ලේසියෙන් හදාගන්න පුළුවන් පොටෑටෝ ස්නැක් රෙසිපි ටිකක්

තෙල් දාලා, කිරි හොදි හදලා, බැදලා, තම්බලා මේ ඕනම විදියකට කන අලෙන් අද රසම රස කෑම ටිකක් හදමුද? තේ වෙලාවට කන්න, උදේ කෑමකට ගන්න, ට්‍රිප් එකක් යද්දි හදන් යන්න වගේ ගැළපෙන රසම රස රෙසිපි ටිකක් මේ. හදලා කාලම බලන්න එහෙනම්. 

 

1. පොටෑටෝ රාවා ෆින්ගර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං කෝප්ප 1/2
  2. මී කිරි හෝ යෝගට් කෝප්ප 1/4
  3. අල ගෙඩි 2ක් (තම්බා පොඩි කරගත්)
  4. චොප්කරගත් අමු මිරිස් තේ හැඳි 1
  5. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  6. ගම්මිරිස් කුඩු 
  7. ලුණු
  8. කෝන්ෆ්ලා කෝප්ප 1

 

  • මී කිරි හා රුලං ටික හොඳට කලවම් කරන්න. මේ ටික විනාඩි 15ක් වගේ වහල තියල තියලා තම්බලා පොඩි කරගත් අල ටික දාගන්න. 
  • ඒකට අමුමිරිස්, ඉඟුරු සුදුළූණු පේස්ට්, ගම්මිරිස් කුඩු, ලුණු රස අනුව දාගන්න.
  • දැන් මේ ඔක්කොම එකතු කරලා අනාගෙන ඩෝ එකක් හදාගන්න. මිශ්‍රණයෙන් ටිකක් අරන් සිලින්ඩරාකාර විදියට රෝල් කරලා කෝන්ෆ්ලා වලින් කෝට් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. 

 

2. පොටෑටෝ නගට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා පොඩි කරගත් අල ගෙඩි 2
  2. ග්‍රේට් කරගත් චෙඩාර් චීස් කෝප්ප 1/4
  3. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1/2
  4. කෑලි මිරිස් මේස හැඳි 1/2
  5. ලුණු 
  6. ගම්මිරිස් කුඩු 
  7. ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක්
  8. බිස්කට් කුඩු කෝප්ප  1
  9. පාන්පිටි කෝප්ප 1/2

 

  • කෝන්ෆ්ලා හැර අනික් සියල්ලම දාලා බිස්කට් කුඩු කෝප්ප 1/4ක් වගේ එකතු කරලා ලුණු සහ ගම්මිරිස් රස අනුව දාගෙන අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • පාන්පිටි වලටත් ගම්මිරිස්කුඩු හා ලුණුකුඩු දාලා කලවම් කරගන්න. ඒකට වතුර ටිකක් එකතු කරලා තික් බැටර් එකක් හදාගන්න.
  • දැන් අල මිශ්‍රණයෙන් බෝල හදලා ඒක ටිකක් පැතලි  විදියට අතින් හදලා බැටර් එකේ දාගන්න. ඊට පස්සෙ බිස්කට් කුඩු වල තවරලා ඩීප් ෆ්‍රයි කරගන්න.

 

3. ස්මයිලි පොටෑටෝස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා පොඩි කරගත් අල කෝප්ප 2
  2. බිස්කට් කුඩු කෝප්ප 1/4
  3. කෝන්ෆ්ලා මේස හැඳි 2
  4. මිරිස් කුඩු තේ හැඳි 1/2
  5. ලුණු

 

  • මේ ටික ඔක්කොම කලවම් කරලා ඩෝ එකක් හදාගන්න. ලුණු රස බලලා දාගන්න. 
  • දැන් මේ ඩෝ එක විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ දාගන්න. මේක තුනී කරලා කටර් එකකින් රවුම් කපාගන්න.
  • ස්ට්‍රෝ එකක් අරගෙන ඒකෙන් ඇස් දෙක කපාගන්න. තේ හැන්ඳෙන් කට හදාගන්න. දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න.

 

4. පොටෑටෝ පෑන්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් අලගෙඩි 3ක්
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. චොප්කරගත් මින්චි කොළ ටිකක්
  5. ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2
  6. ඉඟුරු ඉස්ම තේ හැඳි  1/2
  7. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
  8. ලුණු තේ හැඳි 1/2
  9. පාන්පිටි කෝප්ප 1/4
  10. බිත්තර 1

 

  • අල ටික බෝල් එකකට දාගන්න. ඒකට වතුර කෝප්ප 1ක් දාගෙන විනාඩි 30ක් වගේ තියලා පෙරලා හොඳට වතුර මිරිකලා ගන්න. 
  • දැන් මේකට චොප්කරගත් ළූණු, අමුමිරිස්, මින්චි කොළ, ගම්මිරිස් කුඩු, ඉඟුරු ඉස්ම, සුදුළූණු හා රස අනුව ලුණු බලලා දාගන්න.
  • මේකටම පාන්පිටි කෝප්ප 1/4ක් එකතු කරන්න. බිත්තරය කඩලා දාගන්න. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා මිශ්‍රණයෙන් ටික ටික අරන් පෑන් එකේ තැන් තැන් වල තියලා තුනී කරන්න. දෙපැත්තම හරවල බැදගන්න.

 

5. පොටෑටෝ වෙජස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අල ගෙඩි 5ක්
  2. පාන්පිටි කෝප්ප 1/2
  3. කෝන්ෆ්ලා කෝප්ප 1/4
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. කෑලි මිරිස් තේ හැඳි 1/2
  6. චොප්කරගත් සුදුළූණු ටිකක්
  7. ඉඟුරු ඉස්ම තේ හැඳි 1/2
  8. බේකින් සෝඩා මේස හැඳි 1/4
  9. මින්චි කො​ළ ටිකක්

 

  • අල ටික දික් අතට මහතට කපාගන්න. දැන් මේක වතුර බෝල් එකකට දාලා විනාඩි 30ක් වගේ පෙඟෙන්න දෙන්න. දැන් වතුර එකක් ලිපේ තියලා අල ටික දාලා භාගෙට වගේ තම්බගෙන බාගන්න.
  • පාන්පිටි ටික බෝල් එකකට දාලා ඒකට කෝන්ෆ්ලා, මිරිස්කුඩු, කෑලිමිරිස්, සුදුළූණු සහ ලුණු රස අනුව දාගන්න. මින්චි කොළ ටිකත් දාගෙන මේක හොඳට කලවම් කරගන්න.
  • වතුර ටික ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න. ඒකට තම්බාගත් අල ටික දාලා කලවම් කරගන්න. දැන් මේ අල කෑලි එකින් එක අරන් ගැඹුරු තෙලේ දාලා බැදගන්න.

 

6. පොටෑටෝ ෆ්‍රිටර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. තම්බා පොඩි කරගත් අල ගෙඩි 3
  2. ග්‍රේට් කරගත් කැරට් අල 1
  3. කොත්තමල්ලි කොළ ටිකක්
  4. කෝන්ෆ්ලා කෝප්ප 1/4
  5. ගම්මිරිස්කුඩු තේ හැඳි 1
  6. ලුණු

 

  • මේ ඔක්කොම කලවම් කරලා ඩෝ එකක් හදාගන්න. දැන් මේක පයිපින් බෑග් එකකට දාලා ටිකක් ලොකුවට කෙලවර සිදුරක් කපාගන්න. තෙල් දාගත්තු පෑන් එකකට කෙලින්ම මේකෙන් කෑලි කෑලි පයිප් කරගන්න. හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්න.

 

7. ජීරා ආලු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. අල ගෙඩි 3
  2. සූදුරු තේ හැඳි 1/2
  3. කළුදුරු තේ හැඳි 1/2
  4. ඉඟුරු, සුදුළූණු පේස්ට් තේ හැඳි 1
  5. කහ තේ හැඳි 1/4
  6. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  7. ලුණු රස අනුව
  8. චොප්කරගත් අමුමිරිස් ටිකක්
  9. වතුර මේස හැඳි 2
  10. මින්චි කොළ ටිකක්

 

  • අල ටික කොටුවට කපාගෙන තම්බගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාලා ඒකට සූදුරු, කළුදුරු ටික දාගන්න. මේ ටික බැදෙන්න අරින්න.
  • ඒකටම උඩින් කිව්ව ඉතිරි ඔක්කොම දාලා හොඳට ෆ්‍රයි උනාම අල ටික දාගන්න. හොඳට කලවම් කරලා විනාඩියක් දෙකක් පිසගෙන උඩින් මින්චි කොළ ටිකක් ලියලා දාගෙන ලිපෙන් බාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *