම් හුවමාරු කර ගැනිලි වගේ එක එක විෂය බාහිර ක්‍රියාකාරකම් වල කූටප්‍රාප්තිය එන්නේ බජව්වකින්. ඒ වගේම තමයි ඉතින් වෑන් එකෙන් බහින එවුන්ට කාඩ් ගැහිලි වගේ භාරදූර කර්තව්‍යයන් සිද්ධ වෙන්නෙත් පිටිපස්සේ සීට් එකෙන්ම තමයි. බහින එකෙක් අවට මිනිස්සු ඉන්නවා නං “ඕකා හොරෙක්, කුඩුකාරයෙක්, ගංජා කාරයෙක්” කියන පොදු ආශිංසනය වගේම “අඩේ පිටි මකුණා, ගොම මූණා” වගේ පුද්ගලයාටම විශේෂ කාඩ් එහෙමත් පිටිපස්සේ සීට් එකේ අයියලාගෙන් සද්දෙට වදිනවා!

සාමාන්‍යයෙන් වෑන් එකේ බජව් පටන් ගන්නේ පිටිපස්සේ සීට් එකෙන්ම තමයි. හැබැයි ඉතින් ආතල් එක තද වෙලා වෑන් එකේ බොඩියේ බෙර ගහනවා කියන්නේ නං ස්කූල් අංකල්ගෙන් දෙකක් අහගන්න වෙන පොටක්. ඒක නිසා සිංදුවේ තාලෙට ඩ්‍රම්ස් ගහන්න ඔය පොඩි පෙට්ටි කෑලි, ටින් කෑලි එහෙමත් සමහර ස්කූල් වෑන් වල එවරෙඩි තියෙනවා. ආයි ඉතින් බජව්ව පටන් ගත්තහම හිංදි සිංදු වලින් ජෝතිපාලට ඇවිල්ලා අන්තිමට ජාතික ගීයත් ගායනා කරලා තමයි ඉවර කරන්නේ.

 

5. නිදි මන්තරකාර පූසෝ!

ස්කූල් එකක ආතල් ඩයල්, නෝමල් ඩයල් වගේම අප්සෙට් ඩයලුත් අනිවාර්‍යයෙන්ම ඉන්නවා. මේ අයගෙන් එපාම කරපු කොටසක් තමයි නිදිමන්තරකාර පූසෝ. ආයෙ වෑන් එකට නැග්ග වෙලාවේ ඉඳලා කට කපලා නිදි. ඒකත් අනික් එවුන්ට කරදර නොකර ඉස්සරහා සීට් එකට ෂේප් එකේ ඔලුව තියාගෙන නිදාගැනිල්ලකුත් නෑ. කෙලින්ම දෙපැත්තේ ඉන්න එවුන්ගේ ඇඟේ තමයි මේ පූසෝ නිදාගන්නේ. අවදියෙන් ඉන්න එවුන්ගේ උරහිසට නිදිකුම්බරයගේ ඔලුව කඩා වැටෙනකොට උරහිසෙන්, අතින් පොරව එහාට තල්ලු කලත් වැඩක් නෑ. තප්පරෙන් ස්ප්‍රින් එක වගේ ආයෙමත් උරහිසටම එනවා. ඒ මදිවට උරහිසේම කුණුකෙළත් පෙරනවා. ඒ වගේ ලොන්ත පකඩ නිදිකුම්බරයන්ට දෙන්න බේතුත් හැබැයි වෑන් එකේම තියෙනවා. සිගරට් කටේ ගහන එක, සිග්නල් රවුම් මූණේ අඳින එක වගේ පනිෂ්මන්ට් තමයි නිදිකුම්බරයන්ට ලැබෙන්නේ.

වෑන් එකේ යන තවත් එපා කරපු කොට්ඨාසයක් තමයි හැම මගුලම ගෙදර ගිහින් කියන හොඳ පුතාලා. ආයෙ වෑන් එකේ මොක්කු හරි දෙන්නෙක් බැණගත්තත්, මේ අහක ඉන්න හොඳ පුතාලා ගිහින් ගෙදරට රෙකෝඩ් එක දෙනවා, ඉතින් ඊලඟ දවසේ හොඳ පුතාගේ තාත්තා හරි අම්මා හරි වෑන් එක ගාවට එනවා නඩු විසඳන්න!

 

6. මරා ගැනිලි!

ස්කූල් වෑන් වල අමුවෙන්ම මරාගැනිලි වගේම ආතල් මරාගැනිලිත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය මරා ගැනිලි වෑන් එක ඇතුළේ නං කොල්ලෝ කොල්ලෝ අතර හරි කෙල්ලෝ කෙල්ලෝ අතර හරි සිද්ධ නොවෙන තරම්. සාමාන්‍යයෙන් වෑන් එකේ ස්ත්‍රී පක්ෂය සහ පුරුෂ පක්ෂය අතර සමාන අනුපාතයක් තියේ නං, වෙන්න පුළුවන් දේ තමයි උන් දෙගොල්ලෝ සදා වලියෙන් ඉන්න එක. කෙල්ලෝ සෙට් වෙලා කොල්ලන්ට අංචි සෙට් කරනවා. කොල්ලොත් අත අරින්නෙ නැතුව කෙල්ලන්ව බයිට් කරලා ඉවරයක් කරනවා. ඔය යන්නේ ආතල් වලි. කෙල්ලෝ කොල්ලෙක්ගේ අයිඩෙන්ටිය උස්සලා, ෆොටෝකොපි ගහලා කැලෑ පත්තර ගහන කොට, කොල්ලෝ ටික ඒකට රිටර්න් එක දෙන්න කෙල්ලන්ට වස් කවි ලියනවා. ඔය අතරේ ඉතින් ගේම තියෙන කෙල්ලන්ට වතුර ගැහිලි, නිල් ගැහිලි වගේ පජාත වැඩත් සිද්ධ වෙනවා, විශේෂයෙන්ම නිවාඩු දෙන දවසෙදි!

ගොඩක් වෙලාවට රියල් මරාගැනිලි යන්නේ වෑන් වෑන් වල කොල්ලෝ අතර. ඔය වලි වලට හේතුව වෙන්නේ මේ වෑන් එකේ කොල්ලෙක්ගේ හිත ගියපු කෙල්ලට අනික් වෑන් එකේ එකෙක් ට්‍රයි කිරීම, ඉස්කෝලේ වලි, යාලුවන්ගේ වලි වගේ දේවල් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනං “අරූගේ මූණ මට අල්ලන්නෙ නෑ”, “අරූ මට ගිය සතියේ විරිත්තුවා” වගේ මැන්ටල් සීන් නිසාත් වෑන් වෑන් අතරේ වලි යන්නත් පුළුවන්. ඔය වලි වල කූටප්‍රාප්තිය විදියට වතුර, බිත්තර ගහගැනිලි වගේම, වෑන් වෑන් නවත්තගෙන කෙළ ගැනිලිත් කලාතුරකින් වෙන්න පුළුවන්.

 

7. කෙල්ලෝ!

මෙන්න කොල්ලන්ගේ ස්කූල් වෑන් ජීවිතේ රසවත්ම කොටස: කෙල්ලෝ! මේකත් දෙවිදියකට වෙන්න පුළුවන්. එක්කෝ තමන්ගේ වෑන් එකේම යන සූටි නංගියෙක්ට හිත යන්නත් පුළුවන්. එහෙම නැත්තං මේ වෑන් එකේ ඉන්න කොලුවෙක්ගේ හිත ගන්නේ වෙන වෑන් එකක යන සුරංගනාවියක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ දෙකෙන් කෝක වුනත් ෆුල් ලව් සීන් එකේ ඉන්න ඩයල් එකකට ස්කූල් වෑන් එකේම කාඩ් වදිනවා. එස්.පී.බී.ආර් කියලා මුන්ට කියන්නේ රෂියන් මිසයිල් එකක් වගේ කියලා නෙවෙයි. ‘සත්‍ය ප්‍රේම බෘංග රාජයා’ කියන එක කොට කරලා!

වෑන් එකේම යන එන සූටි නංකිට ට්‍රයි කරන එකේ තියෙන අමාරු කොටස තමයි දෙගොල්ලන්ට කථා කරන්න ඉඩ අඩු වීම. නංගි යන්නේ ඉස්සරහා සීට් එකට. ලව් එකෙන් ඔකඳ වෙලා ඉන්න අයියා යන්නේ පිටිපස්සේ සීට් එකේ. අයියට තමන්ගේ තත්ත්වේ බල්ලට දාලා ඉස්සරහ සීට් එකක නංගි ගාවින් ඉඳගන්නත් බැහැනේ. හැබැයි ඉතින් බැරිවෙලාවත් පිටිපස්සේ සීට් එකේ අනික් එවුන් ඔක්කොම ගෙදර හිටපු දවසකට එහෙම නං පානියක් දාලා නංකියාව පිටිපස්සේ සීට් එකට ගෙන්නගෙන ෂේප් එකේ මල් කයියක් දාගෙන යන්න පුළුවන්. එදාට ඉතින් කුච් කුච් හෝතා හේ තමයි!

හැබැයි වෙන වෑන් එකක යන සුරංගනාවි ගැන තියෙන ලව් එක ගොඩදාගන්න එක ඊටත් අමාරුයි. ගොඩක් වෙලාවට වෙන්නේ වෑන් දෙක ට්‍රැෆික් එකේ එක ගාව සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන, වෑන් එකේ ඒ පැත්තේ ජනේලේ අයිනේ ඉඳගෙන ෂාරුක් ඛාන් වගේ ලුක්ස් දෙන්න, කොණ්ඩේ හදන්න වගේ හින්දි ෆිල්ම් කෑලි දාන්න තමයි. ඒ ටික සුරංගනාවි දැක්කොත්, දැකලා අනික් කෙල්ලොත් අතින් කටවහගෙන හිනා වුනොත් ඉතින් හම්මේ, දවසම මල් වැහි තමයි!!

 

ඔයාලටත් මෙහෙම ස්කූල් වෑන් අත්දැකීම් ඇතිනේ. කමෙන්ට් එකක් දාලා අපිටත් ඒ ගැන කියාගෙනම යන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *